සොයා සොයා ආවා, ඒ සෙව්ව මැණික හමුවුණා …….//


පසුගිය කාලයේ ශ්‍රී ලාංකික ජන සමාජයේ  බලවත් අඩුපාඩුවක්,රික්තකයක්,හිඩැසක් ව තිබූ දෙයක් උපයා ගැනීමට අපට හැකිවී තිබේ.අගයක් නොකරම එක එල්ලේම ප්‍රකාශ කරන්නේ නම් අපට හතුරෙකු නැතිව තිබූ දුක  නැති කිරීමට දඹුල්ලේ හාමුදුරුන් වහන්සේ ඇතුළු පිරිස දැන් සමත්වී ඇත.

ලාංකික, විශේෂයෙන් සිංහල අපට,හිගන්නාගේ තුවාලය මෙන් සිටි දෙමළ හතුරා හිටි හැටියේම නැති වීමෙන් පසු හතුරෙකු නැති අඩුපාඩුව බොහෝ අවස්ථා වලදී දැනුනි.බැන ගන්නට,මඩ ගසාගන්නට,නින්දා කරන්නට,අපේ උජාරුව පෙන්නන්නට,මංකොල්ල කෑමට හා මරාගැනීමට හතුරෙතු නැති අඩුව නිසා බොහෝ අපහසුතාවයට පත්ව සිටියෙමු.

කොතෙක් අපහසුතාවයට පත් වූවාද කිවහොත් හතුරෙක් නැති දුකට හතුරෙක් එනවා යැයි බොරුවට කෑගසමින් අපේම බොරුවට අපද රැවටෙමින් ස්වයං වින්දනය ලැබුවෙමු.ග්‍රීස් යක්කු , භූතයන් හා මෑතක දී  මෝහිණිය වැනි පඹ හතුරන් නිර්මාණය කර විකෘති කාමාශාවන් හා පළිගැනීම් වැනි වින්දන කිහිපයක් පමණක් ලැබු නමුත් සුරාන්තයට එළඹෙන්නට නොහැකි විය.

නමුත් මෙවර මුස්ලිම් ජාතිකයන් කුපිත කර ගැනීමේ උත්සාහය නිවැරදිව කළමනාකරණය කර ගත හොත්(අවුළුවා ගතහොත්) පරම්පරා ගණනක් තිස්සේ රස(විස) විදිය හැකි වින්දනයන් රාශියක්ම උපයා ගැනීමට හැකිවනු ඇත.

(වැඩි දුර විස්තර සදහා ඉතිහාසය කියවා බලන්න)

Published in: on 2012 අප්‍රේල් 28 at පෙ.ව. 9:30  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

ලැජ්ජා නැතිකම,රාජ්‍ය පරිපාලන ඇමතිකමටත්,මහ ලේකම් කමටත් වඩා ලොකු ය!

අපරාධ හා දුෂණ චෝදනා ඇති තම පක්ෂයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැති ඇමතිවරුන්ගේ තොරතුරු තමා වෙත එවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා පොලිස්පති තුමා‍ගෙන් ඉල්ලීමක් කර ඇත.කහවත්ත මිනීමැරුමත් සමග පැන නැගුණු මහජන විරෝධය පසුබිමේ ගත් මෙකී පියවර මගින් ඇගවීමට උත්සාහකරනුයේ එම මිනීමරු,අපරාධකාර,දූෂිත දේශපාලකයන් දේශපාලනයෙන් අතු ගා දැමීමට යනු බවයි.

 මොවුන් අපරාධකරුවන් වූයේ දේශපාලනයට පැමිණි පසුවද?මෙම තක්කඩියන් අපරාධකරුවන් වන්නේ ජන්දය දිනීමෙන් පසුව ද?

නමුත් සියළු  දෙනා දන්නා සත්‍යය වන්නේ අපරාධකාරයන් ,අයි ආර් සී කාරයන්, දූෂිතයින් දේශපාලනයට කැදවා ගැනීමෙන් පසු දැලි පිහි ලැබූ වදුරන් සේ දේශපාලන බලයද යොදාගනිමින් අපරාධ වඩාත් තීව්‍ර ආකාරයෙන් කරනා බවයි .අපරාධ වල නියැලෙන මැති ඇමතිවරුන් දූෂිත අතීතයක් හා ඉතා නරක පොලිස් සහතික ඇත්තවුන් බවයි.

ඉදින් මේ උදවියට නාම යෝජනා ලබා දෙමින්,තම පක්ෂ අපේක්ෂකත්වයත් ලබා දෙමින් හිරගෙයි හෝ පෝරකයේ සිටිය යුතු මේ පාතාලයන්ට දේශපාලන වරම් ලබාදුන්නේ පොලීසියෙන් ද?

මේ සමගින් හිතේ බුර බුරා පැන නැගෙන තවත් ගැටළුවක් වන්නේ මේ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරු ගිලිහි තිබෙන්නේ මක්නිසාද යන්නය.

පාර්ලිමේන්තුවේ අපරාධකරුවන් ඇත්තේම නැත් ද?

Published in: on 2012 මාර්තු 23 at ප.ව. 2:58  ප්‍රතිචාර (1)  

බාසාවෙන් සුද්දා ලැජ්ජාවට පත් කිරීම හෙවත් මැති ඇමතිවරු ඉංගිරිසි කොන්ඩම් කිරීම

Published in: on 2012 පෙබරවාරි 28 at පෙ.ව. 3:34  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

සාරිය,හැට්ටය ,දළදා මාළිගය හා ලිංගික තෘෂ්ණාව

ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ අයිතිකරුවන් පසුගිය සති කිහිපය තුළ දී   එළ‍ෙඔන්නට තිබූ මහා තර්ජන දෙකකින් බුද්ධාගම බේරා ගන්නට සමත් වී ඇත.එකක් නම් දෙමළ මුදලාලිලා (මොවුන් කොටි විය හැකිය) විකුණන කාන්තා පශ්චාත් භාගය ස්පර්ශ වන ප්‍රදේශයේ බුදු හිසක‍ට සමාන රූපයක් මුද්‍රිත සාරි සොයාගැනීමයි.මෙය නියත වශයෙන් බුදු හිසක් යැයි දැකිය නොහැකි බව සමහර චිත්‍ර කලා පණ්ඩිතයින් කියනා බැවින් උන් ද කොටි ඒජන්තයෝය.

අනෙක නම් ස්ත්‍රී පයෝධර ගෑවෙන  උඩුකය සරුවාලයක දළදා මාළිගාවේ පින්තූරය අච්චු ගසා තිබෙනු අල්ලා ගැනීමයි.

බලු මුත්‍රා,මඩ ,කුණු වතුරෙන් නැහැවෙන -දුවිල්ලෙන් අපිරිසිදු වන-දොට්ට යන්න තැනක් හරි හමන් තැනක් නොලැබුණහොත් අපේ උපාසක මහත්වරුත් තම සුළු දිය  පහරෙන් නහවන බස් රථයක පස්සා පැත්තේ දළදා මාළිගය පින්තාරු කර තිබෙන බැව් w3 lanka බ්ලොග් අඩවියේ සදහන් කර තිබුණද,

මස් කඩේ,මාළු ලෑල්ලේ ,ගණිකා මඩමේ,හිගන්නාගේ ඔඩොක්කුවේ ද,ඇතැමුන් දෙපරැන්ද අස්සේද ,කටේ,ඉනේ ,කනේ පමණක් නොව ප්‍රජනක ඉන්ද්‍රියයන් හා ගැටි ගැටී යට ඇදුම අස්සේ ද සමහරවිට ගුද මාර්ගයේ ද ගසා ගෙන යන්නාවූ සල්ලි කොළ වල ද දළදා මාළිග‍යේ පින්තූරය අච්චු ගසා තිබේ යැයි radicaladahas බ්ලොග් අඩවියේ පෙන්නා දී තිබුණද,

ඒවා අරක වගේ නොව බුද්ධාලම්භන ප්‍රීතියෙන් කළ පින් අතේ වැඩය.

එපමණක් නොව මෙයින් රාජ්‍ය ආදායමක් ලැබෙන පොටක් ද පාදා ගත හැකිය.එනම් ඒ උතුම් රූප සහිත සල්ලි කොළ දෙතන අස්සේ ගසා ගන්නා ගෑණු පරිසර පොලීසියෙන් අල්ලා  දඩ ගැසීමෙනි.

එසේම සොළොස් මස්ථාන,කදු,‍යටි පතුල්,පාත්තර,කොත් ,සීනු,වටාපත,මුඩු හිස,බෝ ගස,අඔ ගස,බෝ කොළ,ගරාදි අටකින් යුත් රෝද,සදකඩ පහන,කූට්ටම් පොකුණ ,පුස්කොල පොත,පඩික්කම යනාදි සංකේත කාන්තා ඇදුමක‍ට යොදා ගැනීම සදහටම තහනම් කරන නව නීති පැණවිය යුතුය.

මක්නිසාද යත් මාතුගාමයෝ නම් පවිටු පුද්ගලයෝ යැයි ජාතක කතා පොතේ ද සදහන් වී තිබෙන නිසා මිස වෙන දෙයක් නිසා නොවේ.

Published in: on 2012 ජනවාරි 18 at ප.ව. 5:25  ප්‍රතිචාර (3)  

කාදිනල් තුමාට නිමොලර් දුටු යකා හමුවීම

පසුගිය දා කතෝලික සභාවේ අති උතුම් කාදිනල් හිමිපාණන්ට මාටින් නිමොලර් පූජක තුමන් සිහිවන්නට ඇති බවක් පෙනේ.එය විශේෂයෙන් කැපී පෙනෙන කාරණයක් වූයේඒ ආසන්න දිනවලම  ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උදෙසා පැවති  භික්ෂු වහන්සේලාගේ ජන්දයේදී මහා සංඝයා වහන්සේලාටත් මාටින් නිමොලර් සිහිවන්නට ඇති බැව් පෙනී යාමයි.

දෙමළ මිනිසා  උතුරේ දී යකා දැක මොර දෙන විට ඒ අය ‍‍යකාට බුදුසරණයි ‍කීවෝය.විරැකියාවෙන් පීඩිත උගත්  සිංහල ගැමි තරුණයන් යකා විසින් බිල්ලට ගන්නා විට ඔවුහු යකාට චියර් කළෝය. ඉන්පසු යකා උගේ හොරි කැසූ රූපවාහිනියේ කට්ටිය ද ලේක්හවුස් පත්තරකාරයන් ද බිල්ලට ගෙන යන විට  යකාට ටටා කීවෝය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ, ජේවීපි එකේ,යුඇන්පී එකේ එවුන් කන කොට ගාණක් නැතිව සිටියෝය,(එනමුදු කොළොන්නාවේ දී සබ්බුව වදින විට ශ්‍රී ලංකා කාරයන්ටද  ඉබේ කෙදිරි ගෑවිණි).සමෟධි නියාමකයෝ,වෙබ්කාරයෝ,මානව හිමිකම්කාරයෝ, පාතාලයෝ, හිගන්නෝ,ගණිකාවෝ,සමලිංගිකයෝ ආදී  එකී මෙකී නොකී එවුන් සියළුම උන් යකා කා දමන තෙක්    මීක්  නැතිව මෙතුමන් ලා  සිටියෝය.

දුක හිතෙන කාරණයක් වුව, දැන් එතුමන්ලාගේ වාරයද එළඔ ඇත.

Published in: on 2011 දෙසැම්බර් 15 at ප.ව. 2:50  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

අතිශය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න කිහිපයක්………….


ප්‍රශ්න අංක 1

සුවවී නැවත දිවයිනට පෙරළා පැමිණෙන දුමින්ද මන්ත්‍රීතුමාට පළමුව හිමිවන නියෝජ්‍යඇමති ධුරයත් දෙවනුව ලැබෙන ඇමති ධුරයත් නම් කරන්න.

ප්‍රශ්න අංක 2

විශ්‍රාම වයස ඉක්මවා ගියද සේවා දිගුවන් ලැබ දිගින් දිගටම සේවය කරන විභාග කොමසාරිස්  තුමාට කවදා හෝ විශ්‍රාම ගියවිට ලැබෙන ජනාධිපති ‍ඡ්‍යෙෂ්ඨ උපදේශක ධුරය කුමක්ද?

ප්‍රශ්න අංක 3 

සරත් නන්ද සිල්වා හිටපු අග්‍රවිනිශ්චකාරවරයා සේවයකරමින් සිටි අවධියේ බුද්ධිමතුන්, වෘත්තිකයන් හා සිවිල් පුරවැසියන්ගේ බලවත් ඉල්ලීම තඔයක‍ට මායිම් නොකර හමස් පෙට්ටියට විසි කළ එතුමාට එරෙහි දෝශාභියෝගය ඒ මහතා පැන්ෂන් ගිය මෙකල හිටිහැටියේ  විභාග කිරීමට තැත් කිරීම‍ට ගැලපෙන සිංහල ප්‍රස්ථා පිරුල කුමක්ද?

ප්‍රශ්න අංක 4

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන දින විට ලංකාවේ එක්සත් ජාතික පාක්ෂිකයන් ගණන කීයක් වේද?

ප්‍රශ්න අංක 5(බහුවරණ ප්‍රශ්ණයකි)

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යවේදීන්ගේ ලිවීමේ නිදහසේ දිග කොපමණද?

1.අනෙකාගේ නාසය තෙක් හැරමිටියේ දිගය

2.උලා කෑ හැකි තෙක් ගෙල බැදි කඔයේ දිගය

3.අනන්තය

4.මේ කිසිවක් නොවේ

Published in: on 2011 නොවැම්බර් 11 at පෙ.ව. 7:32  ප්‍රතිචාර (2)  

කොලොන්නාවේ සිද්ධිය අසන හුදී ජනයාගේ පැනය


“උන් උන් අතරේ දේශපාලනය  එහෙම නම්, උන් අනිත් එවුන්ට ප්‍රජාතන්තරේ කොහොම දෙන්න ඇති ද?”

Published in: on 2011 ඔක්තෝබර් 11 at පෙ.ව. 6:02  ප්‍රතිචාර (1)  

මේ රටේ මිනිස්සු………….. !

ප්‍රභාකරන් කීවා සේ සිංහලයාගේ මතකය සති කිහිපයකට සීමා වී ඇත.

අප ඉතිහාසයේ අදුරු පැල්ලම් සේ ඇති විවිධ ජන වාර්ගික කෝළාහල වලට තුඩුදුන් හේතුන් අපට මතකද?

යම් ජන කොට්ඨාශයක ආගමික ‍හෝ අභිචාර ඇදහිලි,විශ්වාස,පුද පූජා,ප්‍රතිමා,ආගමික සංකේත,පුද බිම්,පෙරහැර හා ප්‍රදක්ෂණා ඒ ජනතාවගේ ඉතා සංවේදී කාරණා බව වටහා ගැනීමට සමාජ විද්‍යාව ඉගෙන ගෙන තිබිය යුතුම නැත.මෙම සංවේදී ස්ථානයන්හි කෙවිට කර ලැබූ ඉතා අමිහිරි අත්දැකීම් කන්දක් තරමේ ගොන්නක් අප සතුව ඇත.

 එපමණකින් නොව තවමත් අළු යට ගිනි සේ පවතින දෙමල ජාතික ගැටළුව උග්‍ර කරලීමට  මෙවැනි කාරණා කොතරම් හේතු භූත වූවාදැයි මතකයේ ඇත්තේ කාගේ ද?

                දුටුගැමුණු පරපුරේ යැයි කියා ගන්නා මහජන සබදතා ඇමතිවරයා අන්‍ය ආගමික සිද්ධස්ථානයකට කඩා වැදී එළුවන්,කුකුළුන් පැහැර ගන්නා විට (ඇතැමුන් මේ ක්‍රියාවට නිදහස් කර ගැනීම යන ක්‍රියා පදය යොදන මුත් ,ඇමතිවරයාට ඒ සදහා බලය පැවරුනේ කෙසේ ද?) ඇතැම් මහජාතිකයෝ බුද්ධාලම්භන ප්‍රීතියකින් හා ‍ජාතිකත්ව ප්‍රහර්ෂයකින් ඇළලී යති.එපමණක් නොව මහා සංඝරත්නය ඔහුට සෙත් පතා දහස් ගණන් බෝධි පැවැත්වීමට යුහුසුළු වෙති, පිරිත් නූල් බදිති.”මර්වින් හොද වැඩත් කරයි !”

 නමුත් මෙම කරුණු කාරණා අන්‍ය ජාතිකයාට කෙසේ බලපානු ඇත්ද හෝ ඔහුට එය කෙසේ පෙනේ දැයි යන්න ගැන සැලකිලිමත් වන කෙනෙක් හෝ නැති වීම මේ රටේ අවාසනාවකි.

Published in: on 2011 ඔක්තෝබර් 9 at පෙ.ව. 7:52  ප්‍රතිචාර (3)  

අංකොක්කාවල සුනිල්,සෝභිත,සක්විති හා අපි

දාඹුර හේවගේ සුනිල් ශාන්ත අග හිගකමින් හා  අඩ දබර වලින් පිරුනාවූ පවුලක (මෙවැනි එක් ආරවුලක් කෙළවර වූයේ ඔහුගේ පියා සිය දිවි නසා ගැනීමෙනි.) හැදුනු වැඩුනෙකි.ඔහුගේ පාසල් ජීවිතය අසාර්ථක වූ අතර කිසිදු අධ්‍යාපන සහතිකයක් ඒ අවසන ඔහුට හිමි නොවීය (නමුත් පසුව ඔහු ආචාර්ය හා පණ්ඩිත යන උපාධි නාමයන් ද තම කුප්‍රකට නම පෙරටුව යොදා ප්‍රදර්ශණය කළේය!). ජීවිත සටනින් පසු බැස ගිය පියා මෙන් නොව සුනිල් ශාන්ත ජීවත්වීම යන සටන ලෙහෙසියෙන් අත්හැර දමන්නට සූදානම් අ‍යෙකු නොවීය.විරැකියාවෙන් පෙලුන තරුණයෙකු වූ ඔහු සාක්කුවේ මුදලක් නොමැති වූ විට කුමක් හෝ සොරකම් කළේය.මේවා වැලක තිබූ ඇදුමක්,කුකුළෙක්,කෙසෙල් කැනක් සමහර විට රේඩියෝවක්, පා පැදියක් සොරකම් කිරීම වැනි සංවිධානාත්මක නොවූ ඒක පුද්ගල සුළු සොරකම් විය.

නමුත් සුනිල් ශාන්ත නිර්මාණයේදී මැවුම් කරුවාණන්  යම් කරුණාවක්ද දක්වා තිබිණි.ඔහු අක්මීමන ආසනය   තුළ හබරාදූව ආසනයට ‍ ආසන්නව  පිහිටි  අංකොක්කාවල  නම් නියම් ගමේ වඩා ප්‍රකටව සිටියේ හිටිවන  කවි කාරයෙක් ලෙසය ! ඇතැම් විට ඔහුව හැදින්වීම සදහා සමහරු ‘ කවියා’ යන පදය ද භාවිතා කළෝය.මෙයින් ඔහුට යම් ජනප්‍රියතාවයක් ලැබුණද ඔහුට අවශ්‍ය ව තිබූ මුදල් නොලැබිණි.එබැවින් ඔහු හදිසි අවශ්‍යතා වලදී එම කවි කමද උකස් කර හෝ මුදල් ‍උපයා ගැනීමට වුව පසුබට නොවුණි.

අතේ මුදල් හිග පාඩුවූ එක් අවස්ථාවක ඔහු එකල සංවිධානය කළ මගඩි නාටකයක් විමසා බැලූවිට ඔහුගේ අනාගත ගමන් මාර්ගය වටහා ගැනීමට අපහසු නොවන්නේය.ඒ ඔහු විසින් තමාටම උපහාර උත්සවයක් සංවිධානය කර ගැනීමය! සම්පූර්ණයෙන්ම ඒක පුද්ගල රංගනයක් වූ මෙහිදී ඔහු මුලින්ම ක‍ළේ හිතවතුගෙන් ලබාගත් අතමාරුවකින් පොස්ටර කිහිපයක් මුද්‍රණය කරගැනීමයි.සුනිල් ශාන්ත කවියාගේ කවි දිවියට වසර විසි පහක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීම ‍යනුවෙන් සදහන් එම පොස්ටර තැන් තැන්වල ඇලවීම සිදුකළේද ඔහුමය.එපමණක් නොව මේ මගින් උපයා ගැනීමට අදහස් කළ මුදල් ලබාගැනීම සදහා සුනිල් ශාන්ත කවියාට උපහාර ලෙස එම උළෙලේදී  ඔහුට මුදල් ත්‍යාග පිරිනැමීම පිණිස ප්‍රදේශයේ යමක් කමක් තිබූ ධනවතුන්‍ට යාදිනි කියා පොළඹවා ගත්තේත් යථොක්ත කවියා ම ය.

දැනට වසර පහළොවකට හෝ දහසයකට ඉහතදී සිදුවු එම මගඩි නාටකය ඔහු අවසන් කරන්නේ අපූරු ආකාරයකටය. එකී ඊනියා උපහාර උළෙල රසවත් කිරීම සදහා හිටිවන කවි මඩුවක් ද “කවියා” සංවිධානය කර තිබුණි.අවට ප්‍රදේශයේ නමක් දිනා සිටි හිටිවන කවිකරුවන් කිහිප පොළක් හා එක් කිවිදියක් ද මෙම කවි මඩුව‍ට ආරාධනා ලැබ සහභාගී වූවෝය.හැන්දෑ භාගයේ ඇරඹී, සුනිල් ශාන්තගේ න්‍යාය පත්‍රයට අනුව පැවති උපහාරෝත්සවයේ අවසාන අංගය වූයේ රසවත් කවි මඩුවකි.ප්‍රනීත රෑ කෑමක්,ගෙවල් දොරවල්වලට නැවත යෑමට ගමන් පහසුකම් හා මහන්සියට  ගෙවීමක් යන පොරොන්දු මත කැදවීමක් ලැබූ කවි කිවිදියෝ “වඩා හොද ගම්බද තරුණියද? නගරබද තරුණියද ? “වැනි මාතෘකා ඔස්සේ මධ්‍යම රාත්‍රිය ගෙවීයන තුරුම හිටිවන කවි කිවූහ.නමුත් මේ කවි කිවිදියන්ට මහ රෑ දවල් තරු පෙණුනේ කවි මඩුව හමාරව නිවෙස්වලට යෑමට සුදානම් වූ විටය.තමාටම උපහාර පිණිස පැවැත්වූ උ‍ළෙල අතරේ දී කවියා එකතු කරගත් මුදලත් රැගෙන ගම හැරදා පළාගොස් තිබිණ.පින්නදූව හන්දියේ කුසගින්නේ පෙළෙමින් වංචාවට හසුවීමේ වේදනාවෙන්හා කෝපයෙන් පෙළි පෙළී මහරෑ මහමග අතරමංව සිටි කාන්තාවක් ද ඇතුළු මේ පිරිසට ගෙවල් බලා යෑමට හැකි වූයේ ප්‍රදේශවාසීන්ගේ උපකාරයෙනි.

පසු කළෙක සුනිල් ශාන්තට සිවුරක් පැළද රටේම ජනතාව ගොනාට ඇන්දවිමට හැකිවීම පුදුමයක් නොවන්නේ මීටත් වඩා සිල්ලර වංචනිකයන්ට රැවටීම අපගේ ජාතික පුරුද්දක්ව පවතින නිසාය.

දැන් සුනිල් ශාන්ත උපැවිදි වීම තමාගේ මහා ජයග්‍රහණයක් සේ ජනතාව සිතන නමුදු මට නම් සිතෙන්නේ ඔහු තමාට අවශ්‍ය තැනට පැමිණි ඇති බවයි.මක් නිසාද යත් ඔහු සිවුර පොරවා ගෙන කළ රග පෑමෙන් උපරිම ප්‍රයෝජන ගෙන හමාර නිසාය.නන්නත්තාර පාදඩ ලුම්පන ජීවිතයක් ගත කළ ඔහු   මේ වන විට කෝටි ගණනක දේපළක් උපයා ගෙන ඇත.දැන් ඔහුට අවශ්‍යව ඇත්තේ ,ඔහුම කියනා ආකාරයට, ජීවිතය විදීමයි නැතහොත් fun එකක් ගැනීමයි.ඉතින් එතැනදී බාධාවක් වූ සිවුර ගලවා දැමීම වඩාත් බුද්ධි ගෝචර වූවකි.

සක්විති රණසිංහ ද මාව අල්ල ගන්නේ නැද්දෝ කියා මෙන් පැමිණ පොළීසියට හසු විම මෙවැනිම ක්‍රියාවකැයිද සිතේ.ජාත්‍යන්තර පොළීසියට අවශ්‍ය පුද්ගලයෙකු වී සැගව බියෙන් ගතකරන ජීවිතයකට වඩා කාල‍යත් සමග ඇල්මැරෙන නීති ක්‍රියාමාර්ගයකට මුහුණ දී පසුව සමාජයට එකතු වීමට උත්සාහ කිරීම මෙවැනි මහා තක්කඩියෙකුගේ හොද උපායක් විය හැකිය.

කෙසේ නමුත් අතිශය කණගාටුවෙන් වුව පැවසිය හැකි තවත් කරුණක් වන්නේ මේ සුනිල් හා සක්විතිට පවා තවත් වසර කිහිපයක් ඇවෑමෙන් තම පරණ වංචාව ආරම්භ කළද යළිත් සාර්ථකව තව පිරිසක් රැවටීමේ හැකියාව අප සමාජය තුළ පවතින බවය.

Published in: on 2011 සැප්තැම්බර් 12 at ප.ව. 4:16  ප්‍රතිචාර (4)  

ශ්‍රී ලංකාව තුන්වන හා අවසාන සිල් පදයත් සමාදන් වෙයි !

ධර්ම රාජ්‍යයට ආසන්නයි ‍ !

(රොබට් නොක්ස් විසිනි)

 ගණිකා වෘත්තියේ යෙදෙන ටෙලි නාට්‍ය නිළියන් ,ඔවුන්ගේ තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම හා ගණිකා නිවස්න වැටලීම මගින් ශ්‍රී ලංකා පොලීසිය අනාචාරයට එරෙහි දැඩි හා නිර්භීත ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අතර එය අහිංසක බෞද්ධයන්  කාමයෙහි වරදවා නොහැසිරීමේ ශික්ෂා පදය පිළිපැද වී‍මේ   තවත් තීරණාත්මක පියවරක් වනු ඇත.

ශ්‍රී ලංකාව ධර්ම රාජ්‍යයක් කරනු උදෙසා සියලුම ශ්‍රී ලාංකිකයින් පංච ශීලයෙහි සමාදන් කරවීමේ අරමුණ  කරගත් මහා පිංකමක් ඈතක නොවූ අතීතයේ අරඹනු ලැබ ඇති අතර එහි මුල් පියවර වශයෙන් “මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි” යන සිල් පදයේ රට වැස් සෝ පිහිට වනු ලැබීය.ඒ අනුව මෙරට වැස්සෝයමක් කියාද ඔවුහු කරති;යම් දෙයක් කර එය නොකළේ යැයි ඔවුහු නොකියති.

ඉන්පසුව “මතට තිත” මගින් සුරාමේරය මජ්ජපමාදට්ඨානා   යන පස්වන සිල් පදයේ මෙරට පිහිට වනු ලැබුවේය.නමුත් එම පන්සිල් පදයේ ඇති සංකීර්ණ ස්වභාවය නිසා ඇතැම් පැවිදි උතුමෝ ඒ ගැන නියම විවරණ සොයා තවමත් වෙහෙසෙති.

පාණාතිපාතා  වේරමණි ‍යන ශික්ෂා පදය තෙවනුව සමාදන් වූ අතර පසුගිය කාලයේ යම් යම් ප්‍රදේශ වල, යම් යම් ප්‍රමාණ වලින්, යම් යම් ප්‍රාණීන් මිය ගියද ඒ අතර තෙරුවන් සරණ ගිය එක් අයෙකු හෝ නොසිටිය බවට වාර්තා වන බැවින් කිසිවෙකු නොමළ බවට පොරණ ප‍ටන් ලැබූ අනුශාසනා අනුව දත යුතුය.

අදින්නාදානය මෙර‍ට ඉතා දැඩිව පිළිපැදෙන ශික්ෂාවක් වන අතර, සොරකම දැඩිව පිළිකුල් කෙරෙයි.ඒ අනුව රුපියල් කෝටි දහස් ගණනක් තබා කෙළියට කඩක් සගවා තැබීමක්වත් මෙහි වැස්සෝ නොකරති.

මේ සියල්ල සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා බැව් සියල්ලෝ අවබෝධ කටයුතුය !

Published in: on 2011 අගෝස්තු 5 at පෙ.ව. 7:52  ප්‍රතිචාර (3)  
Follow

Get every new post delivered to your Inbox.