ගාළු මහජන ක්‍රීඩාංගනය උලා කෑමට පසු වදනක් (මෙම ලිපිය මවිසින් 2014 දෙසැම්බර් මස ලියා මෙහි පළකරන ලද්දක් වන අතර කාලීන වැදගත්කම නිසා මෙලෙස නැවත ප්‍රසිද්ධ කරන බව කරුණාවෙන් සලකන්න.)

d511m

ගාල්ලේ මහජන ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වෙන් කර එය පොදු මහජනතාවගේ භාවිතයෙන් ඈත් කිරීමේ අතිශය අසාධාරණ හා අගතිගාමී මෙන්ම අප වැන්නන්ගේ හිත් තුලින් කිසිදා පහව නොයන කම්පාව ඇති කළාවු කුප්‍රකට ක්‍රියාවේ  නූතන මැතිවරණ කොමසාරිස්වරයා  මූලිකයෙකු බව Lankaenews හි වාර්තාවක පළවී තිබී දකිනු ලැබීමෙන් පැරණි තුවාලයක් නැවත පෑරුණාසේ  දැනෙන්නට විය.ඔහුගේ ඊට ඇති මෙම සම්බන්ධතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කර පැවසීමට නොදන්නා බැවින් එම ක්‍රියාව ගැන නොව එහි ප්‍රතිථලයන්හි ආදීනව ගැන කතා කිරීමට සිතුවෙමි.
ආක්‍රමණික විජාතිකයන් ග‍ාලු කොටුවේ ගොඩබිම දිශාවෙන් ඇතුල්වීමට තිබූ දොරටුව ඉදිරිපිට ජල දුර්ගයක් තනා තිබූ භූ‍මි භාගයක් මතින් ගාලු ක්‍රීඩාංගනය ඉදිවී තිබේ.අප මතක කාලයේ ගාලු ක්‍රීඩාංගන‍යේ හැඩතල දැන් පවතින ආකාරයේම වුවද මෙතරම්  දැවැන්ත නැත.දැන්ගාලු ක්‍රීඩාංගනය දකිනා විට මගේ මතකයට නැගෙන්නේ කට කමසෙයියාවක් නැතිව අහර බුදිමින්  ව්‍යායාමයක් නැතිව එක තැන දපා සිට දැඩිව තරව ගිය අලි බතල ගැහැණියක මෙනි.
මට හැඟෙන ආකාරයට සූට්කේස් වල දමාගෙන පොත් රැගෙන පාසල් ගිය අවසාන ළමා පරපුර අපි වෙමු.දැන් මෙන් බෑග් වල පොත් දමා ගෙන ළමුන් මෙන් නොව අපි මේ සූට්කේස් බහු කාර්ය උපකරණයක් සේ භාවිතා කළෙමු.එයින් බොහොමයක්  අවශ්‍යතා ක්‍රීඩාංගනයේදී පාවිච්චි කළ ඒවා විය.මොනයම් හෝ ක්‍රිකට් තරඟයක් ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වන්නේද අපි එතැන වීමු.පැවිලියන් එකේ වාඩිවී මැච් එකක් බැලීමට වරම් නොලත්  කජු කිරි කොල්ලන් වූ අපි ඒ දිනවල පිට්ටනිය වටා කස ගස් පේලියක් තිබුණු නමුදු ඒ සෙවනට නොගොසින් හතරේ සීමාව ළකුණු කළ කඹය අද්දරම වාඩි වෙමු.(සමහර වේලාවට අපි මේ හතරේ සීමාව ඔසවා අපට අවශ්‍ය ලෙසට ඉදිරියට හෝ පසුපසට ගත් අවස්ථා නැත්තේම නොවේ.)එතැනදී අපගේ සූට්කේසය ආසනයක් සේ පාවිච්වි කරන්නේ එය හරස් අතට සිටුවා දෙපරන්ද පල්ලේ තබා  ගෙන කකුල් දෙක දෙපැත්තට දමාගෙන ඒමත වාඩි වීමෙනි.මෙසේ ටික‍ වේලාවක් සිටිනා විට අව්ව වැඩිවෙන විට හෝ පොදක් ඇද හැලෙන විට බිම වාඩි වී එය ආවරණයක් සේ හිස මතට ගතිමු.පිටියේ මැච් එක බෝරිං ව‍ගේ දැනෙන්නේ නම් අපි අපගේ තරඟයක් බවුන්ඩ්‍රි ලයින් එකෙන් එළියේ සිට අරඹන විට එම සූට්කේස් දෙකක් එක පිට එක තබා විකට්ටුවක් සකස් කර ගතිමු.
ක්‍රිකට් වාරය හමාර වූ විට ෆුට්බෝල් මැචස් පටන් ගනී.ෆුට්බෝල් තරඟ පැවතුණේ ක්‍රීඩාංගනය තුළම සමනල පාලම අන්තයේ ගාමිණි ක්ලබ් එක ඉදිරිපිට කොටසේ මිස දැන් මෙන් එකළ ගව ඝාතකාරයක් තිබූ පිට්ටනියෙන් එළියේ හුදෙකලා ස්ථානයක නොවේ.ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ හ‍ා නැරඹීමට එක් වූ සමාජ කණ්ඩායමට වෙනස් කණ්ඩායමක් මෙම ෆුට්බෝල් තරඟ හා සම්බන්ධව සිටියහ. ඔවුහු බොහෝ විට අව වරප්‍රසාදිත ජන කොටස් වලින්  පැමිණියෝ වූහ.කෙසේ වුවද ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මන බඳිනා සුළු වූ අතර ප්‍රතිවාදීන් තැති ගන්වන සුළු විය.ගාළු ක්‍රීඩාංගනය පාපන්දු ක්‍රීඩාවට තහනම්ව යන තෙක්ම ගාල්ල ප්‍රසිද්ධව සිටියේ  දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් බිහිකළ පුරවරයක් ‍ලෙසටය !
කෙසේ වුවද නැවතත් අතීත කථාවට හැරුණහොත් කාක්කන් පිට්ටනිය වටා ඇති ගස් වලට මෙන්ම යාබද ධර්මපාල උද්‍යානයේ ඇති තුරු හිස් මතට රාත්‍රී නවාතැන් පිණිස පැමිණ හඬ තලද්දී සියළු තරඟ අහවර වී ඇත.වැඩිහිටියෝ හෙමින් හෙමින් ගාමිණි ක්ලබ් එක පැත්තට ඇදේ.බෝතල් වීදුරු ගැටෙන ශබ්දද ඒ අසලින් පිටියෙන් එළියට යද්දී ඇසේ.අපෝ!රෑ වෙන්ටත්ළඟය. දැන් අප ගෙදර යා යුතු බව මතක් වේ.උදේ ඉස්කොලේ පැමිණි අපි ගෙදර යන්නේදැන්ය.බඩගින්නේ හාකුට්ට වෙමින් සිටියද ගානක් නැත.ගෙවල් වලටද ප්‍රමාද විම ගැන කියන්නට නිදහසට කරුණු එමට අපට ඇත.එයින් වඩාත් ඒත්තු ගැන්විය හැකි කරුණ  ස්පෝර්ට් ප්‍රැක්ටිස් තිබීමය.කොහොමටත්මෙම ප්‍රමාදයන් හොඳට හුරු පුරුදු හෙයින් ගෙවල් වල උදවියද අප පරක්කු වීම ගැන එ්තරම් කලබල වන්නේද නැත.
එපමණක් නොව දකු‍ණේ සියළු ප්‍රධාන මට්ටමේ මළළ ක්‍රීඩා තරඟයන්ද එකළ පැවැත්වූයේ ගාලු ක්‍රීඩාංගනයේදීය.තවද ගාලු නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසල් වල නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වූයේ ද ,ගාළු නගර ශෝභිනියන්ගේ රැකියා කටයුතු සඳහා භාවිතා කළාවු,නහා ඇඳ පැළඳ ගැනීම් කළාවු,විවේක ගත්තාවූ  ,පිම්පියන් මුණගැසුණාවූ එකල   “පට්ටිය මුල්ල”නමින් හැඳින්වූූ දැන් ‘සමනල  ක්‍රීඩාංගනය’ යන සාඩම්බර  නම්වර ලැබුවාවූ,කොටු පවුර හා සමනල පාලම අතර බිම් කඩේ නොව ගාලු මහජන ක්‍රීඩාංගනයේදීය.නගරය මැද සියළු දෙනාටම පහසුවෙන් ලඟා විය හැකි තැනක වූ ,නගරය පසුකරගෙනයන සෑම ‍සියළු දෙනාටම වුව නෙතට ගැටෙන ,තමාගේ බස්රිය,දුම්රිය එනතුරු වුවද නැරඹිය හැකි බැවින් ඒ ටික වේලාවට වුවද වැට ළඟ පොදිකමින් එවැනි සිත්ගත් ක්‍රීඩා තරගයන් නැරඹූ පොදු ජනකායක් සතුවූ මහත් සතුටු ක්‍රීඩාංගනයක් විය එය එකළ!ඇත්තටම තමා අගය කිරීමට රැස්වූ මහා පිරිස දැක කුඩා දරුවන් තරග වැදුණේ මහත් අභිමානයකින් බව අත්දැකීමෙන් දනිමු.
ක්‍රීඩා ලෝලයන්ට පමණක් නොව ගාලු  ක්‍රීඩාංගනය ඒ යුගයේදී පොදු ජනතාවගේ සුව සැළසු කෙම්බිමක් විය.රාස්සිගේ අව්ව නිවී යද්දී නගරය අවට පදිංචිකරුවන් තම දරුමල්ලන් ද කැටුව  ක්‍රීඩාංගනයට ඇදෙති.පොඩි එවුන් නිදහසේ පිටි‍යේ දුව පැන සෙල්ලම් කරද්දී මහ අය සතුටු සාමිචියේ යෙදිති.‍‍පෝං! පෝං ගා නලාව මිරිකමින් පොඩි එවුන් ආකර්ශණය කර ගන්නාඅයිස් ක්‍රීම් වෙළෙන්දා,කඩල කාරයා,මිරිස් කුඩු හා ලුණු කුඩු ඉසිනලද අන්නාසි කෑලි ‍විකුණන අන්නාසි වෙළෙන්දා යනාදි සුළු වෙළෙන්දන් බොහෝ පිරිසක් ද ඒ අතර සැරි සරමින් තම ජීවිකාව සරි කර ගනිති.අඳුර දැඩි වද්දී පවුල් පිටින් පැමිණි පිරිස් තම කුටුම්භයන් පෙරළා යද්දී නිදහසේ මධුවිත පිරීමට කැමැත්ත ඇත්තෝ තැන් තැන්වල තප්පලම් දාගෙන සිටිනු පෙනේ.ඉදින් මධ්‍යම රාත්‍රිය වන තුරු ‍ක්‍රීඩාංගනය තුළ ජිවයක් රඟයි.
ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩා පිටියක් කරනු පිණිස නසා දැමුවේ එබඳු සොඳුරු ජීවයකි.එවකට ආණ්ඩුවේ මහා බලවත් ඇමතියෙකු වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණට අවශ්‍ය වී නම් ජාතියේ දරුවන්ට මෙන්ම පොදු ජනතාවට  මෙම සම්පත අහිමි වී යෑම වැලැක්වීමට හැකියාව තිබුණද ඔහු කළේ මෙම විනාශයට උඩගෙඩි දීම පමණකි. එහෙත් හැකි පමණකින් පාපන්දු ලෝලියෙකු ඊට වි‍රෝධය පා තිබුණේ  පාපන්දුව පිටියෙන් එලවා දමා ඉදිකර තිබූ තණ නිල්ලේ තාර ගෑමෙනි!

Advertisements
Published in: on 2018 ජූලි 21 at පෙ.ව. 2:42  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

රාජිතගේ කථාව හරියටම හරි…………!

mmm

අපේ අය, විශේෂයෙන් සිංහලයන් මාර විකල්ප ,ලිබරල් ,සමාජවාදී ,නූතන චින්තනයක් සහිත එවුන් බව ඔවුන්ම පවසනු ලබයි.උදාහරණයක් හැටියට ඒ උදවියගෙන්  මා දකින බොහෝ පිරිසක් share කරන්නාවූ පෝස්ට් දකිනා විට  මෙය අපූරුවට දකිත හැකිය.ඒවායින් බොහොමයක බුද්ධ ධර්මයේ අභිධර්ම කොටස් නැතහොත් අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ හෝ  ඕෂෝගේ දේශනා වලින් උපුටා ගන්නා ලද කොටස් හෝ ක්‍රිෂ්ණ මූර්ති,මහත්මා ගාන්ධි,අබ්දුල් කලාම් වැනි උතුමන්ගේ කියමන් එසේත් නැත්නම් අඩුම ගණනේ කූඹියෝ  ටෙලි නාටකයේ ප්‍රධාන නළුවාගේ දෙබස් කණ්ඩ හෝ  චෛත්‍යයන් හා බෝගස් යනාදියේ අපූර්ව කලාත්මක පින්තූර සමඟ අසරණ හා පීඩාවට පත් මිනිසුන්ට උදව් කිරීමේ වටිනාකම කියැවෙන තායි කෙටි වීඩියෝ චිත්‍රපට මෙන්ම කළු සුදු භේදයේ තිරශ්චීනභාවය දක්වන කෙටි වීඩියෝ චිත්‍රපට ද “මේවා අනිවාර්යයෙන් බලන්න”යැයි දක්වමින් තම තමන්ගේ බුකි වෝල් එකෙහි ප්‍රදර්ශණය කරති.එපමණක් නොව අසාධ්‍ය රෝගීන්ගේ පින්තූර දමා ඒ අයට සුව වනු පිණිස එම post එක share කිරීම  හෝ like කිරීමක් ඉල්ලා සිටිති.

එහෙත් මේ බුදුන් අනුදැන වදාළ දහම වැළඳගත්තාවූ ද,අල්ප වූ ආශාවන් ඇත්තාවූ ද,දානපාරමිතා පුරන්නාවූ ද,පරහිතකාමී වූ ද මේ පිරිසගේ සැබෑ ආකල්පයන් වටහා ගැනීමේ අවස්ථා බොහෝ විට මතුවේ.මොනරාගේ රංගනයේ දී මෙන් තමන්ගේ සැබෑ ස්වරූපය තවත් මහාර්ඝ අවස්ථාවක්  රාජිත ඇමතිවරයාගේ කටට වචන ලබාදීමෙන් අප නිර්භීත,ස්වාධීන හා අපක්ෂපාතී ,නොනැමෙන ,රැඩිකල් ජනමාධ්‍යවේදීහු මෙම ජනතාවට ලබාදුන්නෝය.එ් අනුව උතුරේ යුද්ධයේදී මියගිය උතුරේ සියළු දෙනා ත්‍රස්ත්‍රවාදීන් වන බැවින් උන් සැමරීම බරපතල වරදකි.ඔිනෑම ශුද්ධ යුද්ධයකදී මියයන අහිංසක සිවිල් ජනතාව සැමරීමට ඇති අයිතිය පසෙක තබමු. උතුරේ කොටි ලෙස සටන් කළේ ඒ උතුරේ සිටින  අසරණ ශ්‍රී ලාංකික දෙමළ  දෙමාපියන්ගේ දරුවන් බවද ( කොටි හමුදාවට සෙබළු බඳවා ගැනීමට කොටි නායකයන් ක්‍රියා කළ ආකාරය හා  ක්‍රම ක්‍රමයෙන් එකී කොටි සෙබළුන්ට යුද්ධය පිළිබඳ  හැඟුණු ආකාරය දැන ගැනීමට අවම වශයෙන් කොටි සංවිධානයේ හිටපු කාන්තා දේශපාලන නායිකා තමලිනී ජෙයක්කුමාරන්ගේ කෘති කියවන්න)උන්ට මියගිය තම දරුවන් සිහිකිරීමේ අයිතියක් ඇති බව නොතකමින්   එය  මහා විපත්ජනක භයානක ක්‍රියාවක් ලෙස දකුණේ ජනතාවට ඒත්තු ගන්වමින් නැවත වරක් සිංහලයා වනාහි සුළු ජාතික අයිතිවාසිකම්  නොතකන,ජාතික සමඟිය යනු අනෙකා තමාට යටත් වී සිටියයුතු යැයි හඟින,දෙමලා හැඩීමට වුව තමාගෙන් අවසර ගතයුතු යැයි සිතන සිංහල දෙමල කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ love  ගැන බොරු සිංදු ලියන බොරු චිත්‍රපට තනන දුපත් මානසිකත්වයෙන් නොමිදුණු ගතානුගතික ජාතිවාදී කල්ලියක් බව ලෝකයාට පෙන්නුම් කර හමාරය.

රාජිත ඇමතිවරයා කී ලෙස 1971 කැරැල්ලේදී ඍජුවම සිංහල පොලීසියට පහර දීමෙන්ද, 1989 දී ග්‍රාමසේවකලා,විදුහල්පතිවරු,ගමේ මුදලාලිලා,කලාකරුවන් යනාදීහු මරාදමමින් රාජ්‍ය බලය පැහැරගැනීමට උත්සාහ කළාවූ ද,හමුදාවට අභියෝග කළවිට නිර්දය ලෙස තළා දමනු ලැබූ  සිංහල දේශ‍ප්‍රේමී ජවිපෙ කැරලිකරුවන් ද එහි නායකයාද ඉල් මස සැමරුම ලෙසින් පක්ෂ මට්ටමින් සමරන කළ ඔවුන් ත්‍රස්තවාදීන් ද ඒ කෙසේ වුවත් ඔවුන් ද සිහිපත් කිරීමට අයිතියක් ඇත්තේද නැත්තේද යන්න ගැන මේ ඊනියා ජනමාධ්‍යවේදීන්ට දෙගිඩියාවක් නොතිබිණි.

තවද මුස්ලිම් කඩවල කොත්තු වල වඳ පෙති,යට ඇඳුම්වල වඳ ජෙලි ආලේපනය  පමණක් නොව උන් වඳ  ටොපිද දෙතැයි යන කලබැගෑනිය මෑතකදී දැක්වූ තවත්එ බඳු රංගනයක් වන අතර අාබාධීත කොල්ලෙක් ඇතුළුව  දෙපාර්ශවයේම අන්ත ත්‍රස්තවාදීන් කිහිප පොළක් මරා දමා ගනිමින් යන්තම් ඒ මර විපත්තියෙන් ගැලවුණ අතර මෙවැනි case වලදී සිටිය යුතු ගැලපෙනාම කෙනා කෙසේ හෝ ජනාධිපති පුටුවට ගෙන ඒමෙන් පමණක් මෙවැනි උවදුරු වලින් සදහටම මිදිය හැකි බවද ඔවුන්ගේ ඒකායන විශ්වාසයයි.

Published in: on 2018 මැයි 23 at පෙ.ව. 11:59  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

සිංහල අළුත් අවුරුද්ද බොරු හිලකි .

 

                                            ජන සමාජය කෘෂි ආර්ථිකය හා බැඳී සිටි එකල අළුත් අවුරුද්දට තේරුමක් තිබුණි.මක්නිසාද යත් මෙය දැඩි වෙහෙසකාරී හා  ගලක් හිසමත තබා සිටින්නාක් මෙන් වූ  දැඩි  පීඩාකාරී විඩාවකින් පෙළෙන්නට සිදුවූ වකවානුවක් හමාර වී උදාවන්නක් හෙයිනි. වර්ෂා රටාවට අනුගත වෙමින්ද,  පරිසර සාධක හා පොරබැද, පුරන් කොටා; සමහර විට දෙපාරක් , කැට පෙරළා,මඩ තියා නියර බැඳ, ලියදි වෙන් කර ,පෝරූ ගා ,බිජු වපුරා   ඉනික්බිතිව දැන් සිහින් සුළඟේ තාලයට නැටවෙන පැලපත  ගොයම මතුවූ කළ  සැබවින්ම සැනසීමකි. හා! දැන් ඉතින් සාර සුබාවට සැරසී කාරිය කුඹුර පැත්තේ ඉඳහිට රවුමක් කැරකී ආවත් ඇතිය.ඉතින් මෙකල  ගොවියාට නිවාඩු ඉස්පාසුවක් ඇත්තේය.මෙතෙක් නොකළාවූ ගෙදරදොර අඩු පාඩු බැලීමට,අම්මාට , අප්පුච්චාට , නැන්දාට , මාමාට ඉටු කළ යුතු යුතුකම් අතපසු වී ඇත්නම් ඒවා ගැන සොයා බැලීමට,දුරු රට ඉන්නා ඥාති හිතමිත්‍රාදීන් සමඟ පයිරුපාසානම් පවත්වා ගැනීමට මේ සුදුසුම කාලයයි.

එහෙත් නුතනයේ සේවා කර්මාන්තයේ යෙදී සිටින සේවා කම්කරුවන්ට මේ කාලය වැදගත්වේද?එවුන්ට එබඳු නිස්කලංකුවේ සිටීමට කාලයක් තිබේද?ඔවුන්ට මේ කාල සීමාව හා අවුරුද්දේ අනෙක් දවස් අතර කවර  වෙනසක් තිබේද? හැබෑවටම වෙනසකට ඇත්තේ සිංහල අළුත් අවුරුද්ද නාමයෙන් ඉස්කෝල නිවාඩු දී තිබීමත්,සේවා කම්කරුවන්ට ආණ්ඩුව ගානේ දවස් දෙකක් රජයේ නිවාඩු ලබා දී තිබීමත්ය.(අනෙක් දවස් වල වැඩ නොකරත් රස්සාවට යන්ට එපායැ,අප්පා!) ඉතින් අප පුරුදු වී සිටින්නේ වඳුරාගෙන් පැවත එන කාලයේ තිබී දැනට කශේරුකාවේ ශේෂව පවතින්නාවු නැටි කෑල්ල මෙන් ,මොකට තිබෙන්නේ දැයි  නොදැන එනමුත් තිබෙනා නිසා  ඒ හා ගණුදෙනු කිරීමට වෑයම් කිරීමටයි.එබැවින් ඒනිසා කිරිබත්,අච්චාරු,කැවුම් ,කොකිස් යනාදි දකුණු ඉන්දීය, පෘතුගීසී,ඕලන්ද කෑම පමණක් නොව දැන් දැන් ෆයිඩ් රයිස් වැනි චීන කෑම කමින්ද,තේ හා ගල්  අරක්කු බොමින් ද ;අලියාට ඇහැ තැබීම,ලිස්සන ගහේ නැඟීම,කොට්ටා  පොර ගැසීම,බනිස් කෑම,අවුරුදු කුමර කුමරියෝ තේරීම වැනි වෙනත් සංස්කෘතික සමාජයන්ගෙන් අහුලා ගත්තාවූ විවිධ ක්‍රියාකාරකම් අපේ ජාතික අංග ලෙස හුවාපාමින් අගේ වඩමින් නියැලෙමු.ඒ හැරෙන්නෙට රතිඥ්ඥාද පත්තු කරමු. කෙසේ වුවත් මේ අභූත සිතුවිලි වලින් මනාව ප්‍රයෝජනයට ගන්නේ වෙළෙන්දායි.ඔහු  මේ සිංහල මනාව තොරොම්බල් කරයි.මේ නිසා මාස්පතාම අළුත් රෙදි පිළි මිළඳී ගැනීම සිදුකලත් කවදාවත් රෙදි නෑදු ගණනට අපේ උදවිය රෙදි කඩවල පොරකයි.ඉලෙක්ට්‍රොනික උපාංග හා අළුත් අවුරුද්ද සමඟ ඇති සම්බන්ධය කුමක්දැයි  වටහා ගත නොහැකි  නමුත්  වෙළෙන්දා අළුත් ප්‍රමෝෂන් කැම්පෙයින් හඳුන්වා දෙයි:අප ද ණයවී  ගෙවීමේ ක්‍රමයට ඒවා ගෙනයත්!ප්ලාස්ටික් බඩු වලටත් ,ෆ්ලෝ ටයිල් වලටත් මාර ඉල්ලුමක් ඇත්තේ ඒ හා සිංහල අවුරුද්ද හා තදනතර ආත්මීය බැඳීමක් ඇතිසේය!

අළුත් අවුරුද්දේ සම්බන්ධතා අළුත් වෙනවා යැයි කිවුවාට අඩු ගණනේ අල්ලපු වැටේ සිටින එකාවත් සමඟ අපේ සබඳතාවන්හි කඩතොළු අළුත්වැඩියා කරගැනීමට තරම් මෙම වත්මනෙහි පවතින අළුත් අවුරුදු සාධකය බරසාර  නොවේ.(ඇත්තටම සේවා කම්කරුවාට මොන සමාජ සබඳතා ද ?) බොහෝ ඉඩකඩ ඇත්තේ තිබෙන සබඳතාවත් පළුදුවීමට කාරණා කටයුතු සිදුවීමයි.

“අපට ඩිස්ටර්බ් වෙනවා කියලා පොඩ්ඩක් වත් හිතන්නේ නැතිවයි අර ගොල්ලා පාටි දාලා  ගෝසා කළේ”

කෝ! අපි ගියාට උන් අපේ  ගෙවල්වල ආවද? බලමුකෝ ඊළඟ සැරේ !

නමුත් මේ සිංහල අළුත් අවුරුද්දයි!

සැ.යු. -මේ සේවා කම්කරු ගණයට  දොස්තර ,ඉංජිනේරු,නීතීඥ,ගුරුවරු,පරිපාලන සේවකයන් ඇතුළු වැටුප් ලබන සියළු රජයේ  හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ඇතුළත් වේ.

Published in: on 2018 අප්‍රේල් 12 at ප.ව. 12:01  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

මට හමුවූ ජාතික වීරයෝ-1

the-frog-and-the-well-denny-bondee

  • වීරයා 1

නම ජගත්. රැකියාව දවල්ට ත්‍රීවිලරයකින් හා ලෑන්ඩ් මාස්ටරයකින් හයර් යෑම හා රාත්‍රියට එම ත්‍රීවිලරයේම ජංගම ඉඳිආප්ප විකිනීමක් සිදුකිරීම.තිතට මත තබන්නෙකි.ජාතිවාදී කලබලය ඇවිළුනු පසුගිය දවසක ඔහුගේ ත්‍රීවීලරයේ ගමනක් යමින් සිටින අතර කතාබහට වැටුනෙමි.

“තම්බින්ට අපේ රට ඇතුලේ නටන්න ඉඩදෙන්න නරකයි.දැන් හැම තැනක්ම උන් අල්ලගෙන.ඒ මදිවට අපේ කරේ නගින්නයි හදන්නේ.පේනවනේ උන් උඩගිය තරම.දෙන්න ඔින උන්ට දෙමළට දුන්න වගේ………………”

මේ කතාබහට සවන්දෙන අතර මට සිහිපත් වූයේ ජගත්ගේ බිරිය දැන් වසර ගණනක් තිස්සේ ඩුබායි හි ගෘහසේවිකාවක් ලෙස රැකියාවේ යෙදෙන  බවයි.ජගත්ගේ ත්‍රීවිලරයේ පිටුපස “හප්පන්න එපා, ණය වෙලයි ගත්තේ” ,”සුදු මුහුණයි,හුරතලයයි හරි අවදානම්” යනාදි වශයෙන් සටහන් කර තිබුණද හැබෑවටම ඒ සඳහා සල්ලි එවන ලද්දේ  ජගත්ගේ පවුල වන නන්දනී විසින් බව මම  හොඳාකරවම දනිමි.බීගෙන නාලාගිරියා සේ දඟලාගෙන එන තම මිනිහාට යටනොවන ගැහැණියක වන නන්දනී තමා දුක් මහන්සි වී උපයා ගන්නා මුදල් ප්‍රයෝජනවත් සේ අයෝජනය වන ආකාරය පිළිබඳ මනා සැලකිල්ලක් දක්වයි.

ජගත්ගේ කතාබහට සවන්දෙමින් සිටි අවසානයේ මෙසේ ඇසුවෙමි.”‍නන්දනී  මේ සැරේ ගිය තැනත්  බොහොම හොඳයි කියලා කියනවා නේද?”

ලෝක අණ්ඩපාලයෙකු වන ජගත් මගේ කතාවේ යටි අදහස වහා තේරුම් ගත්තේය. “ඕ!ඒ වුනාට එහේ ඉන්න එවුනුයි  මෙහේ ඉන්න එවුනුයි වෙනස් “

වීරයා 2

නම සමරසේකර.විද්‍යා උපාධිධාරියෙකි.දිස්ත්‍රික් පදනම යටතේ දුශ්කර කලාපයක ගුරු පත්වීමක් ලබා සිටී.පත්වීම ලබා මාසයක් ඉක්මයෑමටත් පෙර  පෞද්ගලික ටියුෂන් පංතියක් පටන්ගත් අතර දැන් වඩාත්ම අවධානය යොමුකර ඇත්තේ එය දියුණුකර ගැනීම පිණිසය.ඉඳහිට ටිකක්  බොයි.මෙම ගුරු පත්වීම ලැබීමට පෙර පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක රැකියා සඳහා සඳහා සම්මුඛ පරීක්ෂණයන්ට පෙනී සිටි නමුදු ඔහු කියන ආකාරයට එම  ආයතන තුළ පැවති සිංහල මහජාතියට ඇති කැපිල්ල නිසා එම අවස්ථා අතරින් බොහොමයක්ම ඔහුට නොලැබුණු බවයි.ඒ ඇතැම් ආයතන තුළ එකී රැකියා අවස්ථාව ලැබු ඔහු දන්නා හඳුනන  මුස්ලිම් එවුන් ද සිටී.මේ අකටයුත්ත ගැන ඔහු කලකිරී ඇත.ඒ අතරම තමාගේ  IT ෆීල්ඩ් එකේ දැනීම office package එකට පමණක් සීමා වන බවට පිළිගන්නා අතර කඩ්ඩ හදාගන්නට තවමත් බැරි වූ බවත් පවසයි.

වීරයා 3

නම නයනා.ගම නුවර.උසස් පෙළ දක්වා ඉගෙන ගත් නමුත් උසස් පෙළ සමත් කරගන්නට  නොහැකි ඇත.සාමාන්‍ය  පෙළෙන් පසුව මිතුරියකගේ මාර්ගයෙන් “හනීෆා  ෂූ මාට් ” හි සාප්පු සේවිකාවක් ලෙස වසර ගණනාවක්  සේවය කළ අතර  විවාහයෙන් පසුව රැකියාවට නොගියාය. ඈ බැන්දේ සිල්ලර කඩ මුදලාලි කෙනෙකි.ඒ කඩය දෙස බැලුවිට  පෙනීයන්නේ දියුණුවකට වඩා එකතැන ඔහේ පවතින්නක් බවයි.නයනාගේ කඩේ වැඩ කටයුතු වලදී (උදා:චෙක් හිරවීමක්,සිංහල අවුරුදු කාලෙට-නත්තලට බඩුගෙන ඒමට ප්‍රමාණවත් මුදලක් තම අත නොමැති වීටදී ) අතමාරුවක් ඉල්ලාගැනීමට නයනා නොපැකිලව යන්නේ තම පැරණි ස්වාමියා වූ හනීෆා මුදලාලි වෙතටය.ඇයගේ මතයේ හැටියට බොස් ඉතා ගුණයහපත් මනුෂ්‍යයෙකි.තමන්ගේ අය අතරවත් එවැනි උණුවන හදක් ඇති අය නැත.එහෙත් මෑතක සිට තම්බි පළාතේ බිස්නස් ලයින් එක අල්ලාගෙන සිටීම ගැන දැඩි කෝපයෙන් පසුවන අතර හන්දියේ නව සුපර් මාර්කට් එක පමණක් නොව “Lovers”,”Fashion Bug ” යනාදි කඩද වර්ජනය කළ යුතු බව කියන්නීය.

වීරයා 4

නම පුලචිතා. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියෙකි.කණ්ණාඩි දමයි.අවිවාහකයි.පිටරට සංචාරය කර ඇත.ඇය පවසන ආකාරයට අෑ රැඩිකල් මතවාදයන් දරන්නියකි.උදාහරණ වශයෙන් ඇය පවසන්නේ අපේ ගැහැණු ගෘහසේවිකාවන් වශයෙන් මැදපෙරදිගට පැටවීම වහාම අවසන් කළයුතු කාර්යයකි.ඒ වෙනුවට අප කළයුත්තේ වර්තමාන ලෝකය හා පෙරට යමින්  තොරතුරු තාක්ෂණ දැනුමින් බිම් මට්ටමේ සිට අප ජනයා  සන්නද්ධ කර ඉන්දියානුවන් කරන්නාසේ එම IT සේවා සපයන්නන් ඔස්සේ විදේශ ශ්‍රමික බලවේගයක් ගොඩනැඟිය යුතු බවයි.ඉතින්   ඒ සඳහා වූ IT දැනුමක් මුළු මහත් සමාජය තුළ විසුරුවා හැරීම සඳහා කවරනම් වැඩපිළිවෙලක් ,කෙසේ සකස් විය යුතුද? යන පැණය නැඟු විට ඇය  කියා සිටියේ එ් පිළිබඳ මේ අවස්ථාවේ පැහැදිලිව  ප්‍රකාශ කළ නොහැකි නමුත් එවැනි   වැඩපිළිවෙලක කඩිනම් අවශ්‍යතාවක් පවතින බවයි. එහෙත් පාසල් ළමුන්ට ටැබ් පරිගණක ලබා දීම නොකළ යුතුව පවතින්නක් ලෙස තරයේ  කියා සිටින අතර එය නතර වීම ගැන බලවත් සේ සතුටට පත්ව සිටින්නීය.

Published in: on 2018 මාර්තු 20 at ප.ව. 4:53  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

අබේරත්න,කිලුටු කුමාරි හා මම (අවසාන කොටස)

                            sam_0687.jpg

        මාලනී නම් වූ ,අබේරත්නගේ බිරිඳ අප මිතුරන්ගේ සැදෑවරු කථාබහේදී ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූ අතර අප විසින් ඇය “කිලුටු කුමාරි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවාය. ළමයෙකුගේ මෙන් වටකුරු  ඇස්,සිනිඳු කන්පෙති හා ඝන නමුත් කුඩා දෙතොල් සහිත පියකරු මුහුණක් ඇයට තිබුණද ඇය ඇද පැළඳ සිටි ඇඳුම්වල මෙන්ම ගතෙහි තිබූ අපිරිසිදු ස්වභාවය  අප මිතුරෝ එලෙසින් ඇයට නම් පටබැඳීමට හේතූ විය.උදෑසන දත කට මැද මුහුණ හා වැලමිට දක්වා අත් දෙක සෝදාගැනීමකින්  පමණක් අනතුරුව පෙරදා සවස දවසේ වැඩනිමාවෙන් පසුව වැවට ගොස් නාගැනීමෙන් අනතුරුව ඇඳ ගත්තාවූ පරණ ගොමස්කඩයක් බඳු රාත්‍රි ඇඳුමකට සමාන ඇඳුමින්ම මුළු  දවසේම  කටයුතු වල  ඈ නිරතවෙයි. වතුර, දැළි, මඩ, කඳුළු, කෙළ, දහඩිය, කහට, ඉඳුල්, ලේ යනාදි සියළු දෙයම වැකුණු  එම වස්ත්‍රය අතරින් වුව ඇයගේ දැඩි තන මෙන්ම ඉඟසුඟ හා මනබඳනා උකුලැති ස්ත්‍රී ලාලිත්‍යයද ප්‍රකට විය.නමුත් අප මිතුරන් සෝපාහාසයෙන් පැවසුවේ “කිළුටුකුමාරි ළඟට ගතෑකි වෙල්ල හැලියේ දාලා තම්බගත්තට පස්සේ ” යනුවෙනි.කෙසේවුවද ආරක්ෂක සේවාවේ  නිලධාරීන්  ඇතුළුව යම් යම් හා පුද්ගලයන් ඇය කෙරේ ආකර්ෂණව සිටියේ යැයි පැවසුණු අතර කවර කාරණයක් උදෙසා වුවද  එකී පුද්ගලයන් ද බොහෝ විට අබේරත්නගේ නිවසේ ගැවසෙනු දැකීම මටද  හුරුපුරුදු කාරණයක් විය.

            මේ සියල්ල මධ්‍යයේ නාමල්තැන්නේ අපි ගතකළේ යක්ෂයාගේ දත් තිස්දෙක අතරේ ගතකරන්නාක් වැනි ජීවිතයක් යැයි කිවහැකිය.මෙගම හා බාහිර සබඳතා පවත්වා ගත හැකි අයුරින් ත්‍රිකුණාමලයට හා අනුරාධපුරයට යෑමට බස් රථ ගමන් කළේ එක් ගමන්වාරයක් පමණි.හවස හය වන විට පමණ ප්‍රදේශයට පිවිසෙන මාර්ගය වසා දමන අතර  උදෑසන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කරනු ලැබුවේ හමුදා පිකට් එකකින් හෙවත් මාර්ගය දෙපස හමුදා සෝදිසි කිරීමකින් පසුව නියමිත ස්ථානයන්හි රැකවල් තරකිරීමෙන් පසුවය.ඇතැම් දිනවල මෙම හමුදා කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාර එල්ල වන අතර එහිදී තත්වය යථා තත්වයට පත්වන තුරු මාර්ගය විවෘත කිරීම බොහෝ ප්‍රමාද වේ.මාර්ගය වසා දැමීමෙන් පසුව කිසිදු වැසියෙකුට ගමට  ඇතුළුවීම හා  පිටවීම කළ නොහැකි වෙයි.එකළ ජංගම දුරකථන භාවිතයක් නොතිබූ අතර දුරකතන රැහැන් පද්ධතියද කොටින් විසින් විනාශ කර තිබූ හෙයින් ස්ථාවර දුරකතන සබඳතාවක්ද මෙහි නොවීය. අපේ සන්නිවේදන අවශ්‍යතා සඳහා පිහිට වූයේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රේඩියෝ සංඥා මගින් සන්නිවේදනය සිදු කරන්නාවූ  දුරකතනයක් පමණි.                   කොටින් විසින් අවට පිහිටි හමුදා කඳවුරුවලට පහරදී ඒ අසල ගම්මාන වලට කඩා වැදී සැහැසි ලෙස ගම්වැසියන් මරා දැමීම පිළිබඳ තොරතුරු නිබඳව පාහේ ඇසුන අතර ඊළඟ ගොදුර අපි විය හැකියැයි යන බිය නිතරම අප හිත්හි හොල්මන් කළේය.එබඳු පහරදීමක් අද විය හැකිය යන ප්‍රවෘත්තිය බොහෝ විට මෙහි සන්නිවේදනය වූ අතර එවැනි දිනවල අප රැය පහන් කළේ නිවෙස් වලින්  පිට කුඩා වන වදුළු හෝ  වැව් තාවුල්ල හෝ වෙනත් රක්ෂිතයැයි අප උපකල්පනය කළ  තැනකය.මෙබඳු දිනවල රැය පහන් කළේ නිරිවර්ජිතව හෝ අඩ නින්දේ වූ බැවින් මම දහවල් කාලයේ සිහින් ඉතා වේදනා දෙන්නාවූ හිසරදයකින් පෙළෙන්නට වීමි. අඩුම ගණනේ අප උපන් ගම්පළාත්හිදී රාත්‍රියේ ගෙවල් දොරවල් වසාගත් කළ සැනසිල්ලේ නිදාගත්තා නොවේ දැයි කල්පනාවට එද්දී අප ගැන අපටම බලවත් කම්පාවක් ඇතිවිය.කෙසේ නමුත් එවැනි තත්වයක් මැද වුවද හැකිතාක් දුරට එගම්වැසියන් සමඟ ගැවසෙමින්ද,දැනහඳුනාගනිමින්ද,සම්බන්ධතා ගොඩනඟාගනිමින්ද ආතතියකින් තොරව වෙසෙන්නට වෑයම් කළෙමු.

            අද දින යෙදෙන මේ ගමනද එබඳු සබඳතාවයක් නිසා යෙදුනක් විය. මා නාමල්තැන්නේදී හඳුනාගත් එගම්වැසි මිතුරෙකුගේ පියාගේ මරණය සැලවීම නිසා සහභාගී වීම සඳහා යන ගමනකි මේ.නාමල්තැන්නේ දී මා හඳුනාගත් මගේ පැරණි මිතුරන් අතර අබේරත්නද  මල ගෙදරදී හමුවීම මට සතුට උපදන්නක් විය.නිවාඩු පාඩු තැනක එළිමහනේ මධුවිතක් පානය කරන අතරම අපට කතා කිරීමට බොහෝ දේ විය.විවාහ වීම් ,දරුමල්ලන් ලැබීම්,දරුවන් වැඩිවියට පත්වීම්,රැකියා හෝ ආදායම් තත්වයේ වෙනස්වීම්,වයසට යෑම යනාදි වශයෙන් මේ කාලය තුළ අප ජීවිත බො‍හොසෙයින් වෙනස් වීමකට ලක්කර ඇත.නාමල්තැන්න වුව දැන් ත්‍රස්ත භීෂණයෙන් මුළුමනින්ම නිදහස් වී ඇත. දැන් එතුළ ජීවිතය  දකුණේ අන් ප්‍රදේශයක තත්වයට සමානය.

            මේ කතාබහ අතරය මා අබේරත්නගේ උරහිසේ වූ  කැළල දුටුවේ.මුලින් පිළිවෙලක් නැතිව අත් නවන ලද අත් දිග කමීසයක් ඇද සිටි අබේරත්න ටික වේලාවක් යන විට එය උනා අසල වූ ගසක එල්ලා තැබීය. මා දුටු කැළල මඳක් ගැඹුරු වක්‍රාකාර එකක් විය.

            “මොකද්ද අබේරත්න ඔය කැළල”අනෙකුත් මිතුරන් වෙන වෙන මාතෘකා ඔස්සේ කතාබහේ නිරත වන අතරදී මම අබේරත්නගෙන් විමසූවෙමි.

            “ආ! මහත්තයා මේ සිද්ධිය ගැන දන්නේ නැහැනේ” යි කියා ඔහු අරක්කු වීදුරුවක් වත් කරගෙන පානය කළේය. “මහත්තයා දෙදාහේ මාර්තු මාසේ මෙහෙන් මාරු වෙලා ගියා කිව්වනේ.ඒ අප්‍රේල් මාසේදී අපේ ගමට කොටි ගැහුවා.මතකනේ අද ගහයි හෙට ගහයි කියලා අපි අනුමාන කරගෙන හිටි විදිය.එදා මට  දවල් ඩියුටි තිබුණ දවසක්.මේ කොටි බය නිසා සූදානම් ශරීරෙන් ඉන්න ඕන නිසා වැඩිය බිව්වෙත් නෑ.රෑ එක දෙක විතර වෙන කොට කෑම්ප් එකට ගහන අතරේ උන් කට්ටියක් ගමට පැන්නා.,කිරලුන්ගේ ගෝසාවයි, බල්ලන්ගේ ගෝසාවෙනුයි,වෙඩි සද්දෙන් මෝටාර් සද්දෙන් අපි දැනගත්තා මුන් ගමට පැනපු බව.එතකොට අපේ ගෙදර හිටියේ මමයි, ගෑනියි,ළමයි තුන්දෙනයි.බාලයට වයස මාස ගාණක්.අපි කොටියගෙ තිරිසන්කම දැනගෙන හිටි නිසා මම ආරස්සාවට කටයුතු යොදලයි තිබුණේ.”ඔහු තවත් අරක්කු වීදුරුවක් පුරවා ගති.

            “මහත්තයාට මතක ඇතිනේ ඒ දවස්වල අපේ මහගෙදර පිටිපස්සෙන් මම හදපු අළුත් ගෙදර.ඒ දවස් වල කොටි එන ආරංචියට පවුලේ එවුනුත් අරගෙන එහාට මෙහාට වහන්වෙලා ඉදීම ඇති වෙලයි තිබුණේ. අනික උන් අපේ කෙනෙක් අල්ලගෙන වදදීලා මිනිස්සු වහන්වෙලා හිටිය තැනුත් හොයාගෙන මරලා තිබුණා.ඒක නිසා මම කවුරුවත් සැක නොහිතන තැනක් හැංගෙන්න හැදුවා.ඒ ගෙදර කුස්සියේ ලිපට උඩින් දුම් කවුළුව ඇතුළෙ අටුවක් වගේ කොන්ක්‍රීට් ලෑල්ලක් දා ගත්තා.දැන් එදා රෑ කොටි මගේ ගෙදරටත් පැන්නා.ඒ වෙනකොට මම පොඩි එවුනුයි,ගෑනියි ඉනිමං කෑල්ලක් තියලා අර තැනට ගොඩකරවලා,පස්සේ යට ලකුණු මුකුත් නොහිටින්න ලිප ගාව හොඳට හරි ගස්සලා මමත් උඩට නැගලා ඉනිමඟත් උඩට අරගෙනයි හිටියෙ.කොටි පිස්සු බල්ලෝ රැළක් වගේ ගෙට කඩා වැදුණා.ගෙදර කවුරුවත් පේන්න නැතිවෙන කොට උන්ට කේන්තියි.ඒ එක්කම මගේ ග්‍රාමාරක්ෂක නිළ ඇඳුම අහුවුනාම උන්ට තවත් කේන්තියි.උන් ගේ පෙරළ පෙරළා අපිව හෙව්වා.බඩු මුට්ටු පොළවේ ගැහුවා.කුණුහරුපෙන් බැන්නා.”

“ඉතින්?” මම අසා හිටියේ බලවත් විශ්මයෙනි.

“ඉතින්,උන්ගේ මේ කලබැගෑනියට බයවෙලා,නින්ද කැඩිලා ඇහිරිලා හිටිය මාස ගණනේ පොඩි දරුව අඩන්න හැදුවා.එකී ඇඩුවා නම් අපි ඔක්කොම උන්ට අහුවෙනවා. දරුවා හිටියේ ගෑනිගෙ අතේ .මම විගහට ඇගේ කට අතින් තද කරලා වහගත්තා.ගෑනි බය වුනා හුස්ම ගන්න බැරිව දරුවා මැරෙයි කියලා.ඒ වගේම ඒකිගෙ කල්පනාවට එන්න ඇති ඒ දරුවා මගේ නෙමෙයි ඒකි යාළු වෙන මිනිහෙකුගෙයි කියලා මම ඒකිත් එක්ක රණ්ඩු වුන හැටිත්.ඉතින් දරුවගේ කට අතාරින්න කියලා කෙඳිරි ගාලා ඒකී තදින් මගේ උරහිස්ස හපාගෙන හිටියා.”

“මම එහෙමම තිරිසෙනෙක්වත්,මෝඩයෙක්වත් නෙමෙයිනේ මහත්තයෝ.මම දරුවගේ කට තද කරන් හිටියෙ සැරින් සැරේ හුස්ම ගන්න පුළුවන් විදියට ඇඟිලි පොඩ්ඩ පොඩ්ඩ උස් පහත් කර කරයි.අරුන් ගේ ඇතුළේ පෙරළී කරලා අන්තිමේදී සෑහෙන ඈතකට ගියයි කියලා දැනෙන තුරු ගෑනී කිඹුලියක් වගේ මගේ උරිස්ස විකාගෙන ඉන්න වේදනාවත් දරාගෙන මම පොඩි එකී ගැන කල්පනාවෙන් හිටියා.අවදානම නැතිවුනාම ඇගේ කට අතඇරලා ගෑනිට කිව්වා දරුවව හයියෙන්  පපුවට තුරුළුකරගෙන නලවා ගන්නෙයි කියලා.”තවත් අරක්කු වීදුරුවක් වක් කරගත් අබේරත්න එය “ග්ලග්” ,“ග්ලග්” හඩින් උගුරු දෙකට බී හමාර කළේය.

“දැන් ඒ දරුවා ලොකු ඇති “මට ඒ දරුවා දැක ගැනීමට සිත්විය.

“ඔව්!දැන් පෝය දෙකකට කළින් එකී මහදිවුල්වැවට කසාද බැන්දා “අබේරත්න  පිළිතුරු දුනි.

“එතකොට දැන් අබේගෙ පවුලට කොහොමද?”

“එයා දැන් අවුරුද්දකට විතර උඩදි  වකුගඩු අමාරුවෙන් මළා” අබේරත්න තුවාල කැළල අතගාමින් මඳ වේලාවක් සිට පිළිතුරු දුන්නේය.

මම අරක්කු වීදුරුවක් පුරවා ගත්තෙමි

Published in: on 2017 නොවැම්බර් 17 at ප.ව. 4:42  Comments (1)  

අබේරත්න , කිලුටු කුමාරි හා මම (කෙටි කථාවකි-පළමු කොටස)

                                    0fadde0720bd4d0d8d0d71cf822307e7                                   

             මම නාමල්තැන්නට මේ යන්නේ වසර දහ අටකට  පසුවය. අනුරාධපුරයට ගොස් හොරොව්පොතාන හරහා පැමිණ මෙන්ම ත්‍රිකුණාමලයට ගොස් එතැන් සිට අනුරාධපුර පාර ඔස්සේද ගොස් තිරියාය හන්දියෙන් හැරී නාමල්තැන්නට යා හැකි අතර මෙවර මා තෝරා ගත්තේ එකළ වඩාත් අවදානම් වූ ත්‍රිකුණාමලය හරහා වූ ගමනයි.දැන් දිවා රාත්‍රි වෙනසක් නැතිව මේ මාර්ගයේ ගමනාගමන පහසුකම් පවතින බව දැනගත් විට මට සිහිපත් වූයේ මෙයට වසර විසිතුනකට පෙර එනම් අනූව දශකයේ මුල් භාගයේ වසරක මුල්වරට මේ පාරෙන් ගමනක යෙදුනු සැටියි.

            දකුණේ පහළ කෙළවරේ වූ ගාල්ලේ සිට නැගෙනහිර පලාතේ උතුරු මායිමේ ගමකට කුළුදුල් රැකියාවට යෑම මට එකල වික්‍රමාන්විත ක්‍රියාවක් විය.ඇත්ත එය වශයෙන්ම රජය විසින් කළ බලකිරීමක් නොව හුදෙක්ම  මාගේ තෝරාගැනීමක් විය.ඉදින් දිස්ත්‍රික්කයක් තෝරාගැනීමට ලබා දී තිබූ අවස්ථාවේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය එක්වරම තෝරාගත් නමුදු පත්වීම ලැබූ නාමල්තැන්න ප්‍රදේශය එයට පෙර ලංකා සිතියමක වුවද දැක නොතිබිණි.අඩු ගණනේ එහි යා හැකි ආකාරය නොදැන සිටි මා එවකට කන්තලේ ප්‍රදේශයේ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටි මගේ යෙහෙළියකගෙන් උපකාර පතා සිටියෙමි.ඇය මා හට උපකාර  කිරීමට ඉදිරිපත් වූ බැවින් මම මුලින්ම කන්තලේ බලා ගියෙමි.කෙසේ වුවද කන්තලේ සිටි මගේ යෙහෙළියගේ  හිතවතුන් කිසිවෙකු නාමල්තැන්නට ගොස් නොතිබූ අතර ,මට එහි සේවය යෑමට සිදුවී තිබීම පිළිබඳව ඔවුහු බලවත් කම්පාවට පත්ව පත්වූහ.මක්නිසාද යත් නාමල්තැන්න වූ කලී එකල ඊනියා ඊළාම් රාජ්‍යයේ මායිම් ගම්මානයක් ලෙස ලකුණු වී තිබූ නිසාය.නමුත් සැබවින්ම මෙගම ඊළාම් සිතියමේ ලකුණු වී තිබුණේ මායිමේ නොව එයට බොහෝ ඇතුලතය!ඉදින් මෙහි හිතවතුන්ගේ මඟපෙන්වීම මත ඇත්ත වශයෙන්ම නාමල්තැන්නට නොගොස් අඩුගණනේ කන්තලේට මාරුවීමක් ලබාගැනීමට නිරර්ථක වූ වෑයමකද මම යෙදුන බව මෙහිදී කිවයුතුවේ.කෙසේ වුවද අන්තිමේදී වැඩ භාර ගතයුතු අවසන් දිනය එළඹුණෙන් මට අනිවාර්යයෙන් නාමල්තැන්නට යායුතු  විය. දෛවයෝගයකින් මෙන් මෙහි කථානායක වන අබේරත්න මට මුණගැසුණේ එතැනිණි.

            නාමල්තැන්න වැසියෙකු  වූ අබේරත්න නැමති මගේ සගයාට ඇතිවූ රෝගී තත්වයක් නිසා එම ප්‍රදේශයේ ග්‍රාමීය රෝහල වෙතින් ළඟම පිහිටි ප්‍රධාන රෝහල වූ ත්‍රිකුණාමළය රෝහලට ඔහු යොමු කරනු ලැබුව තිබුණද ඔහු තමාගේම කැමැත්තෙන්  කන්තලේ රෝහලට ඇතුළත්ව තිබුණි.මෙයට හේතුව එක්වරම මට පැහැදිලි නොවූ නමුත් නාමල්තැන්න යන පළමු දිනයේදීම  අබේරත්න ඒ සඳහා පෙළඹුවූ  කරුණු මට මනාව පසක් විය. අබේරත්න මා හට සම්බන්ධ කර දෙනු ලැබුවේ මගේ මිතුරියගේ නවාතැනේ හිමිකරුවන් විසිනි.එම පවුලේ එක් දියණියක් කන්තලේ ග්‍රාමීය රෝහලේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කරනු ලැබූ අතර මා මුහුණ පා සිටි ගැටළුව ගැන අවබෝධයෙන් සිටි ඇය විසින් අබේරත්නගේ විස්තරය දැනගත් පසුව ඔහු හා මා සම්බන්ධ කරනු ලැබීය.

            ඉතින් ජනවාරි මාසයක අග දිනයක උදෑසනක අබේරත්න හා මම නාමල්තැන්නට යනු පිණිස කත්තලෙන් බස් රියක නැග වෙහෙසකර ගමනකින් පසුව ත්‍රිකුණාමල නගර බිහිදොර ඇත්තාවු අනුරාධපුර හන්දියෙන් බැස ගතිමු.දවස තවම නැවුම් වූ අතර ,වේලාව උදෑසන නමය පමණ විය.එහෙත් අබේරත්න බොහෝ කලබලව සිටියේය. “කීයද මහත්තයා වේලාව?”, යැයි බසයේදී කිහිප විටක්ම මගෙන් විමසා සිටි අතර, බසයෙන් බැස්සේද මාවත් ඇදගෙන යැයි  කිව හැකි කලබලයකිනි. අනුරාධපුර හන්දියෙන් බැස ගත් පසු ඔහුගේ කලබලය තවත් වැඩිවූ අතර හන්දියේ ඒ අතට මේ අතට කිහිප  විටක් දිව ගොස්  එහි සිටි අයගෙන් යමක් විමසනු ද දක්නට ලැබුණි.අන්තිමේදී මැළවුණු මුහුණින් යුතුව මවෙතට පැමිණි ඔහු “හරි වැඩේනේ මහත්තයා බස් එක ගිහිල්ලනේ !” යනුවෙන් පැවසුවේය.මෙතෙක් පැමිණි ගමනේ වෙහෙසකාරී ස්වභාවය නිසා තෙහෙට්ටුවට පත්ව සිටි මට එය එතරම් පසුතැවිලි වන්නට කාරණක් සේ නොපෙණුනි.තේ කෝප්පයක් පානය කර නිවාඩු පාඩුවේ යා හැකියැයි හිත යටින් සතුටු වෙමින් මම එහිදී කියා සිටියේ ‘ඉතින් අපි ඊළඟ බස් එකේ යමු’ යි යනුවෙනි.මා උඩ ගොස් බිම වැටුණේ අබේරත්න ඊට දුන් පිළිතුර ඇසීමෙනි. “අද දවසට යන්නේ ඔය බස් එක විතරයි.ඊළඟ  බස් එක ආපහු හෙට උදේට තමයි තියෙන්නේ!”

            ඉනික්බිතිව මා ගල්ගැසී මෙන් සිටියදී ඔහු කඩියෙකු මෙන් හැසිරෙමින් පාරේ යන නොයෙකුත් වාහන වලට අත දමමින් ඒවා නවත්වා ගැනීමට උත්සාහ දැරීය.ඇතැම් වාහන නොනවත්නා යද්දී තවත් වාහනයක් මඳක් වේගය බාලකරනා අතර ඔහු හා යමක් පවසා නැවතත් ගමනේ යෙදෙනු මම ඔහේ බලා සිටියෙමි.අවසානයේදී වාහනයක් නවත්වා ගැනීමට ඔහු සමර්ථ විය. ඒ මාර්ග කම්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි පිටුපස විවෘත තට්ටුවක් සහිත කුඩා ලොරියකි.තම ගමන් බෑගය ඒ තුළට විසිකළ අබේරත්න කඩිනමින් ඒ තුළට ගොඩවී මවෙතට අත දිගුකර විට එහි එල්ලුනු මා වහා ලොරි තට්ටුව වෙතට ඇද ගත්තේය.පවනට බඳු වේගයෙන් ධාවනය වන  විවෘත රථ‍යේ ඇන්දක මා එල්ලී සිටියේ ඉතා අසීරුවෙනි.පාරේ තිබූ යෝධ වල ගොඩැලි මතින් පිම්මේ යනවිට මා එළියට විසිවී නොයෑම වැලකුණේ ප්‍රාතිහාර්යකින් මෙනි!කෙසේ වුවද එලෙස අප ගමන මඳ දුරකින් අවසන් විය.කම්කරුවන් අළුත්වැඩියා කළ යුතුව තිබූ මාර්ග කොටස වෙත පැමිණීමෙන් පසුව ලොරි රථය එතැන නතර කරන ලදී.දැන් අපි යළිත් මහත් පාළු ස්වභාවයක් ඉසුළු මහ පාරේ  අප ගමන් බෑගයන් බිම තබා ඒ මත වාඩි වී වාහනයක් එනතුරු මඟ බලමින් සිටියෙමු.කෙසේ අපේ ගමනේ දෙවන පියවර ලෙස යාපනය බලා දිවෙන පිටි ලොරියක පිටුපස කුඩා ඉඩක වාඩිලා ගෙන තිරියාය හන්දිය තෙක් පැමිණි අතර එතැන් සිට පසුව දැනගත් පරිදි ගමනේ අනතුරුදායක කොටස  හරකුන් ප්‍රවාහනය කරන ලොරි රථයකද  කිලෝමීටර පහක පමණ දුරක් වූ අවසාන කොටස  පාගමනින්ද තරණය කළෙමු.එසේම මා මෙතෙක් අත් නොවිඳි අත්දැකීමකටද මුහුණ දීමට සිදුවී තිබීම මගේ ගමනේ විඩාව දෙගුණ තෙගුණ කළේය. එය නම් පාරේ තිබු හමුදා සෝදිසි මාර්ග  බාධකයන්ය.මා පැමිණි ගමනේ එවැනි මුරකපොළු පහ හයක් පමණ තිබූ අතර ඒ සෑම තැනදීම වාහනයෙන්  බැස මද දුරක් පෝලිමේ ඇවිද ගොස් ගමන් මළු හා  ශරීර පරීක්ෂාවකට ලක්විය යුතු විය.මඟීන් පරීක්ෂා කිරීමෙන් පසුව ආරක්ෂක හමුදා භටයන් වාහනය සෝදිසි කිරීමකට ලක් කරයි.එතෙක් අපි  ආරක්ෂක සීමාවෙන් ඔබ්බේ රැඳී සිටිය යුතුය.වාහනය සෝදිසියෙන් පසු එය පැමිණිවිට එයට යළිත් ගොඩවිය හැකිවේ.සෑම මුරපලකදීම මේ සෝදිසි කිරීම් එතැනින් එහා මෙහා යෑමේදී සිදුකෙරේ.මුලින් පැවසූ පරිදි අබේරත්න කන්තලේ දී කියූ කථාව මනාව සක්සුදක් සේ පැහැදිලිව තිබුණි. “අපේ ගම් පළාත් වල ගමන් බිමන් හරි දුෂ්කරයි.ඒකයි මගේ මාමා කෙනෙක් ඉන්න කන්තලේට ඇවිදින් එහේ  ඉස්පිරිතාලේ නැවතුණේ. එහෙම නැතිනම් ලෙඩාව බලන්න එහාටමෙහාට යන එක ගෙදර උදවියට මහ වදයක්.”

            කැලෑ කුට්ටි අතරේ මැටි බිත්ති හෝ විශාල රතු ගඩොලින් බැද එහෙත් කපරාරු නොකරන ලද බිත්ති මත මානා හෝ ඉළුක් හෙවිලි කළ වහලින් යුතු නිවෙස්, දුහුවිල්ලෙන් හා ගොම වලින් පිරුණු බොරළු පාර ,දැඩි පෑවිල්ලෙන් හේ බා ගිය ගහකොළ, මහමඟ මැද්දේ පවා තැනින් තැන නිදැල්ලේ ලැග සිටින  ගව රංචු, උඩුකය නිරුවත්ව හෝ හෙලුකොට්ටෙන්ම එහේ මෙහේ දිව යන පොඩි එවුන්, මා හඳුනාගත් අබේරත්න මෙන්ම කළු,කෙසඟ හා දැඩි හිරු රැසින් වියලී ගිය මුහුණින් හා ගතින් යුතු තවත් පිරිමි හා ගැහැණුන්ගෙන් යුත් එගමට ඇතුල්වන විට මට හැඟුණේ ස්පීල්බර්ග්ගේ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයක දැක්වෙන ආකාරයේ ගම්මානයකට සැබවින්ම පිවිසුණාක් මෙනි.කෙසේ වුවද නවාතැනක් සොයාගන්නා තුරු මා හට තම නිවසේ නවාතැන් දීමට ඉදිරිපත් වීම මට මහත් අස්වැසිල්ලක් විය.

            අබේරත්නගේ නිවසද මා දුටු අනෙකුත් නිවෙස් මෙන් මැටියෙන් තනා ඉළුක් සෙවිලි කර තැනූවක් වුවද එයට පිටුසින් නව නිවසක් තැනීම සඳහා අත්තිවාරම් දමා වැඩ අරඹා තිබුණි.එය රජයේ ආධාර හා තම ශ්‍රමය මත  නිම කෙරෙනා දඹ ගඩොලින් හා උළු වහලෙන් යුතුව තැනෙන  කුඩා නිවසක් විය.කුඩා කුඹුරු කැබැල්ලක් පවුලේ උරුමයෙන් ලැබී තිබුණද අබේරත්නගේ පවුලේ ප්‍රධානතම ආදායම් මාර්ගය වූයේ ඔහු ග්‍රාමාරක්ෂක වෘත්තියෙන් ලබනා වැටුපයි.ඒ හැරෙන්නට අවට කැලෑවේ හොල්මන් කරනා කොටි ත්‍රස්තයන් මෙන්ම කැලෑවේ මර උගුල් හා වන අලින්ගෙන් සිදුවිය හැකි විපත් නොතකා දඩයමේ යෑමට නිර්භීත තැනැත්තෙකු වූ ඔහු විසින් දඩමස් ජාවාරමද සිදුකරන ලද බව පසුව දැනගන්නට ලැබුණි. අමු හෝ වියලන ලද ගෝන මස් සඳහා ප්‍රදේශයේ වැඩි ඉල්ලුමක් හා රුචිකත්වයක්  පැවති අතර එය අබේරත්න කළ සුලභ සැපයුමක් විය.ප්‍රමාණවත් තරමට ගෝන මස් සපයා ගත නොහැකි වූ විට එයට කැලෑ හරකුන්ගේ මස් ද එක්කරනා බව විටෙක අබේරත්න මට පැවසූ අතර ගනුදෙනුකරුවන්ට ඒවා ගෝන මස්  යැයි ඒත්තුගන්වනු පිණිස කපා ගෙන තිබූ ගෝන වලිගයක් එකී මස් සමඟ ප්‍රදර්ශණය කරන්නේ යැයිද ඔහු පැවසීය.ගෝන මස් පමණක් නොව කෑමට ගත හැකි ඕනෑම මසක් ඔහු විසින් සපයන ලදී.තලගොයින්,කොක්කුන් පමණක් නොව වැව් මාළු සැපයීමද අබේරත්න විසින් සිදුකරන ලද අතර මහ වැව වතුරෙන් පිරී ගිය විටෙක එහි කිමිද වරෙකට දෙදෙනා බැගින් විශාල මිරිදිය ඉස්සන් පණ පිටින් උන්ගේ අඩු වලින් අල්ලා රැගෙන විත් තරු පහේ හෝටලක සූපවේදීයෙකු පරදන අයුරින් මනා රසැති කට ගැස්මක් පිළියෙල කිරීමටද හේ සමත් කමක් දැක්වූවේය.

            කෙසේ වුවද කැලෑ නිලධාරියෙකු වශයෙන් එබඳු තැනක විසීමේ අයෝග්‍යත්වයක් පවතී යැයි මට හැඟුණ හෙයින් ද, අබේරත්නගේ නිවසේ පැවති පැවති ආහාර පුරුදු මට පත්‍ය නොවූ බැවින්ද අමනාපයකින් තොරව ටික දිනකට පසුව වෙනත් නවාතැනක් කරා මම ගියෙමි.මේ වන විට අළුත් නවාතැනක් සොයාගැනීම අපහසු කරුණක් නොවුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විවිධ නිලධාරීන් ලෙසින් හා අවට පාසල් සඳහා පත්ව පැමිණි සිටි ගුරුවරුන් ඇතුළු පිට පළාත් වලින් පැමිණ සිටි මා වැනිම තවත් කණ්ඩායම් දැන හඳුනා ගැනීමට ලැබීම නිසාය.ඉදින් අප කිහිපදෙනෙකු එක්ව ලෙහෙසියෙන්ම චමරියක් ඇති කරගැනීමට හැකි විය.

            මේ අතර අබේරත්නගේ නිවසේ පදිංචිය අතහැර දැමීම සඳහා මා පෙළඹවූ තවත් හේතුවක් වූයේ අබේරත්න හා ඔහුගේ බිරිඳ අතර ඇතිවූ නිරන්තරව හා අනවරතව ඇතිවූ ගැටුම් හා කලකෝළහන්ය.අබේරත්නට නයිට් ඩියුටි නොවැටෙන සෑම දිනකම පාහේ සැන්දෑවේ  හෝ රාත්‍රියේ  ඔහු නිවසට ගොඩවන්නේ සුරාවෙන් මත්ව අවසිහියෙන් මෙනි.එතැන් පටන්  කුමන හෝ කරුණක්  මත මේ දෙමහල්ලන් අතර ඇතිවන ආරවුලක් රාත්‍රියේ දිගු වේලාවක් යනතුරු ඇසෙයි.අබේරත්නගේ බිරිඳ ද අබේරත්නට දෙවන නොවූවාය.ඇයද කටු අත්තක් සේ ඔහු සමඟ පැටලෙමින් කර්කෂ සේ ගැටුණාය.                               (………………………………………….ඊළඟ  කොටසට)

                                                                                                           

Published in: on 2017 නොවැම්බර් 15 at පෙ.ව. 3:44  Comments (4)  

දැකීමත් එක්තරා ප්‍රීතියක් නිසා……..!

මෙහි දැක්වෙන්නේ මගේ දැනුමේ තරමට තවම කිසිදු මාධ්‍යයක ඡායාරූප හෝ වෙනත් දෘශ්‍ය සටහනක් ලෙස ප්‍රසිද්ධ වී නැති අප රට තුළ ඇත්තාවූ තවත් උණු දිය උල්පතක ඡායාරූප කිහිපයකි.කෙසේ වුවද මෙය තිබෙන තැන හෝ මාර්ග විස්තරයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමි.එයට හේතු මෙසේය.

1.අප ලෝකල් සංචාරකයන්ගේ තරම සක් සුදක් සේ දන්නා බැවින්  මෙම භූමියේ  පවිත්‍රතාවය හා  ශාන්ත භාවය අනතුරේ හෙළීමට ඇති බලවත් අකමැත්ත.

2.බීමට සුදුසු ජලය සපයාගැනීම පිණිස දැඩි අර්බුදයක පෙළී සිටින අවට ගම්මාන කිහිපයක ජනතාව තම අවශ්‍යතා සඳහා ජලය සපයාගන්නාවූ ජල මුලාශ්‍රයක් මේ අසලම පිහිටා තිබීම.

3.මෙතැනට යෑමට සිදුවන කරදරයට  තරමට ෆන් එකක් එතැනදී නොලැබෙතැයි අනුමාන කළහැකි වීම.

4.සංචාරයකයන්ට සිත්සේ විවෘත වූද,මෙතැනට වඩා පහසුවෙන් ළඟා විය හැකි  වඩාත් ජනප්‍රිය,වඩාත් ෆන් ගත හැකි උණුදිය උල්පතක් මේ ප්‍රදේශය ආසන්නවම පිහිටා තිබීම.

SAM_0680

SAM_0681SAM_0677

SAM_0675

SAM_0683

SAM_0684

SAM_0682

තවද ,අප  ලෝකල් සංචාරකයන්ගේ පරිසර සංවේදීතාව  පෙන්වීම සඳහා  ‍මට අසුවූ සරල උදාහරණ එකක් ,දෙකක් පමණ මෙහිදී උපුටා දැක්වීමට කැමැත්තෙමි.

1.චන්ද්‍රිකා වැව් බැම්ම සංචාරකයන් මඳක් නැවතී යන තැනක්

SAM_0549

2.මුල්කිරිගල විහාර භූමියේ පුරා වස්තු හා අපේ ගනුදෙනුව

SAM_0348

Published in: on 2017 ජූලි 23 at පෙ.ව. 4:49  Comments (2)  

කුණු හා P.H.I. මහත්තයා

001defecation සඳහා පින්තුර ප්‍රතිඵල

කුණු ප්‍රශ්නය කතා කරනා විටදී ඊට සමපාත වන මගේ අතීත සිද්ධියක් මතක්  වුනා.

ඒ මීට අවුරුදු බොහෝ ගණනකට පෙර අපි පාසල් යන කාලයේ මුහුණ දුන් අත්දැකීමක් වන සිදුවීමක්.

ඔන්න අපේ යාළුවෙකුගේ  ගෙදර දානයක් දෙන්න ලැහැස්ති කළා.අපි උගේ බොක්කේ සෙට් එක නිසා දානේ  ගෙදර බින්න බැස්සේ දානේ දවසට සතියකට විතර කලින්.ඒ වගේම ඒ පවුලේ තවත් සහෝදරයෝ හතර පස්දෙනෙක් සිටි නිසාත් උනුත් සමාජේ වල බැහැගෙන සිටි උදවිය නිසාත් ඒ අයගේ යාළුවොත්, යාළුවන්ගේ යාළුවොත් ,සහෝදරියක් ද සිටි හෙයින්  ඇයගේ යෙහෙළියන් ද ,මව හා පිය පාර්ශවයේ දුර බැහැර සිටි ඥාතීන් ද වශයෙන්ද විශාල පිරිසක් නිරායාසයෙන් දානේ  ගෙදරට එකතු වුනා.අපරාදේ කියන්නට බැරි ඒ පැමිණි හැම එකාම කන බොන නිදාගන්නට තරමට සෑහෙන වැඩ කොටසක් තම කුසලතා ප්‍රමාණයෙන්, තම ශක්ති ප්‍රමාණයෙන් ඉටුකරනවා.එහෙම නැතිනම් ඒ තැන්වලදී රැග් වෙලා,කාඩ් වැදිලා ,ගානට කැපිලා යන බව මෙවැනි වල බැස අත්දැකීම් ඇත්තෝ දනිති.

ඉතින් මෙහි පැමිණි සිටි අය අතරේ  අපේ මිත්‍රයාගේ සහෝදරයෙකුගේ යාළුවෙකු වූ රැකියාවෙන් P.H.I කෙනෙකු ද (ගමේ භාෂාවෙන් සැන්ටිබෝඩ් මහත්තයෙකු)හිටියා.මිනිහා එතැන වැදගත් චරිතයක් වුනේ  අපේ මිත්‍රයාගේ ගෙදර අයට ඒ දිනවල බලපා තිබුණු ප්‍රශ්ණයක් නිසයි.ඒ වුනේ මේකයි.මේ ගෙදරට අල්ලපු ඉඩමක ඉන්නේ එක විදියක ,ඒ කියන්නේ ඉස්සර කාලේ කොරියාවේ ජාතියේ කට්ටියක්.මුන්ගේ ඇවතුම් පැවතුම් අපේ එකාලට පෑහුණේ නෑ.ඒ වගේම  ලොකුම ප්‍රශ්ණය වුනේ උන් වැසිකිලියක් පාවිච්චි නොකරපු එකයි.එක එක ජාතියේ පිරිමි ද නා නා ප්‍රකාර ගෑණුද වැලි කොස් ඇට මුල්ලක තරමේ පොඩි එවුන් රෑනක් මේ පවුලේ හිටියද උන් වැසිකිලියක් කියා එකක් පාවිච්චියක් නැතිලු!මේක තමන්ගේ ළිඳට,ඉඩමෙන්   කඩා ගන්න පලා ටිකට,තමන්ගේ නහයට බලපාන ආකාරය විස්තර කළ අපේ මිත්‍රයාගේ පවුලේ උදවිය ඊට එරෙහිව පියවරයන් මොනවාදැයි මේ P.H.I. යාළුවාගෙන් විමසා සිටියා.ඔව්! එතැනදි කතානායකයා වූ ඔහු විසින් රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව,බලය පවරන නීති පනවනු ලබන වෙනත් ව්‍යවස්ථාවන් වගේම පලාත්  පාලන ආයතන සාදන ලැබූ අනු නීතී යනාදිය උපුටා දක්වමින් එය තම  කෙරෙහි මෙන්ම අන්‍යයන්ගේ ‍සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාරය පමණක් නොව ඒ මදිවට තවත් පුද්ගලික කරදරය කියා නීතීන් ද තිබේ යැයි ගෙන හැර පාමින් මේ තිරශ්චීන ක්‍රියාවට එරෙහිව පීඩාවට පත් අසල්වාසීන්ට ගත හැකි පියවර රාශියක් විස්තර  කරමින් අප හමුවේ සාරගර්භ දේශනයක් පැවැත්වූවේය.ඉතින් අප මිත්‍රයාගේ පවුලේ අයට හරි සතුටුයි: ලේසියෙන් අරින්නෑ අරුන්ව!ඉනික්බිතව සභා තොමෝ සතුටින් විසිර ගියාය.

මේ අතර දානේ ගෙදර තත්වය  මෙහෙමයි.බර සෙනඟක් ගෙදර .ගෙදර තිබුණේ  එක බාත්රූම් එකයි.ඉතින් උදේට ශරීර කෘත්‍යය කරන්න දිගු පෝලිමක්.එතැනදි ගෙදර අය ,නැදෑ පාර්ශවය,තරුණියන්,කාන්තාවන් ,වයෝවෘද්ධ අය,කුඩා දරුවන් යනාදී වශයෙන් ප්‍රමුඛතාවය අනුව පෝලිමේ මුල්තැනක් ගනිද්දී යාළු හිත මිත්‍රාදීන්ට හිමිවූයේ අවසානයයි.ඉදින් මේ P.H.I. මහත්තයාගේ දේශනයෙන් පස්සේ දවසේ උදෑසන අපේ යාළුවා විගහට දුවගෙන ඇවිත් අපිව නැඟිට්වාගෙන මිදුලට එක්ක ගෙන ගිහින්  ගෙදරට උඩින්  තිබුණු රබර්  ඉඩම් කෑල්ල දිහාට ඇඟිල්ල දික් කර පෙන්නුවා.ඒ හරියේ  කොල්ලෝ කට්ට්යක් පේලියට වාඩිවෙලා ඉන්න ආකාරයෙන් පෙනී ගියේ උන් උදෑසන ශරීර කෘත්‍යය සිදුකරමින් ඉන්නා බවයි.”උඹලා දන්නවද අර මැදින් තියෙන පුක කාගේද කියලා ?” ඌ එහෙම කිව්වාට එතරම් දුරක සිට දන්නා කියන පශ්චාත්භාගයක් වුවද හඳුනාගැනීමට නොහැකි නමුත් හැඳගෙන සිටින උඩු ඇඳුමෙන් පුද්ගලයා කවුදැයි තෝරාගත හැකිය.”ඒ තමයි අර P.H.I. මහත්තයා”

ප්‍රබන්ධයක් නොව සත්‍ය සිදුවීමක් වන  මෙම කථාව යළිත් මගේ මනසට නැඟුණේ  කුණු ප්‍රශ්නේදී අපිත් ,අර P.H.I. මහත්තයාත් අතර වෙනසක් නැති බව හැඟී යාමෙනි.

Published in: on 2017 අප්‍රේල් 25 at පෙ.ව. 5:10  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

වාගාලාපයක්

සඳවතිය;සිසිකතයි කවුරුන් කෙසේ කීවද

මට නම් නුඹ සැතිරියක් මැයි!

කවි බසක් නොවේ මේ

නුඹ කෙරේ ද්වේෂයෙන්මයි,

හද පුරා නැගී එන කෝපයේ අග්නි දළුවෙන් 

නුඹ දවන තරහෙන්මයි.

 

නිබඳවම වා කවුළු අතරෙන්

පවන් රොදක් එන්නට හැර තිබුණොත් 

ගෙයි කවුළු දොරෙන්

නුඹ එබෙයි මගෙ යහනට

හිම සදිසි එළියෙන් 

මගේ තනි යහනේ මම තව තවත්

වෙළයි කට….කට…… ගා ගැහෙන සීතලෙන්

 

ඔව් සැබෑවයි! මා තනිවූවා ඇත්තයි

අඟ හිඟ පෑල දොරින් ගෙට එන විට

ඉතාලි ගිය මගෙ රන් කඳ

දේශ සීමාවකදී වෙඩි කා මලැයි,

ඔහු සමඟ රහසේ පැන ආ ළාබාල පෙම්වතී මා

කෙටි විවාහයකදී කණවැන්දුම් වූවැයි.

 

ඉතින් අඹතුරු අතරේ වෙළෙමින්

කුරිරු සතුටක් ලබනා මැහැල්ලක මෙන්

යහනත තනිවූ මා දෙස

එබි එබී බලමින් පසුවෙයි

මේ නම් සහතික මැයි

නුඹ නම් මහා සැතිරියක් මයි!

Published in: on 2017 මාර්තු 26 at පෙ.ව. 2:21  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

අපි හා අපේ දරුවන් අතර පළතුරු කෑමේ යුගයක වෙනස

OLYMPUS DIGITAL CAMERA

අපේ දරුවන්ට උගුරැස්සා,ලොවි,ලාවුළු හෝ සැපතිල්ලා වැනි දැන් සොයාගැනීමට දුර්ලභ  පළතුරක් ගෙනවිත්  දුන් විට බරපතල වැඩ ඇතිව සිරගෙට නියම වූවෙකුගේ හැඟීම් සිහියට නැඟෙන වාස්තවික නිරූපණයක් කරමින්  මීයෙකු මෙන්   මදක් දත ගසා හිස වනමින් එය ආපසු  දෙයි ;නැතහොත් පසෙකින් තබයි.මෙවිට මට අපේ ළමා කාලය සිහිවන්නේ නිරායාසයෙනි.මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඒ  කුඩා පාසල සිහියට නැඟේ. එය කුඩා සෙල්ලම් පිටිය තුන් පැත්තකින් වටකරමින් ඉංග්‍රීසි U අකුරේ හැඩයට (කොටු ආකාරයට) සිංහල උළු සෙවිලි කල තනි මහලේ ගොඩනැගිල්ලක් විය.එහි පාසලට ඇතුළු වන ගේට්ටුව තිබූ විවෘත පැත්තේ සෙල්ලම් පිටියේ කෙළවරට වන්නට දැවැන්ත ජුලියන් ගසක් විය .(#දැන් මේ දිනවල ෆේස්බුක් අඩවිවල ඇවිලී යන ප්‍රාදේශීය භාෂා ව්‍යවහාර පිළිබඳ ආරවුලට තවත් පදයක් එක්කර ගත හැකිය.මක්නිසාද යත් දකුණේ ඇතැම් පලාත්වල දී “දුරියන්” යන්න වෙනුවට ව්‍යවහාර කරන්නේ “ජුලියන්” යනුවෙන් නිසාය.එහෙත් මා දන්නා දකුණේ මිනිසුන් “සීනි කුරුල්ලන්” යැයි එක්තරා බේකරි කෑම වර්ගයක් හඳුන්වනවා මා අසා නැත.ඔවුන් ඒවා “කිඹුලන් “හෝ “වියන් රෝල් “ලෙස හඳුන්වන බව නම් දනිමි#)ඇතැම් වෙලාවක අපේ ගුරුවරු ඒ ජුලියන් ගස් සෙවන එළිමහන් පන්තිකාමරයක් ලෙස භාවිතා කළෝය.එබැවින් පන්තිකාමරයේ සිට ළමා පුටු උස්සා රැගෙන ආ අපි අඩ කවයක ආකාරයට ගුරුතුමිය වටාතබාගෙන නොයකුත් අභ්‍යාසයන්හි නිරතවීමු.ඒ ඇතැම් විට සිංහල පාඩමක් ශබ්ද නගා කියවීමකි.විටෙක සෞන්දර්ය අභ්‍යාසයකි.තවත් විටෙක ක්‍රීඩාවකි.එසේත් නැතිනම් පාසලේ කුඩා පුස්තකාලයෙන්(ලී කබඩ් එකක් පමණ වූ)  ගෙනවිත් බෙදාදුන් පොත් කියවීමකි.අප  මෙවැනි අභ්‍යාසයන්හි නිරත වන අතරතුර සමහර අවස්ථාවලදී  ලොකු සර් එතැනට පැමිණේ.ඒ පාසල වටා රවුමක් යන ගමනේදී හෝ නැතිනම් අපේ ගුරුතුමියට යමක් පැවසීමට විය හැකිය.(අපේ එකේ පන්තිය භාර ගුරුතුමිය ලොකු සර්ගේ බිරිඳ වූ අතර,මගේ හොඳම යාළුවා වූ ඔවුන්ගේ පුත්‍රයාද අපේ පන්තියේ අප සමඟ ඉගෙනගනිමින් සිටියේය.).කෙසේ වුවද එකඳු  කෙස් ගසක් හෝ නොවූ එතුමාගේ තට්ටය උදෑසන හිරු එළියෙන් බබලන අයුරු දකින අප එතුමාට දමන ලද අන්වර්ථ නාමය වූයේ “ජුලියන් තට්ටයා” කියාය.මේ ජුලියන් ගස අපට වඩාත් වැදගත් වන්නේ එහි මල් දරන කාලයේ දීය.ඒ කාලයේ දී ගස හලා දමන බොරු මල් අහුලා ගැනීමට අපි ඉතා ආශා කළෙමු.මක් නිසාද යත් ඇතැම් බොරු මල් වල තුළ ඉතා කුඩා ගෙඩියක් තිබූ අතර අමුතුම රසක් ඇති ඒ ගෙඩි අහුලා රිසි සේ කෑවෙමු.(අපේ අම්මලා  මේ ජුලියන් මල් ව්‍යංඡනයක් ලෙස පිළියෙළ කරන්නට ද දැනගෙන සිටියහ.)  පාසල වටා තිබූ බැද්ද පීරා බෝවිටියා,ගඳපාන මල් හා ඇට බඩ පුරා කෑවා සේම ලේන් අඹ,පේර ආදියද ජංගි කොටයේ අතුල්ලා වැලි පිසදා ලේනා කට නොගැසු කොටස බෙදා ගෙන කෑවෙමු.එපමණක් ‍ නොව පාසල ඇරී ගෙදර යන වාරේ මඟදී දකින්නට ලැබෙන කොට්ටම්බා,ඩොංගා ආදියෙන්ද කුස සෑහෙන්නට සන්තර්පණය වෙයි.

 නමුත් අපේ දරුවන් දැක පුරුදුව සිටින්නේ සීමිත පළතුරු ප්‍රමාණයක් පමණි.එනම් කෙසෙල්,අන්නාසි, අඹ,ඇපල්,මිදි,කහ දොඩම් යනාදි වශයෙනි.ඒ ද අපි තෝරා,අල්ලා මිරිකා,නහයට ඉවකර,අඩුම ගණනේ දෙදෙනෙකුවත් මනාව නිරීක්ෂණය කර  සෝදා දුන් ඒවාය.විකිරණ,බර ලෝහ,අහිතකර කෘමිනාශක,ෆෝමලීන් ,පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය වලින් ඔවුන් ආරක්ෂා කරනු පිණිස බ්‍රොයිලර් කුකුල් පැටවුන් තතන්නාසේ  මෙවන් තෝරාගැනීම් පමණක් ලබාදීමට අපට සිදුවී තිබේ.ඒ අනුව සැලකූ විට යම් යම් වාසිදායක තත්වයන්ද ඔවුන් ලබාගෙන ඇති බැව් පෙනේ.එනම් ගම් බැඳි හැටේ කරක් ගහමින්(……අපේ වැඩිහිටියෝ අපව දුටු ආකාරයට)අතට අසුවුනු දේ චාරයක් නොමැතිව බුදීම නිසා නිරන්තරව පාහේ බඩේ අජීරණයන්ගෙන් පෙලුණු අතර අවුරුද්දකට දෙතුන් වතාවක් කිරි පණුවන් නැසීමට “ඇන්ටිපාර්” නම්වු පණු පැණිය බීමට සිද්ධ වීම (අපට ඇන්ටිපාර් පෙවීම සඳහා  දෙමාපියන් හමුදාව තොප්පිගල අල්ලාගන්නට කළාවූ වැනි මෙහෙයුමක් කළ බැව් කෙටියෙන් සදහන් කිරීම ප්‍රමාණවත් වේ යැයි සිතමි.)  වනේ වන සතුරෙකුටවත් සිදුනොවිය යුතු දුක අපට විඳින්නට සිදු වූවද අපගේ දරුවන්ට එවැනි දුකක් විඳින්නට නොලැබේ.අපගේ කුඩා කළ හා සැසඳුවිට ඔවුන් පුෂ්ටිමත්ය;හම පැහැපත්ය;දද කොරල අඩුය.

ඒකෙසේ වෙතත් අපගේ දරුවන්ට කුමක් හෝ මඟහැරී ඇති බැව්ද  මට සිතේ.

Published in: on 2016 දෙසැම්බර් 12 at පෙ.ව. 5:59  Comments (4)  
%d bloggers like this: