මෙහි පළවන සියළුම අදහස් මගේම ඒවාය.
පරණ මාතෘකාවක් ලෙස පෙනුනද මෙය තවමත් පරණ වන බවක් නොපෙනේ.මක් නිසාද යත් තවමත් බොහෝ දෙනෙකු මෙම ගමන නිවැරදි වැටහීමකින් යන බවක් නොපෙනෙන බැවිනි.
දකුණේ(අලිමංකඩට පහළ)වාසය කරන සිංහල මහජනයා හද පත්ලෙන් ම කල්පනා කරන්නේ අවුරුදු දහස් ගණනාවක් තිස්සේ අනවරත අරගලයක්ව පැවති “සිංහල දෙමළ අරගලය” මෙම අවුරුදු 30 ක යුද්ධයකින් අනතුරුව සදහටම අවසන් වූ බවත්,පුරාණතුන් සිංහලය එක්සත්ව එක්සේසත්ව ඇති බවත්ය.ඉදින් ඔවුන් ඒ ස්වයං වින්දනයේ කිමිදෙමින් අනෙකුත් අතෝරයන් පුදුම සහගත ඉවසීමකින්(නිවට කමකින්?) දරාගෙන සිටී.එම යුද ජය බලසම්පන්න රජවරුන් ,සෙනෙවියන් කළ දුෂ්කර වූ මහා සටන් හා සසදති.(උදාඃජය සිකුරු මෙහෙයුම සමයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක දෝන කතිරිනා ලෙසද ,අනුරුද්ධ රත්වත්තේ සපුමල් කුමරු ලෙස ද හැදින්වූ නලින් ද සිල්වා වැනි මහතුන් මහින්ද රාජපක්ෂ නව රජෙකු ලෙස නව ඔටුණු පළදවා ඇති හෙයින් පැරණි රජෙකුට සමනොකෙරති.)
මෙ නයින් සළකා බලන කල දැන් දකුණේ මහජනයා, උතුරේ හැඩි දෙමළුන් නැති නිසා ද ,දකුණේ ගෝල්ෆේස් යාව මහ මුහුද ගොඩ කරන නිසා ද අතපය දිගහැර නිදාගත හැකි වෙතැයි විශ්වාස කරති.
නමුත් ඉතිහාසය අපට කියන්නේ ඊට හාත්පසින් ම වෙනස් කථාවකි.ඒනම් අර්බුදයේ හේතුව පවතින තාක් අර්බුදයේ ප්‍රතිථල වලට පිළියම් කිරීමෙන් අර්බුදය විසදිය නොහැකි බවයි.ඉතිහාසයේ දී මහා යුද්ධ නම් වූ මහා ගල් රෝල් වලින් කැරළි තළා දැමුවද කළානුරූපව ස්වරූපය වෙනස් වෙමින් හෝ අළු යට සැගව තිබූ ගිනි පුපුරු මෙන් ඒවා නැවත නැවතත් ඇවිළුනු බවයි.මෑත ඉතිහාසයේ විසු දක්ෂ යුද සෙනෙවියෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව රණශූරයා පවා උතුරේ අර්බුදය සම්බන්ධව පුන පුනා සදහන් කළ කාරණයක් වූයේ යුද්ධයට යුදමය විසදුමක් මෙන්ම දේශපාලන ගැටළුවට දේශපාලන විසදුමක් ලබා දිය යුතු බවයි.
නමුත් අද අප ඉන්නේ කොතනද?උතුරේ මිනිසුන්ට ඇති ගැටළු පිළිබදව අපේ අවබෝධය කොපමණ ද?
මෙහිදී මට අප විසින් 4 හෝ 5 වසරේදී පරිහරණය කරන ලද සිංහල කියවීම් පොතක වූ පාඩමක් සිහිපත් වෙයි.එහි වූයේ දකුණේ සිංහල කුඩා දරුවෙකු සිය මාපියන් සමග යාල් දේවී දුම්රියෙන් යාපනය බලා යන ගමනක විචිත්‍ර විස්තරයකි.දුම්රිය කෙමෙන් කෙමෙන් උතුර බලා ඇදෙද්දී අවට පරිසරය මෙන්ම දුම්රියේ පරිසරය ද වෙනස් වූ ආකාරය: එහි නැගුණු මගියන්ගේ ඇදුම් පැළදුම්,බස මෙන්ම වෙළෙන්දන්ද වෙනස් වූ ආකාරය තවමත් මැකී නොගිය චිත්‍රයක් සේ මනසේ සිතුවමි කරන්නට ඒ පාඩම සමත් වීය.එම පාඩම අවසන් වන්නේ තම පියාගේ දෙමළ මිත්‍රයෙකුගේ නිවසේ දී උණුසුම් ආගන්තුක සත්කාර විදි කුඩා දරුවා නැවත නැවතත් එහි යාමට සිත්වන බවකියමිනි.
ඉන්දියාව,බ්‍රිතාන්‍යය,ඇමෙරිකාව,ස්වීට්සලන්තය වැනි රටවල් සංචාරක ආකර්ෂණයක් ඇත්තාවූ ද,ලොව සාර්ථක වූ ද,ලොව පිළිගැනීමක් ඇත්තා වූ ද රාජ්‍යයන් වී ඇත්තේ සංහිදිතාවයකින් යුතුව ජිවත්වීමට විවිධ ජාතීන්ටඒ රටවල් වල ඉඩකඩ ලබා දී ඇති බැවිනි.(මෙය විශ්වාස නොකරන්නේ නමි ඒ රටවල් වල ද්විත්ව පුරවැසිභාවය හිමි අප රටේ මහතැන්වල දේශ හිතෛෂී මහතුන්ලා ගෙන් අසා දැනගත හැකිය.)
එසේම මෙතෙක් කවදාවත් යාපනයට යෑමට වරම් නොලැබූ මා කවදා හෝ යාපනයට යන්නට ප්‍රාර්ථනා කරන්නේ මගේ පාඩම් පොතේ තිබූ යාපනය නැවත දකින්නටය !
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...