අංකොක්කාවල සුනිල්,සෝභිත,සක්විති හා අපි

දාඹුර හේවගේ සුනිල් ශාන්ත අග හිගකමින් හා  අඩ දබර වලින් පිරුනාවූ පවුලක (මෙවැනි එක් ආරවුලක් කෙළවර වූයේ ඔහුගේ පියා සිය දිවි නසා ගැනීමෙනි.) හැදුනු වැඩුනෙකි.ඔහුගේ පාසල් ජීවිතය අසාර්ථක වූ අතර කිසිදු අධ්‍යාපන සහතිකයක් ඒ අවසන ඔහුට හිමි නොවීය (නමුත් පසුව ඔහු ආචාර්ය හා පණ්ඩිත යන උපාධි නාමයන් ද තම කුප්‍රකට නම පෙරටුව යොදා ප්‍රදර්ශණය කළේය!). ජීවිත සටනින් පසු බැස ගිය පියා මෙන් නොව සුනිල් ශාන්ත ජීවත්වීම යන සටන ලෙහෙසියෙන් අත්හැර දමන්නට සූදානම් අ‍යෙකු නොවීය.විරැකියාවෙන් පෙලුන තරුණයෙකු වූ ඔහු සාක්කුවේ මුදලක් නොමැති වූ විට කුමක් හෝ සොරකම් කළේය.මේවා වැලක තිබූ ඇදුමක්,කුකුළෙක්,කෙසෙල් කැනක් සමහර විට රේඩියෝවක්, පා පැදියක් සොරකම් කිරීම වැනි සංවිධානාත්මක නොවූ ඒක පුද්ගල සුළු සොරකම් විය.

නමුත් සුනිල් ශාන්ත නිර්මාණයේදී මැවුම් කරුවාණන්  යම් කරුණාවක්ද දක්වා තිබිණි.ඔහු අක්මීමන ආසනය   තුළ හබරාදූව ආසනයට ‍ ආසන්නව  පිහිටි  අංකොක්කාවල  නම් නියම් ගමේ වඩා ප්‍රකටව සිටියේ හිටිවන  කවි කාරයෙක් ලෙසය ! ඇතැම් විට ඔහුව හැදින්වීම සදහා සමහරු ‘ කවියා’ යන පදය ද භාවිතා කළෝය.මෙයින් ඔහුට යම් ජනප්‍රියතාවයක් ලැබුණද ඔහුට අවශ්‍ය ව තිබූ මුදල් නොලැබිණි.එබැවින් ඔහු හදිසි අවශ්‍යතා වලදී එම කවි කමද උකස් කර හෝ මුදල් ‍උපයා ගැනීමට වුව පසුබට නොවුණි.

අතේ මුදල් හිග පාඩුවූ එක් අවස්ථාවක ඔහු එකල සංවිධානය කළ මගඩි නාටකයක් විමසා බැලූවිට ඔහුගේ අනාගත ගමන් මාර්ගය වටහා ගැනීමට අපහසු නොවන්නේය.ඒ ඔහු විසින් තමාටම උපහාර උත්සවයක් සංවිධානය කර ගැනීමය! සම්පූර්ණයෙන්ම ඒක පුද්ගල රංගනයක් වූ මෙහිදී ඔහු මුලින්ම ක‍ළේ හිතවතුගෙන් ලබාගත් අතමාරුවකින් පොස්ටර කිහිපයක් මුද්‍රණය කරගැනීමයි.සුනිල් ශාන්ත කවියාගේ කවි දිවියට වසර විසි පහක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීම ‍යනුවෙන් සදහන් එම පොස්ටර තැන් තැන්වල ඇලවීම සිදුකළේද ඔහුමය.එපමණක් නොව මේ මගින් උපයා ගැනීමට අදහස් කළ මුදල් ලබාගැනීම සදහා සුනිල් ශාන්ත කවියාට උපහාර ලෙස එම උළෙලේදී  ඔහුට මුදල් ත්‍යාග පිරිනැමීම පිණිස ප්‍රදේශයේ යමක් කමක් තිබූ ධනවතුන්‍ට යාදිනි කියා පොළඹවා ගත්තේත් යථොක්ත කවියා ම ය.

දැනට වසර පහළොවකට හෝ දහසයකට ඉහතදී සිදුවු එම මගඩි නාටකය ඔහු අවසන් කරන්නේ අපූරු ආකාරයකටය. එකී ඊනියා උපහාර උළෙල රසවත් කිරීම සදහා හිටිවන කවි මඩුවක් ද “කවියා” සංවිධානය කර තිබුණි.අවට ප්‍රදේශයේ නමක් දිනා සිටි හිටිවන කවිකරුවන් කිහිප පොළක් හා එක් කිවිදියක් ද මෙම කවි මඩුව‍ට ආරාධනා ලැබ සහභාගී වූවෝය.හැන්දෑ භාගයේ ඇරඹී, සුනිල් ශාන්තගේ න්‍යාය පත්‍රයට අනුව පැවති උපහාරෝත්සවයේ අවසාන අංගය වූයේ රසවත් කවි මඩුවකි.ප්‍රනීත රෑ කෑමක්,ගෙවල් දොරවල්වලට නැවත යෑමට ගමන් පහසුකම් හා මහන්සියට  ගෙවීමක් යන පොරොන්දු මත කැදවීමක් ලැබූ කවි කිවිදියෝ “වඩා හොද ගම්බද තරුණියද? නගරබද තරුණියද ? “වැනි මාතෘකා ඔස්සේ මධ්‍යම රාත්‍රිය ගෙවීයන තුරුම හිටිවන කවි කිවූහ.නමුත් මේ කවි කිවිදියන්ට මහ රෑ දවල් තරු පෙණුනේ කවි මඩුව හමාරව නිවෙස්වලට යෑමට සුදානම් වූ විටය.තමාටම උපහාර පිණිස පැවැත්වූ උ‍ළෙල අතරේ දී කවියා එකතු කරගත් මුදලත් රැගෙන ගම හැරදා පළාගොස් තිබිණ.පින්නදූව හන්දියේ කුසගින්නේ පෙළෙමින් වංචාවට හසුවීමේ වේදනාවෙන්හා කෝපයෙන් පෙළි පෙළී මහරෑ මහමග අතරමංව සිටි කාන්තාවක් ද ඇතුළු මේ පිරිසට ගෙවල් බලා යෑමට හැකි වූයේ ප්‍රදේශවාසීන්ගේ උපකාරයෙනි.

පසු කළෙක සුනිල් ශාන්තට සිවුරක් පැළද රටේම ජනතාව ගොනාට ඇන්දවිමට හැකිවීම පුදුමයක් නොවන්නේ මීටත් වඩා සිල්ලර වංචනිකයන්ට රැවටීම අපගේ ජාතික පුරුද්දක්ව පවතින නිසාය.

දැන් සුනිල් ශාන්ත උපැවිදි වීම තමාගේ මහා ජයග්‍රහණයක් සේ ජනතාව සිතන නමුදු මට නම් සිතෙන්නේ ඔහු තමාට අවශ්‍ය තැනට පැමිණි ඇති බවයි.මක් නිසාද යත් ඔහු සිවුර පොරවා ගෙන කළ රග පෑමෙන් උපරිම ප්‍රයෝජන ගෙන හමාර නිසාය.නන්නත්තාර පාදඩ ලුම්පන ජීවිතයක් ගත කළ ඔහු   මේ වන විට කෝටි ගණනක දේපළක් උපයා ගෙන ඇත.දැන් ඔහුට අවශ්‍යව ඇත්තේ ,ඔහුම කියනා ආකාරයට, ජීවිතය විදීමයි නැතහොත් fun එකක් ගැනීමයි.ඉතින් එතැනදී බාධාවක් වූ සිවුර ගලවා දැමීම වඩාත් බුද්ධි ගෝචර වූවකි.

සක්විති රණසිංහ ද මාව අල්ල ගන්නේ නැද්දෝ කියා මෙන් පැමිණ පොළීසියට හසු විම මෙවැනිම ක්‍රියාවකැයිද සිතේ.ජාත්‍යන්තර පොළීසියට අවශ්‍ය පුද්ගලයෙකු වී සැගව බියෙන් ගතකරන ජීවිතයකට වඩා කාල‍යත් සමග ඇල්මැරෙන නීති ක්‍රියාමාර්ගයකට මුහුණ දී පසුව සමාජයට එකතු වීමට උත්සාහ කිරීම මෙවැනි මහා තක්කඩියෙකුගේ හොද උපායක් විය හැකිය.

කෙසේ නමුත් අතිශය කණගාටුවෙන් වුව පැවසිය හැකි තවත් කරුණක් වන්නේ මේ සුනිල් හා සක්විතිට පවා තවත් වසර කිහිපයක් ඇවෑමෙන් තම පරණ වංචාව ආරම්භ කළද යළිත් සාර්ථකව තව පිරිසක් රැවටීමේ හැකියාව අප සමාජය තුළ පවතින බවය.

Advertisements
Published in: on 2011 සැප්තැම්බර් 12 at ප.ව. 4:16  Comments (4)  
%d bloggers like this: