
ගාමනායක ඇමති තුමාට රැස්වීම අතර තුර වාතයක් යැවීමේ අවශ්‍යතාවයක් ඇති වූ බැවින් වැඩිදුර කල්පනා නොකොට (කැබිනට් රැස්වීමකදී නම් සිහිනෙන් වත් එසේ කිරීමට බියවන නමුදු)එය ශබ්ද නගා පිට කළේය.නමුත් මෙය රජයේ නිළධාරීන් ද සහභාගී වී ඇති තරමක් වැදගත් රැස්වීමක් නිසා ද,සමෘද්ධි කළමණාකරුවන් හා පත්තර වාර්තාකාරයන් වැන්නෝ එකිනෙකාට විරිත්තා ගැනීමක් කරනු කටාක්ෂ නිරීක්ෂණයට පෙනුන බැවින් ද,යම් ප්‍රශ්ණයක් ගැන කුමක් හෝ ප්‍රකාශ කිරීම නැමති (විකාර අදහසක් වුව ද !)ප්‍රශ්ණයේ උණුසුම,ආවේගය තුනීකර දැමීමේ හොදම පිළියම මෙහිදී ද ඔහු කළේය.
“අපේ ආයුර්වේදයේ කියලා තියෙන්නේ ඈනුමක්,අධෝවාතයක් වගේ ශරීර අවශ්‍යතාවයක් හිර කරගෙන ඉන්න හොද නෑ කියල යි.එහෙම වුනොත් ඒකෙන් ශරීරයේ සමතුලිතතාව බිද වැටිලා ලොකු හානියක් වෙන්න ඉඩ තියෙන වලු.”
මෙයින් පසු සභාවේ ආතතිය ඉහිල් විය.ප්‍රදේශීය සභා සභාපති කතා කරමින් එසේ කළහොත් මොළයේ නහරයක් වුව ද පුපුරා යෑමට හැකි යැයි පවසමින් ඇමතිවරයා විසි කළ බෝලය ඉහලට ඔසවා ඩෑෂ් පහරක් එල්ල කළ අතර ග්‍රාම සේවක ලා ද,පී එච් අයි ලාද, සමෘද්ධිකාරයන්, පත්තරකාරයන් හා පොලීසියේ ඕ අයි සී ද,එකිනෙකා පරයමින් ඇමතිවරයාගේ ප්‍රකාශය සනාථ කරන්නා වූ අදහස් පළ කරන්නට වූහ.
ටික වේලාවක් මේ කලබැගෑනිය ඇවිලීයාමට ඉඩ දීම ප්රඥාගෝචර යැයි කල්පනා කළ ගාමනායක,ලේකම් ලවානොයෙකුත් ලිපි ගොනු වරින් වර ගෙන්වා ගනිමින් යම් බරපතල කටයුත්තක යෙදෙන්නාක් සේ පෙන්නුම් කරමින් කතා බහට කන් දුන්නේය.
ජීව විද්‍යාත්මක කරුණු කතා කළ ද ප්‍රදේශීය සභා සභාපතිකාරයා උණ්ඩුක පුච්ඡය ඇත්තේ කොහේ ද කියාවත් නොදන්නා බව දන්නා ගාමනායකගේ කට කොනකට සිනාවක් නැගුණි.රාත්‍රී පාසලකින් හෝ ඉංග්‍රීසි ටිකක් ඉගෙන නොගත් මේකා ෆෑන් වෙනුවට ප්ලෑන් යැයි කියනු සභාවේ කෙල්ලන් කොල්ලන් අතර සුලභ විහිළුවක් වී ඇති බවද සිහිපත් විය.
කෙසේ වුවද මුගේ ගමන ආදර්ශවත් ය.හමුදා ඇබ්සන්ට්කාරයෙකු ලෙස හමුදාවෙන් කට්ටි පනිමින් සිටිනා අතර හැන්දෑවේ වැඩ ඇරී එන ගෑණුන්ගේ මාල කඩා ගනිමින් ජීවිකාව සරි කරගත්තේය.පසුව ගමේ රස්තියාදු කොළු නඩය එකතු කරගෙන අවුරුදු කාලයට බක් මහ උත්සවයක්ද,වෙසක් කාලයට දන්සැලක්ද,පොසොන් කාලයට තොරණක්ද, ඇසල මාසයේ පෙරහැරක්ද යනාදි වශයෙන් නොයෙකුත් කරුමාන්ත සංවිධානය කරමින් පිරිත් මණ්ඩපයක බූරුවා ගසන්නාක් මෙන් බඩගෝස්තරය හා ප්‍රසිද්ධිය හා පිරිස් බලය ලබා ගත්තේය. මේ බිම් මට්ටමේ බලය සුදුසු ලෙස කේවල් කරමින් දේශපාලනයට හේත්තු වූ මොහු තමා අද ඉන්නා තැන බලනා විට කතරගම දේවාලයේ වාල් කම් කිරීමට තරම් දේව බලය විශ්වාස කරනවා විය යුතුය.
එසේම හතර වරං ගහන ග්‍රාම සේවකලාට,කොටු පනින ග්‍රාම සේවකලාට, ඒ මොන දුෂ්චරිතයක් නැති නිකම්ම බෙබේ ග්‍රාම සේවකලාට වුවද මෙවැනි රැස්වීමකට සහභාගී වීමත් රුවන් පුර නිවන් දොර ඇරුනාක් වැනිය .මොවුහු රැස්වීම හමාර වූ පසුවද එක එල්ලේම ගෙදර නොයති.ඇමති නිවස ඉදිරිපිට මොටෝසයිකල නවතා ගෙන තවදුරටත් කතා කරමින් සිටී.ඒ පාරේ යන එන්නන්ට පේන්නටය.”ඇමතිතුමාගේ සාකච්ඡාවකට ආවා” ,අදුරන නාදුරන කාටත් කියති.
කෙසේ වුවද වැඩිදුර කතා කිරීමට දීම ප්රජාතන්ත්රවාදයට අගුණයැයි සිතූ ගාමනායක උගුරේ රැල් බුරුල් දෙවරක් අදිනා විට සභාව යලිත් මීයට පිම්බාක් සේ නිශ්ශබ් ද විය.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...