


ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පමණක් නොව අන්තර් ජාතික යුක්ති අධිකරණයේ(International Court of Justice) උප සභාපතිවරයෙකු ලෙසද ධුරය හෙබවූ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ප්‍රවීනත්වයෙන් අන්තර්ජාතිකව පවා කීර්තියට පත්වූ ශ්‍රී ලාංකික විශිෂ්ට නීතිවේදියෙකු වන මහාචාර්ය සී.ජී. වීරමන්ත්‍රී මැතිතුමාගේ අධිකරණ තීන්දු මෙන්ම එතුමාගේ කෘතීන්ද නීතිය හා බැඳුනු අත් පොත් වී ඇති ආකාරය නොයෙකුත් නිදර්ශණයන්ගෙන් පෙන්වා දිය හැකිය.
එප්පාවල නඩුව ශ්‍රී ලංකාව තුළ උද්ගතවූ පාරිසරික ගැටළුකාරී අවස්ථාවක් විසඳනු ලැබූ විශිෂ්ට නඩු තීන්දුවක් වන සුප්‍රකට එප්පාවල නඩුවේදී අමරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමන් විසින් සිය තීන්දු වලට එළඹීමට ‘හංගේරියාව එරෙහිව ස්ලෝවැකියාව’ නම්වූ රාජ්‍යයන් දෙකක් අතර පැන නැඟුණු නඩුවේ දී ප්‍රකාශිත වීරමන්ත්‍රී විනිසුරුතුමන්ගේ තීරණයන්ගේ ආභාෂය තුඩුදුන් ආකාරය ඉන් එක අවස්ථාවකි. එහිදි වීරමන්ත්‍රී විනිසුරුතුමන් විසින් දේවානම්පිය තිස්ස රජතුමන්ට මිහිඳු මාහිමියන් මිහින්තලා ගල මුදුනේදී කරන ලද දේශනාව උපුටා දක්වමින් තිරසාර සංවර්ධනය යන්න අප කෙතරම් ඈත කාලයක සිට අවබෝධ කරගෙන සිටියාද යන බව පෙන්වා දෙයි.එප්පාවල නඩුවේදී විත්තිකාර බහු ජාතික සමාගම සමඟ ගිවිසුමකට එළඹ සිටියාවූ රජය මෙරට භූමිය තුළ තිබෙන ස්වභාවික සම්පත් වල භාරකරු ලෙස අද්විතීය අයිතියක් රජයට ඇති බැවින් ඒ පදනම මතින් රජය නිවැරදි ලෙස ක්‍රියාකර ඇති නිසාවෙන් ඒ කටයුතු පිළිබඳව මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බැව් කියා සිටියේය.එහිදී අමරසිංහ විනිසුරුතුමා විසින් මෙරට ස්වභාවික සම්පත් පිළිබඳ රාජ්‍ය භාරකාරත්වය විමසීමේ දී නූතන රාජ්‍යයේ භූමිකාව හා අතීත රජවරුන්ගේ භූමිකාව සසඳා බලමින් ඉහත කී ‘හංගේරියාව එරෙහිව ස්ලෝවැකියාව’ නඩුවේදී වීරමන්ත්‍රී විනිසුරු තුමන් උපුටා දැක්වූ මිහිදු හිමියන්ගේ දේශනාව ගෙන හැර දැක්වීය.එනම් “මහ රජාණෙනි, ආකාශයෙහි වෙසෙන පක්ෂීන්ට සහ වනයේ වෙසෙන වන මෘගයන්ටද මේ භූමියේ ඕනෑම තැනක ජීවත් වීමට හා ඔබ මොබ සැරිසැරීමට ඔබට හා සමාන අයිතියක් ඇත.භූමියේ අයිතිය ඇත්තේ ජනතාව හා එහි වෙසෙන්නාවූ සියළුම ජීවීන්ටය.ඔබ එහි ආරක්ෂකයා පමණි……..”(“O, great king , the birds of the air and the beasts have equal a right to live and move about in any part of the land as thou. The land belongs to the people and all living beings; thou art only the guardians of it….”)යනුවෙන් දේශනා කොට වදාළ ඇති ආකාරයයි.එබැවින් බටහිර පැවති පොදු භාර සිද්ධාන්තය වෙනුවට මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇත්තේ පුරාණ රාජ්‍ය පාලකයන් අනු දැන වදාළ පොදු ආරක්ෂකත්ව මූලධර්මය බැව් ගරු අධිකරණය ප්‍රකාශ කර සිටියේය.ඒ අනුව භූමියේ ස්වභාවික සම්පත් හි හුදු භාරකාරත්වය පමණක් නොව එය සුරැකීම හා සංරක්ෂණයද රාජ්‍යය වෙත පැවරී ඇතැයි අමරසිංහ විනිසුරුතුමා පෙන්වා දුනි.
ඉස්ලාම් නීතියේ බහු විවාහය
කෙසේ වුවද මෙම සටහන ලිවීම සදහා සී.ජී.වීරමන්ත්‍රී මහතා නිමිත්තක් වූයේ එතුමා 1988 වසර නම් තරමක ඈතකදී ලියූ Islamic Jurisprudence;Some International Perspectives නම් වූ ග්‍රන්ථය 2013 ජූනි මාසයේදී තරම් මෑතකදී ‘ඉස්ලාමීය නීති සංග්‍රහය; ජාත්‍යයන්තර දෘෂ්ඨිකෝණයක් ‘නමින් පළවී තිබෙනු දැකීමෙනි.ඉස්ලාමීය වියතුන්ගේ පවා ප්‍රශංසාවට ලක්වූ මෙම ග්‍රන්ථය ඔස්සේ ඉස්ලාමීය නීති පද්ධතිය පිළිබද පුළුල් විමසීමක් සිදු කරයි.එහිදී ඉස්ලාමීය නීතිය තුළ අනු දැන ඇත්තාවූ බහු විවාහය එනම් එක පුරුෂයෙකුට භාර්යාවන් කිහිපදෙනෙකු සරණ පාවා ගැනීමට කුරාණය ඔස්සේ ලබා දී ඇති අවසරය මඟින් (And if you fear that you cannot do justice to orphans, marry such women as seem good to you, two, or three, or four………-Holy Quarn-Al -Nisa’-chapter 4:3 )එකල ජන සමාජය තුළ ප්‍රචලිතව පැවති බහු විවාහය තවත් උනන්දු කිරීමත් නොව, විවාහය බහු සබඳතාවයක සිට ඒක සබඳතාවයක් දක්වා පත්කිරිමකට යොමු කෙරෙතැයි එතුමා ඉස්ලාමීය විද්වතුන්ගේ කුරාණ අර්ථ නිරූපණ දක්වමින් පවසයි. ඒ අනුව භාර්යාවන් සිවු දෙනෙකු දක්වා සරණ පාවා ගැනීමට පුරුෂයෙකුට අවසර ලබාදුන් ඉහත කුරාණ වැකියේ මෙසේද සදහන් වන බැව් පෙන්වා දෙයි;”එනමුත් ඔවුන් සැම සමග සමානව හා සාධාරණව ක්‍රියා කළ නොහැකි නම් ඔබ විවාහ කරගත යුත්තේ එක් බිරියක් පමණි”(……..but if you fear that you will not do justice, then (marry) only one or that which your right hands possess. This is more proper that you may not do injustice).තවද බහු විවාහය සදහා වන බලාත්මක ප්‍රතිපාදනයක් ලෙස සැලකෙන ඉහත 4 වන පරිච්ඡේදයේම 129 වන වැකියේ මෙසේ සදහන් වී ඇත: ඔබ ඉතා කැමති වූවද ඔබගේ බිරියන් අතරේ සමානව හා සාධාරණ ලෙස ක්‍රියා කිරීමට ඔබට හැකිවන්නේම නැත. (” And you cannot do justice between wives, even though you wish (it), but be not disinclined (from one) with total disinclination, so that you leave her in suspense. And if you are reconciled and keep your duty, surely Allah is ever Forgiving, Merciful.)මේ අනුව විවාහය පිළිබද කුරාණ නිර්දේශයේ මූලික අරමුණ වූයේ බහු භාර්යා සේවනය පිළිගැනීමට වඩා ඒක භාර්යා සේවනයේ නීත්‍යානුකුලභාවය තහවුරු කිරීම බැව් එතුමා පෙන්වා දෙයි.
එකල සිරිතක්ව පැවති තාවකාලික හා කොන්දේසි සහගත විවාහයන් තහනම් කිරීම,දික්කසාද අයිතිය ස්ත්‍රියටද ලබාදීම,ස්ත්‍රීන්ට දෑවැද්දක් දිය යුතු වීම,අන්තිම කැමැත්ත මගින් දේපළ බැහැර කිරීමට සීමා පැනවීම,භාර්යාවකගේ දේපළ පරිපාලනය ඇයටම ලබාදීම,කාන්තාවන් සතු දරුවන්ගේ භාරකාරත්ව අයිතිය යනාදි හිමිකම් ලබා දීම මගින් ඉස්ලාමය මගින් කාන්තාවගේ අයිතීන් ආරක්ෂා කර ඇති ආකාරයද එහිදී වීරමන්ත්‍රී විනිසුරුතුමා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ඉස්ලාමීය බහු විවාහය හා සිංහලයා
ඉස්ලාම් භක්තියන්ට පමණක් සීමාවූ මෙම බහු විවාහ හැකියාව මෙරටදී අන්‍ය භක්තිකයන් විශේෂයෙන් සිංහලයා දුටු ආකාරයද මෙහිදී රසවත් කාරණයක් වෙයි.ඒ අනුව මෙරටදී මෙම ඉස්ලාමීය බහු වෛවාහක හැකියාව අනෙකුත් ජාතිකයන් විසින් ඉතා කුහක ලෙස භාවිතා කර ඇති බැව් සාමාන්‍ය ජන සමාජයේ පැවති ව්‍යවහාරයෙන් මෙන්ම අධිකරණය ඉදිරියට පැමිණි අරගලයන්ගෙන්ද පෙනී යයි.එපරිද්දෙන් පෙනීයන්නේ ඉස්ලාමීය භක්තිකයන් නොවන අන්‍ය ආගමිකයන් සිය වංචනික විවාහයන් නීත්‍යානුකූල කරගනු වස් නැතහොත් අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු නොවීම උදෙසා පමණක්ම ඉස්ලාමය වැළද ගත් බවයි.ශ්‍රී ලංකාව තුළ වර්ෂ 1997 පමණ වනතෙක් මුලදී වෙනත් ආගමික භක්තිකයෙකුව සිට, උදාහරණ වශයෙන් බෞද්ධයෙකුව හෝ කතෝලික හෝ ක්‍රිස්තියානු බැතිමතෙකුව හෝ හින්දු ආගමිකයෙකුව සිට හෝ සාමාන්‍ය නීතිය යටතේ එක් විවාහයක් කරගත් පුද්ගලයෙකු පසුව ඉස්ලාම් දහම වැළදගෙන සිදුකරගන්නා විවාහයන් නීත්‍යානුකූල ලෙස සැලකුණි.එම තත්වය ‘නීතිපති එරෙහිව රීඩ්’ නම් නඩුවේ රාජාධිකරණ තීන්දුව තහවුරු වූවකි. මෙකී නීත්‍යානුකූල පදනම 1997 දී තීරණය කෙරුණු ‘නතාලි අබේසුන්දර එරෙහිව ක්‍රිස්ටෝපර් අබේසුන්දර’ හා තවත් අය යන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සම්පූර්ණයෙන්ම වෙනස් විය.
අබේසුන්දර එරෙහිව අබේසුන්දර නඩුව
එකී නඩුවේ සිද්ධිමය කරුණු අනුව රෝමානු කතෝලික සිංහල යුවලක් සාමාන්‍ය නීතිය යටතේ විවාහයට එළඹ තිබුණි.පසුකාලීනව පුරුෂයා වෙනත් ස්ත්‍රියක් සමඟ ඇති කර ගත් සබඳතාවයක් හේතුවෙන් ඔහු තම පවතින විවාහය සඳහා දික්කසාදයක් ඇයැද සිටියද දිස්ත්‍රික් අධිකරණයේදී එය ප්‍රතික්ෂේප වූ නමුදු(දික්කසාදයක් ලබාගැනීම සඳහා වෛවාහක වරදක් ඔප්පු කළ යුතු වේ.)ඒ තීරණයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමක්ද සිදුනොකළේය.පසුව ඔහු විසින් අඹු සැමි යුවල වාසය කළාවූ වෛවාහක නිවස එකී අනියම් බිරිඳට තෑගි කළේය.මේ පිළිබඳව පැණ නැඟුණු නඩු කටයුත්තේදී රෝමානු කතෝලික ආගමිකයන් වු තමා හා තම සහායිකාව ඉස්ලාම් ආගම වැළඳගැනීමෙන් අනතුරුව ඉස්ලාමීය නීතියට අනුව විවාහ ඇති බව ස්වාමි පුරුෂයා විසින් අධිකරණය ඉදිරියේ පවසන ලදී. මහේස්ත්‍රාත් අධිකරණයේදී වූ නඩු විභාගයේදී චූදිතයා බහු විවාහය සඳහා වැරදිකරුවෙකු කරනු ලැබූවද , විත්තිය විසින් පළාත්බද මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනු ලදුව එහිදී පහල අධිකරණයේ තීන්දුව ඉවත ලමින් ඔහු බහු විවාහ චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය.එකී තීන්දුවට එළඹීම සඳහා පෙර තීරණය කර තිබූ ‘නීතිපති එරෙහිව රීඩ්’ නඩු තීරණය අදාළ කරගන්නට ඇතැයි සැලකිය හැකිය.කෙසේ වුවද මෙකී තීරණයෙන් අතෘප්තියට පත් අබේසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ ඇපෑලක් ගොනු කරනු ලැබීය.මෙකී ඇපෑල විභාග කරනු ලැබු ‘නතාලි අබේසුන්දර එරෙහිව ක්‍රිස්ටෝපර් අබේසුන්දර හා තවත් අය’ යන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පෙර සඳහන් කළාවු එප්පාවල නඩුව වැනි මෙරට අධිකරණ ඉතිහාසයේ දැකිය හැකි තවත් සුවිශේෂී නඩුවක් බවට පත්වන්නේ අධිකරණය සතු විචක්ෂණශීලීභාවය මෙන්ම ව්‍යවස්ථා අර්ථ නිරූපණ හැකියාව ද මනාව විදහා දක්වන්නක් බැවිනි.
මෙකී නඩු විභාගයේදී පැමිණිලි හා විත්ති දෙපාර්ශවය උදෙසා පෙනී සිටි නීතිය පිළිබඳ ප්‍රමාණික උගත් නීතිවේදීන්ගේ නීති තර්කයන් සේම මේ හා සමාන කරුණු විභාග කරනු ලැබූ මෙරට , ඉන්දීය හා දකුණු අප්‍රිකානු නඩු ගණනාවක්ද ,එකී නඩු කෘත්‍යයන්හිදී උගත් විනිසුරුතුමන්ලාගේ තීන්දු ප්‍රකාශයන් හා මෙරට හා විදේශීය ව්‍යවස්ථාවන් ගණනාවක් හදාරමින් ද,මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර වැනි ශ්‍රී ලංකා පවුල් නීතිය පිළිබඳ පුළුල් දැනුමැති නීති රචකයන්ගේ කෘතීන් විමර්ෂණය කිරීම පමණකුත් නොව R.K.W. ගුණසේකර වැනි නීතිය පිළිබඳ විශාරදයෙකු අධිකරණ සහායකයෙකු (amicus curiae) ලෙස කැඳවමින් ද මෙවැනි බහු විවාහක හැකියාවක් ඇත්තේ දැයි විභාග කළ ගරු අධිකරණය ‘නීතිපති එරෙහිව රීඩ්’ නඩුව මඟින් ලබා දී තිබූ තීරණය අධිතීරණය කරමින් නව තීන්දුවක් ලබා දෙනු ලැබීය.ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට තම ආගමික දෘෂ්ඨිය වෙනස් කරගැනීමට අයිතියක් තිබුණද, ඒක පති -පතිනි විවාහයක් පමණක් පවතින බවට බැඳීමෙන් හා නීතිය යටතේ පොරොන්දු දෙමින් විවාහයට එළඹීමෙන් අනතුරුව එයට පටහැනි ආකාරයට කටයුතු කළ නොහැකි බවත්,එහිදී පුරුෂයාගේ අයිතීන් තම භාර්යාවගේ නෛතික අයිතීන් මඟින් සීමා වන බවත් තීරණය කර ලදී.
දැන් බලපවත්නා මෙකී අධිකරණ තීරණය අනුව වෙනත් ආගමික විවාහකයෙකු තම හිතුමතයේ ඉස්ලාම් දහම වැළඳගැනීම මඟින් තවත් විවාහයන් කරගැනීම බහු විවාහ කරගැනීමේ වරදක් වන්නේය.
කොටදෙණියාව හා කොටකෙතන
අධිකරණය මඟින් යුක්තිය පසිඳලීමේ වැදගත්කම මේ මෑතක සිදුවූ හදකම්පා කරවන සුළු කොටදෙනියාව සේයා සඳෙව්මිණි දැරිය සම්බන්ධ අපරාධය ඔස්සේද පෙනීයයි.එහිදී ජනතාවගේ බලවත් ආවේගශීලී වුවමනාව මත පොලීසිය ‘කොණ්ඩයා’ නම් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර එකී සැකකරු තමා එම අපරාධය කළ බවට පාපෝච්චාරණය කළ අතර එකී අපරාධය සිදුකළ ක්‍රියාදාමයද පොලීසියට හෙළි කළැයි පැවසුනි.දැන් සියල්ලෝම හද පත්ලෙන්ම පිලිගත් පරිදි සුදුසු අපරාධකරුවෙකු හසුවී ඇති නිසා මහජනතාවගේ බලවත් අභිප්‍රාය වූයේ පෙර පැවති ආකාරයට පොලීසියට සැඟවූ ආයුධ පෙන්වීමට යෑමේදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි කා හෝ දියේ ගිලී හෝ මියයනු දැකීමයි.එහෙත් ජනතාවගේම වාසනාවකට ජනතාව විසින්ම ගත් දේශපාලන තීරණයක් (2015 ජනවාරියේ දී) නිසා පොලීසියට එවැනි ආකාරයට ක්‍රියාකිරීමට ඒ අවස්ථාවේදී ධෛර්යක් නොතිබිණි. ජනතාවගේම වාසනාවකට යැයි පැවසූවේ ඒ ආකාරයට කොණ්ඩයා මිය ගියේ නම් මානසික විකෘතිතාවයකින් පෙළෙන්නේ යැයි සිතිය හැකි සැබෑ අපරාධකරුවා සිය මියගිය මල්ලීගේ කීර්ති නාමය ආරක්ෂා කරමින් කොටකෙතන ගමේ සිදුවූවාක් වැනි තවත් අපරාධ වැලක් සිදුකර හැකිව තිබූ බැවිනි. කොටකෙතන දී සිදුවූ වාස් ගුණවර්ධන වැනි පොලිස් වෙස් ගත් අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපය හා ඊනියා ජනමාධ්‍යවේදීන්ගේ අවිචාරාත්මක මාධ්‍ය හැසිරීම වෙනම සාකච්ඡා කළ යුත්තක් තරම් වැදගත් වන කරුණක් බවද මෙහිදී සදහන් කල යුතුම වේ.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...