අපි හා අපේ දරුවන් අතර පළතුරු කෑමේ යුගයක වෙනස

OLYMPUS DIGITAL CAMERA

අපේ දරුවන්ට උගුරැස්සා,ලොවි,ලාවුළු හෝ සැපතිල්ලා වැනි දැන් සොයාගැනීමට දුර්ලභ  පළතුරක් ගෙනවිත්  දුන් විට බරපතල වැඩ ඇතිව සිරගෙට නියම වූවෙකුගේ හැඟීම් සිහියට නැඟෙන වාස්තවික නිරූපණයක් කරමින්  මීයෙකු මෙන්   මදක් දත ගසා හිස වනමින් එය ආපසු  දෙයි ;නැතහොත් පසෙකින් තබයි.මෙවිට මට අපේ ළමා කාලය සිහිවන්නේ නිරායාසයෙනි.මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඒ  කුඩා පාසල සිහියට නැඟේ. එය කුඩා සෙල්ලම් පිටිය තුන් පැත්තකින් වටකරමින් ඉංග්‍රීසි U අකුරේ හැඩයට (කොටු ආකාරයට) සිංහල උළු සෙවිලි කල තනි මහලේ ගොඩනැගිල්ලක් විය.එහි පාසලට ඇතුළු වන ගේට්ටුව තිබූ විවෘත පැත්තේ සෙල්ලම් පිටියේ කෙළවරට වන්නට දැවැන්ත ජුලියන් ගසක් විය .(#දැන් මේ දිනවල ෆේස්බුක් අඩවිවල ඇවිලී යන ප්‍රාදේශීය භාෂා ව්‍යවහාර පිළිබඳ ආරවුලට තවත් පදයක් එක්කර ගත හැකිය.මක්නිසාද යත් දකුණේ ඇතැම් පලාත්වල දී “දුරියන්” යන්න වෙනුවට ව්‍යවහාර කරන්නේ “ජුලියන්” යනුවෙන් නිසාය.එහෙත් මා දන්නා දකුණේ මිනිසුන් “සීනි කුරුල්ලන්” යැයි එක්තරා බේකරි කෑම වර්ගයක් හඳුන්වනවා මා අසා නැත.ඔවුන් ඒවා “කිඹුලන් “හෝ “වියන් රෝල් “ලෙස හඳුන්වන බව නම් දනිමි#)ඇතැම් වෙලාවක අපේ ගුරුවරු ඒ ජුලියන් ගස් සෙවන එළිමහන් පන්තිකාමරයක් ලෙස භාවිතා කළෝය.එබැවින් පන්තිකාමරයේ සිට ළමා පුටු උස්සා රැගෙන ආ අපි අඩ කවයක ආකාරයට ගුරුතුමිය වටාතබාගෙන නොයකුත් අභ්‍යාසයන්හි නිරතවීමු.ඒ ඇතැම් විට සිංහල පාඩමක් ශබ්ද නගා කියවීමකි.විටෙක සෞන්දර්ය අභ්‍යාසයකි.තවත් විටෙක ක්‍රීඩාවකි.එසේත් නැතිනම් පාසලේ කුඩා පුස්තකාලයෙන්(ලී කබඩ් එකක් පමණ වූ)  ගෙනවිත් බෙදාදුන් පොත් කියවීමකි.අප  මෙවැනි අභ්‍යාසයන්හි නිරත වන අතරතුර සමහර අවස්ථාවලදී  ලොකු සර් එතැනට පැමිණේ.ඒ පාසල වටා රවුමක් යන ගමනේදී හෝ නැතිනම් අපේ ගුරුතුමියට යමක් පැවසීමට විය හැකිය.(අපේ එකේ පන්තිය භාර ගුරුතුමිය ලොකු සර්ගේ බිරිඳ වූ අතර,මගේ හොඳම යාළුවා වූ ඔවුන්ගේ පුත්‍රයාද අපේ පන්තියේ අප සමඟ ඉගෙනගනිමින් සිටියේය.).කෙසේ වුවද එකඳු  කෙස් ගසක් හෝ නොවූ එතුමාගේ තට්ටය උදෑසන හිරු එළියෙන් බබලන අයුරු දකින අප එතුමාට දමන ලද අන්වර්ථ නාමය වූයේ “ජුලියන් තට්ටයා” කියාය.මේ ජුලියන් ගස අපට වඩාත් වැදගත් වන්නේ එහි මල් දරන කාලයේ දීය.ඒ කාලයේ දී ගස හලා දමන බොරු මල් අහුලා ගැනීමට අපි ඉතා ආශා කළෙමු.මක් නිසාද යත් ඇතැම් බොරු මල් වල තුළ ඉතා කුඩා ගෙඩියක් තිබූ අතර අමුතුම රසක් ඇති ඒ ගෙඩි අහුලා රිසි සේ කෑවෙමු.(අපේ අම්මලා  මේ ජුලියන් මල් ව්‍යංඡනයක් ලෙස පිළියෙළ කරන්නට ද දැනගෙන සිටියහ.)  පාසල වටා තිබූ බැද්ද පීරා බෝවිටියා,ගඳපාන මල් හා ඇට බඩ පුරා කෑවා සේම ලේන් අඹ,පේර ආදියද ජංගි කොටයේ අතුල්ලා වැලි පිසදා ලේනා කට නොගැසු කොටස බෙදා ගෙන කෑවෙමු.එපමණක් ‍ නොව පාසල ඇරී ගෙදර යන වාරේ මඟදී දකින්නට ලැබෙන කොට්ටම්බා,ඩොංගා ආදියෙන්ද කුස සෑහෙන්නට සන්තර්පණය වෙයි.

 නමුත් අපේ දරුවන් දැක පුරුදුව සිටින්නේ සීමිත පළතුරු ප්‍රමාණයක් පමණි.එනම් කෙසෙල්,අන්නාසි, අඹ,ඇපල්,මිදි,කහ දොඩම් යනාදි වශයෙනි.ඒ ද අපි තෝරා,අල්ලා මිරිකා,නහයට ඉවකර,අඩුම ගණනේ දෙදෙනෙකුවත් මනාව නිරීක්ෂණය කර  සෝදා දුන් ඒවාය.විකිරණ,බර ලෝහ,අහිතකර කෘමිනාශක,ෆෝමලීන් ,පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය වලින් ඔවුන් ආරක්ෂා කරනු පිණිස බ්‍රොයිලර් කුකුල් පැටවුන් තතන්නාසේ  මෙවන් තෝරාගැනීම් පමණක් ලබාදීමට අපට සිදුවී තිබේ.ඒ අනුව සැලකූ විට යම් යම් වාසිදායක තත්වයන්ද ඔවුන් ලබාගෙන ඇති බැව් පෙනේ.එනම් ගම් බැඳි හැටේ කරක් ගහමින්(……අපේ වැඩිහිටියෝ අපව දුටු ආකාරයට)අතට අසුවුනු දේ චාරයක් නොමැතිව බුදීම නිසා නිරන්තරව පාහේ බඩේ අජීරණයන්ගෙන් පෙලුණු අතර අවුරුද්දකට දෙතුන් වතාවක් කිරි පණුවන් නැසීමට “ඇන්ටිපාර්” නම්වු පණු පැණිය බීමට සිද්ධ වීම (අපට ඇන්ටිපාර් පෙවීම සඳහා  දෙමාපියන් හමුදාව තොප්පිගල අල්ලාගන්නට කළාවූ වැනි මෙහෙයුමක් කළ බැව් කෙටියෙන් සදහන් කිරීම ප්‍රමාණවත් වේ යැයි සිතමි.)  වනේ වන සතුරෙකුටවත් සිදුනොවිය යුතු දුක අපට විඳින්නට සිදු වූවද අපගේ දරුවන්ට එවැනි දුකක් විඳින්නට නොලැබේ.අපගේ කුඩා කළ හා සැසඳුවිට ඔවුන් පුෂ්ටිමත්ය;හම පැහැපත්ය;දද කොරල අඩුය.

ඒකෙසේ වෙතත් අපගේ දරුවන්ට කුමක් හෝ මඟහැරී ඇති බැව්ද  මට සිතේ.

Published in: on 2016 දෙසැම්බර් 12 at පෙ.ව. 5:59  Comments (4)  
%d bloggers like this: