

කුණු ප්‍රශ්නය කතා කරනා විටදී ඊට සමපාත වන මගේ අතීත සිද්ධියක් මතක් වුනා.
ඒ මීට අවුරුදු බොහෝ ගණනකට පෙර අපි පාසල් යන කාලයේ මුහුණ දුන් අත්දැකීමක් වන සිදුවීමක්.
ඔන්න අපේ යාළුවෙකුගේ ගෙදර දානයක් දෙන්න ලැහැස්ති කළා.අපි උගේ බොක්කේ සෙට් එක නිසා දානේ ගෙදර බින්න බැස්සේ දානේ දවසට සතියකට විතර කලින්.ඒ වගේම ඒ පවුලේ තවත් සහෝදරයෝ හතර පස්දෙනෙක් සිටි නිසාත් උනුත් සමාජේ වල බැහැගෙන සිටි උදවිය නිසාත් ඒ අයගේ යාළුවොත්, යාළුවන්ගේ යාළුවොත් ,සහෝදරියක් ද සිටි හෙයින් ඇයගේ යෙහෙළියන් ද ,මව හා පිය පාර්ශවයේ දුර බැහැර සිටි ඥාතීන් ද වශයෙන්ද විශාල පිරිසක් නිරායාසයෙන් දානේ ගෙදරට එකතු වුනා.අපරාදේ කියන්නට බැරි ඒ පැමිණි හැම එකාම කන බොන නිදාගන්නට තරමට සෑහෙන වැඩ කොටසක් තම කුසලතා ප්‍රමාණයෙන්, තම ශක්ති ප්‍රමාණයෙන් ඉටුකරනවා.එහෙම නැතිනම් ඒ තැන්වලදී රැග් වෙලා,කාඩ් වැදිලා ,ගානට කැපිලා යන බව මෙවැනි වල බැස අත්දැකීම් ඇත්තෝ දනිති.
ඉතින් මෙහි පැමිණි සිටි අය අතරේ අපේ මිත්‍රයාගේ සහෝදරයෙකුගේ යාළුවෙකු වූ රැකියාවෙන් P.H.I කෙනෙකු ද (ගමේ භාෂාවෙන් සැන්ටිබෝඩ් මහත්තයෙකු)හිටියා.මිනිහා එතැන වැදගත් චරිතයක් වුනේ අපේ මිත්‍රයාගේ ගෙදර අයට ඒ දිනවල බලපා තිබුණු ප්‍රශ්ණයක් නිසයි.ඒ වුනේ මේකයි.මේ ගෙදරට අල්ලපු ඉඩමක ඉන්නේ එක විදියක ,ඒ කියන්නේ ඉස්සර කාලේ කොරියාවේ ජාතියේ කට්ටියක්.මුන්ගේ ඇවතුම් පැවතුම් අපේ එකාලට පෑහුණේ නෑ.ඒ වගේම ලොකුම ප්‍රශ්ණය වුනේ උන් වැසිකිලියක් පාවිච්චි නොකරපු එකයි.එක එක ජාතියේ පිරිමි ද නා නා ප්‍රකාර ගෑණුද වැලි කොස් ඇට මුල්ලක තරමේ පොඩි එවුන් රෑනක් මේ පවුලේ හිටියද උන් වැසිකිලියක් කියා එකක් පාවිච්චියක් නැතිලු!මේක තමන්ගේ ළිඳට,ඉඩමෙන් කඩා ගන්න පලා ටිකට,තමන්ගේ නහයට බලපාන ආකාරය විස්තර කළ අපේ මිත්‍රයාගේ පවුලේ උදවිය ඊට එරෙහිව පියවරයන් මොනවාදැයි මේ P.H.I. යාළුවාගෙන් විමසා සිටියා.ඔව්! එතැනදි කතානායකයා වූ ඔහු විසින් රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව,බලය පවරන නීති පනවනු ලබන වෙනත් ව්‍යවස්ථාවන් වගේම පලාත් පාලන ආයතන සාදන ලැබූ අනු නීතී යනාදිය උපුටා දක්වමින් එය තම කෙරෙහි මෙන්ම අන්‍යයන්ගේ සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාරය පමණක් නොව ඒ මදිවට තවත් පුද්ගලික කරදරය කියා නීතීන් ද තිබේ යැයි ගෙන හැර පාමින් මේ තිරශ්චීන ක්‍රියාවට එරෙහිව පීඩාවට පත් අසල්වාසීන්ට ගත හැකි පියවර රාශියක් විස්තර කරමින් අප හමුවේ සාරගර්භ දේශනයක් පැවැත්වූවේය.ඉතින් අප මිත්‍රයාගේ පවුලේ අයට හරි සතුටුයි: ලේසියෙන් අරින්නෑ අරුන්ව!ඉනික්බිතව සභා තොමෝ සතුටින් විසිර ගියාය.
මේ අතර දානේ ගෙදර තත්වය මෙහෙමයි.බර සෙනඟක් ගෙදර .ගෙදර තිබුණේ එක බාත්රූම් එකයි.ඉතින් උදේට ශරීර කෘත්‍යය කරන්න දිගු පෝලිමක්.එතැනදි ගෙදර අය ,නැදෑ පාර්ශවය,තරුණියන්,කාන්තාවන් ,වයෝවෘද්ධ අය,කුඩා දරුවන් යනාදී වශයෙන් ප්‍රමුඛතාවය අනුව පෝලිමේ මුල්තැනක් ගනිද්දී යාළු හිත මිත්‍රාදීන්ට හිමිවූයේ අවසානයයි.ඉදින් මේ P.H.I. මහත්තයාගේ දේශනයෙන් පස්සේ දවසේ උදෑසන අපේ යාළුවා විගහට දුවගෙන ඇවිත් අපිව නැඟිට්වාගෙන මිදුලට එක්ක ගෙන ගිහින් ගෙදරට උඩින් තිබුණු රබර් ඉඩම් කෑල්ල දිහාට ඇඟිල්ල දික් කර පෙන්නුවා.ඒ හරියේ කොල්ලෝ කට්ට්යක් පේලියට වාඩිවෙලා ඉන්න ආකාරයෙන් පෙනී ගියේ උන් උදෑසන ශරීර කෘත්‍යය සිදුකරමින් ඉන්නා බවයි.”උඹලා දන්නවද අර මැදින් තියෙන පුක කාගේද කියලා ?” ඌ එහෙම කිව්වාට එතරම් දුරක සිට දන්නා කියන පශ්චාත්භාගයක් වුවද හඳුනාගැනීමට නොහැකි නමුත් හැඳගෙන සිටින උඩු ඇඳුමෙන් පුද්ගලයා කවුදැයි තෝරාගත හැකිය.”ඒ තමයි අර P.H.I. මහත්තයා”
ප්‍රබන්ධයක් නොව සත්‍ය සිදුවීමක් වන මෙම කථාව යළිත් මගේ මනසට නැඟුණේ කුණු ප්‍රශ්නේදී අපිත් ,අර P.H.I. මහත්තයාත් අතර වෙනසක් නැති බව හැඟී යාමෙනි.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...