අබේරත්න,කිලුටු කුමාරි හා මම (අවසාන කොටස)

                            sam_0687.jpg

        මාලනී නම් වූ ,අබේරත්නගේ බිරිඳ අප මිතුරන්ගේ සැදෑවරු කථාබහේදී ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූ අතර අප විසින් ඇය “කිලුටු කුමාරි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවාය. ළමයෙකුගේ මෙන් වටකුරු  ඇස්,සිනිඳු කන්පෙති හා ඝන නමුත් කුඩා දෙතොල් සහිත පියකරු මුහුණක් ඇයට තිබුණද ඇය ඇද පැළඳ සිටි ඇඳුම්වල මෙන්ම ගතෙහි තිබූ අපිරිසිදු ස්වභාවය  අප මිතුරෝ එලෙසින් ඇයට නම් පටබැඳීමට හේතූ විය.උදෑසන දත කට මැද මුහුණ හා වැලමිට දක්වා අත් දෙක සෝදාගැනීමකින්  පමණක් අනතුරුව පෙරදා සවස දවසේ වැඩනිමාවෙන් පසුව වැවට ගොස් නාගැනීමෙන් අනතුරුව ඇඳ ගත්තාවූ පරණ ගොමස්කඩයක් බඳු රාත්‍රි ඇඳුමකට සමාන ඇඳුමින්ම මුළු  දවසේම  කටයුතු වල  ඈ නිරතවෙයි. වතුර, දැළි, මඩ, කඳුළු, කෙළ, දහඩිය, කහට, ඉඳුල්, ලේ යනාදි සියළු දෙයම වැකුණු  එම වස්ත්‍රය අතරින් වුව ඇයගේ දැඩි තන මෙන්ම ඉඟසුඟ හා මනබඳනා උකුලැති ස්ත්‍රී ලාලිත්‍යයද ප්‍රකට විය.නමුත් අප මිතුරන් සෝපාහාසයෙන් පැවසුවේ “කිළුටුකුමාරි ළඟට ගතෑකි වෙල්ල හැලියේ දාලා තම්බගත්තට පස්සේ ” යනුවෙනි.කෙසේවුවද ආරක්ෂක සේවාවේ  නිලධාරීන්  ඇතුළුව යම් යම් හා පුද්ගලයන් ඇය කෙරේ ආකර්ෂණව සිටියේ යැයි පැවසුණු අතර කවර කාරණයක් උදෙසා වුවද  එකී පුද්ගලයන් ද බොහෝ විට අබේරත්නගේ නිවසේ ගැවසෙනු දැකීම මටද  හුරුපුරුදු කාරණයක් විය.

            මේ සියල්ල මධ්‍යයේ නාමල්තැන්නේ අපි ගතකළේ යක්ෂයාගේ දත් තිස්දෙක අතරේ ගතකරන්නාක් වැනි ජීවිතයක් යැයි කිවහැකිය.මෙගම හා බාහිර සබඳතා පවත්වා ගත හැකි අයුරින් ත්‍රිකුණාමලයට හා අනුරාධපුරයට යෑමට බස් රථ ගමන් කළේ එක් ගමන්වාරයක් පමණි.හවස හය වන විට පමණ ප්‍රදේශයට පිවිසෙන මාර්ගය වසා දමන අතර  උදෑසන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කරනු ලැබුවේ හමුදා පිකට් එකකින් හෙවත් මාර්ගය දෙපස හමුදා සෝදිසි කිරීමකින් පසුව නියමිත ස්ථානයන්හි රැකවල් තරකිරීමෙන් පසුවය.ඇතැම් දිනවල මෙම හමුදා කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාර එල්ල වන අතර එහිදී තත්වය යථා තත්වයට පත්වන තුරු මාර්ගය විවෘත කිරීම බොහෝ ප්‍රමාද වේ.මාර්ගය වසා දැමීමෙන් පසුව කිසිදු වැසියෙකුට ගමට  ඇතුළුවීම හා  පිටවීම කළ නොහැකි වෙයි.එකළ ජංගම දුරකථන භාවිතයක් නොතිබූ අතර දුරකතන රැහැන් පද්ධතියද කොටින් විසින් විනාශ කර තිබූ හෙයින් ස්ථාවර දුරකතන සබඳතාවක්ද මෙහි නොවීය. අපේ සන්නිවේදන අවශ්‍යතා සඳහා පිහිට වූයේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රේඩියෝ සංඥා මගින් සන්නිවේදනය සිදු කරන්නාවූ  දුරකතනයක් පමණි.                   කොටින් විසින් අවට පිහිටි හමුදා කඳවුරුවලට පහරදී ඒ අසල ගම්මාන වලට කඩා වැදී සැහැසි ලෙස ගම්වැසියන් මරා දැමීම පිළිබඳ තොරතුරු නිබඳව පාහේ ඇසුන අතර ඊළඟ ගොදුර අපි විය හැකියැයි යන බිය නිතරම අප හිත්හි හොල්මන් කළේය.එබඳු පහරදීමක් අද විය හැකිය යන ප්‍රවෘත්තිය බොහෝ විට මෙහි සන්නිවේදනය වූ අතර එවැනි දිනවල අප රැය පහන් කළේ නිවෙස් වලින්  පිට කුඩා වන වදුළු හෝ  වැව් තාවුල්ල හෝ වෙනත් රක්ෂිතයැයි අප උපකල්පනය කළ  තැනකය.මෙබඳු දිනවල රැය පහන් කළේ නිරිවර්ජිතව හෝ අඩ නින්දේ වූ බැවින් මම දහවල් කාලයේ සිහින් ඉතා වේදනා දෙන්නාවූ හිසරදයකින් පෙළෙන්නට වීමි. අඩුම ගණනේ අප උපන් ගම්පළාත්හිදී රාත්‍රියේ ගෙවල් දොරවල් වසාගත් කළ සැනසිල්ලේ නිදාගත්තා නොවේ දැයි කල්පනාවට එද්දී අප ගැන අපටම බලවත් කම්පාවක් ඇතිවිය.කෙසේ නමුත් එවැනි තත්වයක් මැද වුවද හැකිතාක් දුරට එගම්වැසියන් සමඟ ගැවසෙමින්ද,දැනහඳුනාගනිමින්ද,සම්බන්ධතා ගොඩනඟාගනිමින්ද ආතතියකින් තොරව වෙසෙන්නට වෑයම් කළෙමු.

            අද දින යෙදෙන මේ ගමනද එබඳු සබඳතාවයක් නිසා යෙදුනක් විය. මා නාමල්තැන්නේදී හඳුනාගත් එගම්වැසි මිතුරෙකුගේ පියාගේ මරණය සැලවීම නිසා සහභාගී වීම සඳහා යන ගමනකි මේ.නාමල්තැන්නේ දී මා හඳුනාගත් මගේ පැරණි මිතුරන් අතර අබේරත්නද  මල ගෙදරදී හමුවීම මට සතුට උපදන්නක් විය.නිවාඩු පාඩු තැනක එළිමහනේ මධුවිතක් පානය කරන අතරම අපට කතා කිරීමට බොහෝ දේ විය.විවාහ වීම් ,දරුමල්ලන් ලැබීම්,දරුවන් වැඩිවියට පත්වීම්,රැකියා හෝ ආදායම් තත්වයේ වෙනස්වීම්,වයසට යෑම යනාදි වශයෙන් මේ කාලය තුළ අප ජීවිත බො‍හොසෙයින් වෙනස් වීමකට ලක්කර ඇත.නාමල්තැන්න වුව දැන් ත්‍රස්ත භීෂණයෙන් මුළුමනින්ම නිදහස් වී ඇත. දැන් එතුළ ජීවිතය  දකුණේ අන් ප්‍රදේශයක තත්වයට සමානය.

            මේ කතාබහ අතරය මා අබේරත්නගේ උරහිසේ වූ  කැළල දුටුවේ.මුලින් පිළිවෙලක් නැතිව අත් නවන ලද අත් දිග කමීසයක් ඇද සිටි අබේරත්න ටික වේලාවක් යන විට එය උනා අසල වූ ගසක එල්ලා තැබීය. මා දුටු කැළල මඳක් ගැඹුරු වක්‍රාකාර එකක් විය.

            “මොකද්ද අබේරත්න ඔය කැළල”අනෙකුත් මිතුරන් වෙන වෙන මාතෘකා ඔස්සේ කතාබහේ නිරත වන අතරදී මම අබේරත්නගෙන් විමසූවෙමි.

            “ආ! මහත්තයා මේ සිද්ධිය ගැන දන්නේ නැහැනේ” යි කියා ඔහු අරක්කු වීදුරුවක් වත් කරගෙන පානය කළේය. “මහත්තයා දෙදාහේ මාර්තු මාසේ මෙහෙන් මාරු වෙලා ගියා කිව්වනේ.ඒ අප්‍රේල් මාසේදී අපේ ගමට කොටි ගැහුවා.මතකනේ අද ගහයි හෙට ගහයි කියලා අපි අනුමාන කරගෙන හිටි විදිය.එදා මට  දවල් ඩියුටි තිබුණ දවසක්.මේ කොටි බය නිසා සූදානම් ශරීරෙන් ඉන්න ඕන නිසා වැඩිය බිව්වෙත් නෑ.රෑ එක දෙක විතර වෙන කොට කෑම්ප් එකට ගහන අතරේ උන් කට්ටියක් ගමට පැන්නා.,කිරලුන්ගේ ගෝසාවයි, බල්ලන්ගේ ගෝසාවෙනුයි,වෙඩි සද්දෙන් මෝටාර් සද්දෙන් අපි දැනගත්තා මුන් ගමට පැනපු බව.එතකොට අපේ ගෙදර හිටියේ මමයි, ගෑනියි,ළමයි තුන්දෙනයි.බාලයට වයස මාස ගාණක්.අපි කොටියගෙ තිරිසන්කම දැනගෙන හිටි නිසා මම ආරස්සාවට කටයුතු යොදලයි තිබුණේ.”ඔහු තවත් අරක්කු වීදුරුවක් පුරවා ගති.

            “මහත්තයාට මතක ඇතිනේ ඒ දවස්වල අපේ මහගෙදර පිටිපස්සෙන් මම හදපු අළුත් ගෙදර.ඒ දවස් වල කොටි එන ආරංචියට පවුලේ එවුනුත් අරගෙන එහාට මෙහාට වහන්වෙලා ඉදීම ඇති වෙලයි තිබුණේ. අනික උන් අපේ කෙනෙක් අල්ලගෙන වදදීලා මිනිස්සු වහන්වෙලා හිටිය තැනුත් හොයාගෙන මරලා තිබුණා.ඒක නිසා මම කවුරුවත් සැක නොහිතන තැනක් හැංගෙන්න හැදුවා.ඒ ගෙදර කුස්සියේ ලිපට උඩින් දුම් කවුළුව ඇතුළෙ අටුවක් වගේ කොන්ක්‍රීට් ලෑල්ලක් දා ගත්තා.දැන් එදා රෑ කොටි මගේ ගෙදරටත් පැන්නා.ඒ වෙනකොට මම පොඩි එවුනුයි,ගෑනියි ඉනිමං කෑල්ලක් තියලා අර තැනට ගොඩකරවලා,පස්සේ යට ලකුණු මුකුත් නොහිටින්න ලිප ගාව හොඳට හරි ගස්සලා මමත් උඩට නැගලා ඉනිමඟත් උඩට අරගෙනයි හිටියෙ.කොටි පිස්සු බල්ලෝ රැළක් වගේ ගෙට කඩා වැදුණා.ගෙදර කවුරුවත් පේන්න නැතිවෙන කොට උන්ට කේන්තියි.ඒ එක්කම මගේ ග්‍රාමාරක්ෂක නිළ ඇඳුම අහුවුනාම උන්ට තවත් කේන්තියි.උන් ගේ පෙරළ පෙරළා අපිව හෙව්වා.බඩු මුට්ටු පොළවේ ගැහුවා.කුණුහරුපෙන් බැන්නා.”

“ඉතින්?” මම අසා හිටියේ බලවත් විශ්මයෙනි.

“ඉතින්,උන්ගේ මේ කලබැගෑනියට බයවෙලා,නින්ද කැඩිලා ඇහිරිලා හිටිය මාස ගණනේ පොඩි දරුව අඩන්න හැදුවා.එකී ඇඩුවා නම් අපි ඔක්කොම උන්ට අහුවෙනවා. දරුවා හිටියේ ගෑනිගෙ අතේ .මම විගහට ඇගේ කට අතින් තද කරලා වහගත්තා.ගෑනි බය වුනා හුස්ම ගන්න බැරිව දරුවා මැරෙයි කියලා.ඒ වගේම ඒකිගෙ කල්පනාවට එන්න ඇති ඒ දරුවා මගේ නෙමෙයි ඒකි යාළු වෙන මිනිහෙකුගෙයි කියලා මම ඒකිත් එක්ක රණ්ඩු වුන හැටිත්.ඉතින් දරුවගේ කට අතාරින්න කියලා කෙඳිරි ගාලා ඒකී තදින් මගේ උරහිස්ස හපාගෙන හිටියා.”

“මම එහෙමම තිරිසෙනෙක්වත්,මෝඩයෙක්වත් නෙමෙයිනේ මහත්තයෝ.මම දරුවගේ කට තද කරන් හිටියෙ සැරින් සැරේ හුස්ම ගන්න පුළුවන් විදියට ඇඟිලි පොඩ්ඩ පොඩ්ඩ උස් පහත් කර කරයි.අරුන් ගේ ඇතුළේ පෙරළී කරලා අන්තිමේදී සෑහෙන ඈතකට ගියයි කියලා දැනෙන තුරු ගෑනී කිඹුලියක් වගේ මගේ උරිස්ස විකාගෙන ඉන්න වේදනාවත් දරාගෙන මම පොඩි එකී ගැන කල්පනාවෙන් හිටියා.අවදානම නැතිවුනාම ඇගේ කට අතඇරලා ගෑනිට කිව්වා දරුවව හයියෙන්  පපුවට තුරුළුකරගෙන නලවා ගන්නෙයි කියලා.”තවත් අරක්කු වීදුරුවක් වක් කරගත් අබේරත්න එය “ග්ලග්” ,“ග්ලග්” හඩින් උගුරු දෙකට බී හමාර කළේය.

“දැන් ඒ දරුවා ලොකු ඇති “මට ඒ දරුවා දැක ගැනීමට සිත්විය.

“ඔව්!දැන් පෝය දෙකකට කළින් එකී මහදිවුල්වැවට කසාද බැන්දා “අබේරත්න  පිළිතුරු දුනි.

“එතකොට දැන් අබේගෙ පවුලට කොහොමද?”

“එයා දැන් අවුරුද්දකට විතර උඩදි  වකුගඩු අමාරුවෙන් මළා” අබේරත්න තුවාල කැළල අතගාමින් මඳ වේලාවක් සිට පිළිතුරු දුන්නේය.

මම අරක්කු වීදුරුවක් පුරවා ගත්තෙමි

Advertisements
Published in: on 2017 නොවැම්බර් 17 at ප.ව. 4:42  Comments (1)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2017/11/17/%e0%b6%85%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%9a%e0%b7%92%e0%b6%bd%e0%b7%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%92-%e0%b7%84%e0%b7%8f/trackback/

RSS feed for comments on this post.

One Commentප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. hmm

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: