ගාල්ලේ ශාන්ත ඇලෝසියස් තමයි විද්‍යාලේ !

 

 

31945236_1286224194843560_2570450283553357824_nartworks-000232763115-vqswzr-t500x500

මෙම ඡායාරූපය මාගේ මිතුරෙකුගේ (දයානන්ද නොහොත් දයියා  ) මුහුණු පොතෙන් උස්සන ලද්දේ ඒ ඔස්සේ රසවත් අතීත සැමරුම් මාලාවක් සිහිපත් වන බැවිනි.මෙහි දැක්වෙන අපේ කාලයේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ “අයියලා” අතරින් බොහෝ දෙනෙකු පාසල් කාලයෙන් පසුව  හමුවී නොමැති වුවද තවමත් ඔවුන් මනසේ රැඳී ඇති බැව් මෙවැනි ඡායාරූපයන් දකිනා විට හැඟී යයි.

මෙම ඡායාරූපයේ thumbs up ලකුණ පෙන්වා සිටින්නේ ලංකාවේ සිටින ප්‍රවීන හා කීර්තිමත් නීතිවේදියෙකු හා ජනාධිපති නීතිඥයෙකු ද වන J.C. වැලිඅමුණ අයියායි.ඇත්තටම එකල අපි ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දී ඉහළ පංති වල සිටි සිසුන්ට අයියා ලෙස ඇමතූ අතර ඔවුන් අපව මල්ලිලා ලෙස හඳුන්වන ලදී.එමෙන්ම මෙම අයියලා වෙත අප විසින් බිය මුසුවූ ගෞරවාදරයක් දක්වන ලද අතර ඔවුන්ද අප මල්ලිලා ලෙස සලකමින් අප කෙරෙහි හැසිරෙන ලදී.

වැලිඅමුණ අයියා එකළ බෙහෙවින් සරල චරිතයක් වූ අතර එපරිද්දෙන්ම විරෝධාකල්පිකයෙකු වූ බවද මට මතකය.එවන් එක් අවස්ථාවක් නම් ඉහල පන්තිවල සිසුන්ගේ පාසල් නිල ඇඳුම සුදු කමිසය හා සුදු දිග කලිසම වූවද වැලිඅමුණ අයියා උසස් පෙළ පන්තියක සිටියදී  වරක් කොට කලිසමක් ඇඳ පාසල් පැමිණීමයි.එසේම ඒ වකවානුවේ පාසලේ සිටි දක්ෂ කලාකරුවන් වූ දයාවංශ අයියා,දුලිප් රණසිංහ අයියා සහ සමන් ගුණදාස අයියා ඇතුළු කිහිපදෙනෙකු වරක් විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයකදී ත්‍යාග ලබාගැනීමට සිංහල ජාතික ඇඳුමෙන් පැමිණීමද අපට මහත් වීර ක්‍රියාවක් සේ පෙනුණි.

මේ හැරෙන්නට දැන් ජ්‍යෙෂ්ඨ නීතිවේදී J.C. වැලිඅමුණ මහතාණන් ඇසුරුකරන්නන් දන්නේ දැයි නිශ්චිතව කිව නොහැකි අපූර්ව ආකාරයේ හැකියාවක් එකල වැලිඅමුණ අයියා සතුව තිබූ බව කිව යුතුම වේ.ඒ නම් පිරිමි හඬෙන් පමණක් නොව ගැහැණුු හඬකින්ද සහිතව යුග ගීත ගැයීමට තිබූ හැකියාවයි.එකල මල්ලිලා වූ අප ආරාධනය කළද අප පිනවීම පිණිස නිහතමානීව “මල්බර හිමිඳිරියේ කොයිබද ඔබ යන්නේ” යන ගීතය පිරිමි හා ගැහැණු හඬට මාරුවෙමින් විශිෂ්ට ලෙස ගයා අප පිනවූ ආකාරය අද සේ මතකය.

 

Published in: on 2018 ජූලි 24 at පෙ.ව. 6:14  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

ගාළු මහජන ක්‍රීඩාංගනය උලා කෑමට පසු වදනක් (මෙම ලිපිය මවිසින් 2014 දෙසැම්බර් මස ලියා මෙහි පළකරන ලද්දක් වන අතර කාලීන වැදගත්කම නිසා මෙලෙස නැවත ප්‍රසිද්ධ කරන බව කරුණාවෙන් සලකන්න.)

d511m

ගාල්ලේ මහජන ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වෙන් කර එය පොදු මහජනතාවගේ භාවිතයෙන් ඈත් කිරීමේ අතිශය අසාධාරණ හා අගතිගාමී මෙන්ම අප වැන්නන්ගේ හිත් තුලින් කිසිදා පහව නොයන කම්පාව ඇති කළාවු කුප්‍රකට ක්‍රියාවේ  නූතන මැතිවරණ කොමසාරිස්වරයා  මූලිකයෙකු බව Lankaenews හි වාර්තාවක පළවී තිබී දකිනු ලැබීමෙන් පැරණි තුවාලයක් නැවත පෑරුණාසේ  දැනෙන්නට විය.ඔහුගේ ඊට ඇති මෙම සම්බන්ධතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කර පැවසීමට නොදන්නා බැවින් එම ක්‍රියාව ගැන නොව එහි ප්‍රතිථලයන්හි ආදීනව ගැන කතා කිරීමට සිතුවෙමි.
ආක්‍රමණික විජාතිකයන් ග‍ාලු කොටුවේ ගොඩබිම දිශාවෙන් ඇතුල්වීමට තිබූ දොරටුව ඉදිරිපිට ජල දුර්ගයක් තනා තිබූ භූ‍මි භාගයක් මතින් ගාලු ක්‍රීඩාංගනය ඉදිවී තිබේ.අප මතක කාලයේ ගාලු ක්‍රීඩාංගන‍යේ හැඩතල දැන් පවතින ආකාරයේම වුවද මෙතරම්  දැවැන්ත නැත.දැන්ගාලු ක්‍රීඩාංගනය දකිනා විට මගේ මතකයට නැගෙන්නේ කට කමසෙයියාවක් නැතිව අහර බුදිමින්  ව්‍යායාමයක් නැතිව එක තැන දපා සිට දැඩිව තරව ගිය අලි බතල ගැහැණියක මෙනි.
මට හැඟෙන ආකාරයට සූට්කේස් වල දමාගෙන පොත් රැගෙන පාසල් ගිය අවසාන ළමා පරපුර අපි වෙමු.දැන් මෙන් බෑග් වල පොත් දමා ගෙන ළමුන් මෙන් නොව අපි මේ සූට්කේස් බහු කාර්ය උපකරණයක් සේ භාවිතා කළෙමු.එයින් බොහොමයක්  අවශ්‍යතා ක්‍රීඩාංගනයේදී පාවිච්චි කළ ඒවා විය.මොනයම් හෝ ක්‍රිකට් තරඟයක් ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වන්නේද අපි එතැන වීමු.පැවිලියන් එකේ වාඩිවී මැච් එකක් බැලීමට වරම් නොලත්  කජු කිරි කොල්ලන් වූ අපි ඒ දිනවල පිට්ටනිය වටා කස ගස් පේලියක් තිබුණු නමුදු ඒ සෙවනට නොගොසින් හතරේ සීමාව ළකුණු කළ කඹය අද්දරම වාඩි වෙමු.(සමහර වේලාවට අපි මේ හතරේ සීමාව ඔසවා අපට අවශ්‍ය ලෙසට ඉදිරියට හෝ පසුපසට ගත් අවස්ථා නැත්තේම නොවේ.)එතැනදී අපගේ සූට්කේසය ආසනයක් සේ පාවිච්වි කරන්නේ එය හරස් අතට සිටුවා දෙපරන්ද පල්ලේ තබා  ගෙන කකුල් දෙක දෙපැත්තට දමාගෙන ඒමත වාඩි වීමෙනි.මෙසේ ටික‍ වේලාවක් සිටිනා විට අව්ව වැඩිවෙන විට හෝ පොදක් ඇද හැලෙන විට බිම වාඩි වී එය ආවරණයක් සේ හිස මතට ගතිමු.පිටියේ මැච් එක බෝරිං ව‍ගේ දැනෙන්නේ නම් අපි අපගේ තරඟයක් බවුන්ඩ්‍රි ලයින් එකෙන් එළියේ සිට අරඹන විට එම සූට්කේස් දෙකක් එක පිට එක තබා විකට්ටුවක් සකස් කර ගතිමු.
ක්‍රිකට් වාරය හමාර වූ විට ෆුට්බෝල් මැචස් පටන් ගනී.ෆුට්බෝල් තරඟ පැවතුණේ ක්‍රීඩාංගනය තුළම සමනල පාලම අන්තයේ ගාමිණි ක්ලබ් එක ඉදිරිපිට කොටසේ මිස දැන් මෙන් එකළ ගව ඝාතකාරයක් තිබූ පිට්ටනියෙන් එළියේ හුදෙකලා ස්ථානයක නොවේ.ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ හ‍ා නැරඹීමට එක් වූ සමාජ කණ්ඩායමට වෙනස් කණ්ඩායමක් මෙම ෆුට්බෝල් තරඟ හා සම්බන්ධව සිටියහ. ඔවුහු බොහෝ විට අව වරප්‍රසාදිත ජන කොටස් වලින්  පැමිණියෝ වූහ.කෙසේ වුවද ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මන බඳිනා සුළු වූ අතර ප්‍රතිවාදීන් තැති ගන්වන සුළු විය.ගාළු ක්‍රීඩාංගනය පාපන්දු ක්‍රීඩාවට තහනම්ව යන තෙක්ම ගාල්ල ප්‍රසිද්ධව සිටියේ  දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් බිහිකළ පුරවරයක් ‍ලෙසටය !
කෙසේ වුවද නැවතත් අතීත කථාවට හැරුණහොත් කාක්කන් පිට්ටනිය වටා ඇති ගස් වලට මෙන්ම යාබද ධර්මපාල උද්‍යානයේ ඇති තුරු හිස් මතට රාත්‍රී නවාතැන් පිණිස පැමිණ හඬ තලද්දී සියළු තරඟ අහවර වී ඇත.වැඩිහිටියෝ හෙමින් හෙමින් ගාමිණි ක්ලබ් එක පැත්තට ඇදේ.බෝතල් වීදුරු ගැටෙන ශබ්දද ඒ අසලින් පිටියෙන් එළියට යද්දී ඇසේ.අපෝ!රෑ වෙන්ටත්ළඟය. දැන් අප ගෙදර යා යුතු බව මතක් වේ.උදේ ඉස්කොලේ පැමිණි අපි ගෙදර යන්නේදැන්ය.බඩගින්නේ හාකුට්ට වෙමින් සිටියද ගානක් නැත.ගෙවල් වලටද ප්‍රමාද විම ගැන කියන්නට නිදහසට කරුණු එමට අපට ඇත.එයින් වඩාත් ඒත්තු ගැන්විය හැකි කරුණ  ස්පෝර්ට් ප්‍රැක්ටිස් තිබීමය.කොහොමටත්මෙම ප්‍රමාදයන් හොඳට හුරු පුරුදු හෙයින් ගෙවල් වල උදවියද අප පරක්කු වීම ගැන එ්තරම් කලබල වන්නේද නැත.
එපමණක් නොව දකු‍ණේ සියළු ප්‍රධාන මට්ටමේ මළළ ක්‍රීඩා තරඟයන්ද එකළ පැවැත්වූයේ ගාලු ක්‍රීඩාංගනයේදීය.තවද ගාලු නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසල් වල නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වූයේ ද ,ගාළු නගර ශෝභිනියන්ගේ රැකියා කටයුතු සඳහා භාවිතා කළාවු,නහා ඇඳ පැළඳ ගැනීම් කළාවු,විවේක ගත්තාවූ  ,පිම්පියන් මුණගැසුණාවූ එකල   “පට්ටිය මුල්ල”නමින් හැඳින්වූූ දැන් ‘සමනල  ක්‍රීඩාංගනය’ යන සාඩම්බර  නම්වර ලැබුවාවූ,කොටු පවුර හා සමනල පාලම අතර බිම් කඩේ නොව ගාලු මහජන ක්‍රීඩාංගනයේදීය.නගරය මැද සියළු දෙනාටම පහසුවෙන් ලඟා විය හැකි තැනක වූ ,නගරය පසුකරගෙනයන සෑම ‍සියළු දෙනාටම වුව නෙතට ගැටෙන ,තමාගේ බස්රිය,දුම්රිය එනතුරු වුවද නැරඹිය හැකි බැවින් ඒ ටික වේලාවට වුවද වැට ළඟ පොදිකමින් එවැනි සිත්ගත් ක්‍රීඩා තරගයන් නැරඹූ පොදු ජනකායක් සතුවූ මහත් සතුටු ක්‍රීඩාංගනයක් විය එය එකළ!ඇත්තටම තමා අගය කිරීමට රැස්වූ මහා පිරිස දැක කුඩා දරුවන් තරග වැදුණේ මහත් අභිමානයකින් බව අත්දැකීමෙන් දනිමු.
ක්‍රීඩා ලෝලයන්ට පමණක් නොව ගාලු  ක්‍රීඩාංගනය ඒ යුගයේදී පොදු ජනතාවගේ සුව සැළසු කෙම්බිමක් විය.රාස්සිගේ අව්ව නිවී යද්දී නගරය අවට පදිංචිකරුවන් තම දරුමල්ලන් ද කැටුව  ක්‍රීඩාංගනයට ඇදෙති.පොඩි එවුන් නිදහසේ පිටි‍යේ දුව පැන සෙල්ලම් කරද්දී මහ අය සතුටු සාමිචියේ යෙදිති.‍‍පෝං! පෝං ගා නලාව මිරිකමින් පොඩි එවුන් ආකර්ශණය කර ගන්නාඅයිස් ක්‍රීම් වෙළෙන්දා,කඩල කාරයා,මිරිස් කුඩු හා ලුණු කුඩු ඉසිනලද අන්නාසි කෑලි ‍විකුණන අන්නාසි වෙළෙන්දා යනාදි සුළු වෙළෙන්දන් බොහෝ පිරිසක් ද ඒ අතර සැරි සරමින් තම ජීවිකාව සරි කර ගනිති.අඳුර දැඩි වද්දී පවුල් පිටින් පැමිණි පිරිස් තම කුටුම්භයන් පෙරළා යද්දී නිදහසේ මධුවිත පිරීමට කැමැත්ත ඇත්තෝ තැන් තැන්වල තප්පලම් දාගෙන සිටිනු පෙනේ.ඉදින් මධ්‍යම රාත්‍රිය වන තුරු ‍ක්‍රීඩාංගනය තුළ ජිවයක් රඟයි.
ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩා පිටියක් කරනු පිණිස නසා දැමුවේ එබඳු සොඳුරු ජීවයකි.එවකට ආණ්ඩුවේ මහා බලවත් ඇමතියෙකු වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණට අවශ්‍ය වී නම් ජාතියේ දරුවන්ට මෙන්ම පොදු ජනතාවට  මෙම සම්පත අහිමි වී යෑම වැලැක්වීමට හැකියාව තිබුණද ඔහු කළේ මෙම විනාශයට උඩගෙඩි දීම පමණකි. එහෙත් හැකි පමණකින් පාපන්දු ලෝලියෙකු ඊට වි‍රෝධය පා තිබුණේ  පාපන්දුව පිටියෙන් එලවා දමා ඉදිකර තිබූ තණ නිල්ලේ තාර ගෑමෙනි!

Published in: on 2018 ජූලි 21 at පෙ.ව. 2:42  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
%d bloggers like this: