මේ යුගයේ අපට දක්නට ලැබෙන දේශපාලඥයින්ගේ කිසිදු ප්‍රතිපත්තියකින් තොර ,සෙවල,ආත්ම වංචනික,දූෂිත,ලැජ්ජා විරහිත ක්‍රියාකලාපයන් හා සංසන්දනය කර බලනා විට 89 අරගලයේ දී දිවි පිදූ එම තරුණ පිරිස කෙතරම් විශිෂ්ට ප්‍රතිපත්ති සහගත හා තම ආත්ම ලාභය තකා නොව හුදෙක් පරහිතකාමය තකාම තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව වුව ක්‍රියා කළ පිරිසක් බව එම වකවානුවේ මරාදමනු ලැබූ අප හා ඇසුරු කළ තරුණ සහෝදර සහෝදරියන්ගේ අදහස් හා ක්‍රියාකලාපයන් පිළිබඳ ඇති අපට ඇති අවබෝධය ඔස්සේම වටහා ගතිමු.මෙකී තරුණ පිරිස තමා මෙහෙයවනු ලබන දේශපාලන ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථක භාවය හෝ එහි වංක අවංක භාවය පිළිබඳ කිසිඳු අවස්ථාවක දෙගිඩියාවකින් නොසිටි අතර , ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් යහපත් හා සාධාරණ සමාජයක් බිහිකිරීමේ ඒකායන අරමුණින් තම ජීවිතය කැප කිරීමට වූවද සුදානම් ව සිටියවුන් වූහ.
89 තරුණ පිරිස පමණක් නොව අප නොහඳුනන මුත් 71 අරගලයේදීත් දිවි කැප කළ දස දහස් ගණනක් වන තරුණ පිරිස මෙන්ම දෙමළ ඊළාම් අරගලයේදී තම දිවි කැප කළ සාමාන්‍ය ද්‍රවිඩ සෙබළු අතරින් බොහෝ දෙනෙකුගේ අරමුණ වන්නට ඇත්තේ ද තම ජීවිත පරිත්‍යාගයෙන් වුව ගොඩනැඟිය හැකි තම ජනතා විමුක්තිය පිළිබඳ පරහිතකාමී අරමුණ වන්නට ඇත.
89 අරගලයේදී අප සමඟ ජීවත් වූ, ගැවසුන, ඇසුරු කළ හා ඇතැම් විට එක හුස්ම පොඳ බෙදා ගත් සහෘදයන් ටයර් සෑයක දැවෙනු දකින විට, මෘත කලේබරයක් සේ ගඟක පාවී යතැයි ඇසෙන විට අප තුළ ඇති වූ කම්පාව හඩ ගා කියන්නට ඕනෑ විය.අසංවේදීව සිටින සමාජය තුළ සංවේදයක් ඇති කිරීමට අපට අවශ්‍ය විය. එකළ කිසිදු ජනප්‍රිය හා ප්‍රසිද්ධ පත්තරයක් අපගේ එකී අදහස් පළ කිරීමට ඉඩක් ලබාදීමේ සුදානමක නොසිටියේය.එබැවින් අපට කළ හැකි පරිදි ,අතේ මිටේ තිබෙන අන්දමට “පත්‍රිකාව” නම් වූ වාර ප්‍රකාශනයක් ගල් අච්චුවේ ගසා(රෝනියෝ කර)මුද්‍රණය කර බෙදා හැරියෙමු.එම කාර්යාවලියේ ඇරඹුමත්,එයට උරදුන් සැටිත්,එහිදී මුහුණ පෑ අභියෝග හා ගල් හා මුල් ගැන සඳහන් කරන්නට ගියහොත් මෙකී ලිපියේ මුඛ්‍ය අරමුණින් බැහැර වන්නට සිදුවන නිසා එහි අප එකළ පළ කල කාව්‍ය සංග්‍රහයක් මෙසේ උපුටා දක්වමි.

මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...