විශිෂ්ට ඇලවිසියානුවෙකුගේ නික්ම යාම!;W.S. උපහාර සටහන

ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එම විද්‍යාලය ආරම්භ කළාවූ ජේසු නිකායික පියතුමන්ලා විසින් එම නම් තබනු ලැබුවේ 16 වන සියවසේදී රෝමයේ ජීවත්ව සිට එකල එහි වාසී ජනතාව දහස් ගණනින් රට පුරා පැතිරුණු දරුණු වසංගත රෝගී තත්වයක් නිසා දුක් විඳ මියයමින් සිටියදී ඇතැම් විට කිසිවෙකුගේ හව් හරණක් නොමැතිව මහමඟ වැටී සිටියදී ඔවුන් නහවා කවා පොවා රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදීමට සලස්වමින් මෙන්ම ඊට සහයවෙමින් අතිශය විඩාබර හා අන්තරායක සේවයක නිරතවෙමින් ජනතා හිත සුව පිණිස වෙහෙසව එම රෝගීන් වෙතින්ම එම වසංගත රෝග තත්වය වැළඳී වයස අවුරුදු අවුරුදු විසි තුනක් වැනි අතිශය භද්‍ර යෞවන වියේදීම මියගිය පසුව ශාන්තුවරයට ඔසවා තැබූ Aloysius Gonzaga සහෝදරතුමන් වෙත උපහාරයක් වනු පිණිසය.

ඇලවිසියානු ආදී ශිෂ්‍යයෙකු වන දයානන්දගේ මුහුණු පොතට එබී බලද්දී දුටු පුවතකින් ඇතිවූ බලවත් කම්පාවක් මෙම ලිපිය ලියන්නට මා පෙළඹවිය.ඒ නම් විශිෂ්ට ඇලවිසියානු මඟ අනුගමනය කළ තවත් සොඳුරු සහෘදයෙකු වන W.S. සිල්වා අයියා අප අතරින් අකාලයේ නික්ම යෑමේ පුවතයි.මේ පුවත දැනගත් විගස ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අප මිත්‍ර දයානන්දට කතා කළ විට ඔහු එම පුවත තහවුරු කළ අතර ඔහු කියූ එක් කරුණකින් W.S. ගේ භූමිකාව අපට විස්තර කළ හැකි බව වැටහේ.එනම් මෙරට දේශපාලඥයන්ට ආදර්ශයක් කරගත හැකි සේවාවක් W.S. වෙතින් රටට ඉටු වූ බවයි.

සැබවින්ම W.S. ගේ චරිතය අතිශය දුර්ලභ ආකාරයේ ආදර්ශමත් එකක් විය.තම කාර්යය සඳහා කැපවීම,එහිදී තමාටම තමා අවංක වීම, බඩගෝස්තරවාදයෙන් මිදීම,සැබෑ පාරාර්ථචාරය එහි දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.

නොදන්නා වුන් සඳහා W.S. සිල්වා පිළිබඳ විස්තර කරන්නේ නම් අප “සිල්වා අයියා” යනුවෙන් හැඳින්වූ හා සමකාලීන මිතුරන් විසින් “W.S. “යනුවෙන් ආමන්ත්‍රණය කළ විජේන්ද්‍ර සිල්වා සිසුවා එක් කලෙක ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සමූහ බාලදක්ෂ කණ්ඩායම් නායකයා විය. 4 වන ගාළු සමූහය(4 th Galle SAC) ලෙස නම්කර තිබූ අප විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම සිල්වා අයියාගේ අවධානයට යොමු වන විට එය බොහෝ කලක් තිස්සේ අකර්මන්‍යව රුවල් බිඳී ගිය නෞකාවක් සේ අරමුණු රහිතව පැවතුණක් විය.සැබවින්ම බාලදක්ෂ කණ්ඩායම භාර ගුරුවරුන් ලෙස නොයෙක් අවස්ථාවල නොයෙක් ගුරුවරු කටයුතු කළද එය හුදෙක් රාජකාරිමය අවශ්‍යතාවයක් ලෙස ඉටුවූවක් වූ අතර විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායමේ ජවය හා යාන්ත්‍රණය වූයේ මෙම W.S.සිල්වා සිසුවාය.

සමකාලීන මිතුරන් මෝස්තර කරද්දී,අසල කොන්වන්ට් එකෙහි කෙල්ලන් පසුපස වහ වැටී දුවද්දී,නිලතල ඔස්සේ හඹා යද්දී ,ඇතැමෙක් අරමුණු සහගතව අධ්‍යාපන කටයුතු වල නිරතව සිටියදී , සිල්වා අයියා විද්‍යාලීය බාලදක්ෂ ව්‍යාපාරයේ අභිවෘද්ධිය පිණිස තම කාලයත් ,ශ්‍රමයත් නොමසුරුව දානය කරමින් සිටියේය.සිල්වා අයියා බාලදක්ෂ කණ්ඩායම භාරව සිටියා පමණක් නොව ඔහුත් සැබවින්ම බාලදක්ෂයෙක් විය. උදාහරණයක් වශයෙන් සෑම බාලදක්ෂයෙකුම සෑම විටම ලේන්සු දෙකක් රැගෙන යාමට පුරුදුව සිටිය යුතුයැයි ඔහු අපට ඉගැන්වූ අතර ඔහුද එය අනුගමනය කළේය.එයින් එකක් තමාගේ ප්‍රයෝජනයට වන අතර අනෙක අනුන්ට උපකාරයක් අවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමටය.පෞද්ගලික ස්වස්ථාව ඔහු මැනවින් සැලකූ අතර පිරිසිදුව හා ප්‍රියමනාපව සිටින ලෙසට එකල හොටු කොල්ලන්ව සිටිය අපව පෙළඹවීය.එපමණක් නොව ඔහුගේ මඟපෙන්වීම යටතේ බාලදක්ෂ කඳවුරු වලට සහභාගී වී බතක් ,මාළුවක් උයා පිහා ගැනීමේ අවබෝධය මෙන්ම,තම නිවස ,කාමරය අතුපතු ගා කුණු හා දුහුවිල්ලෙන් තොරව පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීමේ හැකියාව ඇතිකිරීම හා එය පුරුද්දක් කරගැනීමට, එතුමා ලබාදුන් පුහුණුව කෙතරම් වටී දැයි මට ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් හිදී වටහා ගන්නට ලැබී ඇත.

බාලදක්ෂ ක්‍රියාකාරකම් හා ඈඳුණු වැඩ කටයුතු එකිනෙක සොයා බලමින් හා ඒවා සංවිධානය කිරීමේ කටයුතු වල නිරත වීම නිසා සිල්වා අයියාට සතියේ බොහෝ දිනවල පාසල ඇරුණාටත් පසුවත් පාසලේ තවත් වේලා රැඳී සිටීමට සිදුවිය.එමෙන්ම බාලදක්ෂ පුහුණු පංති පැවැත්වූයේ සෙනසුරාදා දිනවල නිසා සිල්වා අයියා සති අන්ත විවේක දිනයක් ද පාසලේ දරුවන් වෙනුවෙන් කැප කර තිබුණි.ඒ සඳහා සහභාගී වන විට එදින කළ යුතු වැඩසටහන හා බාලදක්ෂ කණ්ඩායම් නායකයන් විසින් කළ යුතු දෑ වෙන වෙනම කුඩා පත්‍රිකා ලෙස ලියා ඒවායේ තැනක කාටුන් රූපයක හිසක් හෝ ඇඳ සිත් ගන්නා ලෙස සකසා, කරන්නන් වාලේ කරන්නක් නොව ඒවා සැලසුම් සහගතව පෙරසූදානමක් ඇතිව කටයුතු කිරීම අපට අදටත් මනසේ ඇඳෙන මනා ආදර්ශයක් විය.එපමණක් නොව දවස් දෙක තුන බාලදක්ෂයින් කැටුව උන්ගේ වගකීම දරමින් දුරබැහැර කඳවුරු ගතව සිටි අතර,සතියක් පමණ කල්ගත කරන්නාවූ ජම්බෝරි වලටද අපව කැටුව යමින් තෙමේද සහභාගී විය.

මෙම ක්‍රියාකරම් වලදී නවක බාලදක්ෂයින්ට දෙවන පෙළින් පළමු පෙළට ඉන් අනතුරුව කොළ රැහැනට(green cord) ඉනික්බිතව ජනාධිපති පදක්කමට හිමිකම් ලැබීමට යනාදී වශයෙන් මඟ පෙන්වන ලද අතර, එහිදී බාලදක්ෂයින් සපුරා ගතයුතු සුදුසුකම් ලබාදෙනු පිණිස ඒ ඒ විෂයයන්හි ප්‍රවීන සම්පත්ධාරීන්ගේ සහායද ඔවුන්ට ලබාදෙන ලදී.ඒ අනුව හෙද නිලධාරීන් කැටුව ඇවිත් ලබාදුන් ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවද,වරක් අපට ඔරු පැදීම පිළිබඳ කුසලතාවය ලබාදෙනු වස් ධීවරයෙකු ලවා මාගාල්ල වරාය අවට මුහුදේදී කොල්ලෑ ඔරුවක ඔරු පැදීමට ඉගෙනගත් ආකාරය මෙන්ම ,සලකුණු ඔස්සේ මඟ සොයා ගැනීම ඉගෙන ගනු පිණිස රූමස්සල කන්ද සිසාරා ගිය දුශ්කර පා ගමන්ද බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ජීවිතයට ලබාගත් වටිනා පාඩම් විය.

අප දන්නා සිල්වා අයියා දුම්පානය හා මත්පැන් පානය නොකළ අයෙකු වන අතර මෙවන් පිරිස් ඇසුරකදී සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට එල්ල වන වෙනත් දුරාචාරී හැසිරීමක් පිළිබඳව අභූත චෝදනාවක් හෝ ඔහු හා සම්බන්ධව කිසිදු බාලදක්ෂයෙකු විසින් පවසනු අසන්නට නොලැබීමම සිල්වා අයියාගේ අවංක අරමුණු ගත හැසිරීමට සාක්ෂි වෙයි.

එසේම සිල්වා අයියා තුළ වූ තවත් වැදගත් දැක්මක් අප හා සම්බන්ධ වන හෙයින් මෙහිදී එය සඳහන් කළ යුතුවම ඇත.එය නම් හොඳ යැයි සම්මත ළමයින් සියයක් දිරිගන්වනවාට වඩා එක් නොමඟ ගිය දරුවෙකු යහමාර්ගයට ගැනීම වඩා වැදගත් මෙහෙයක් බවයි.එබැවින් පාසලේ සිටියාවූ විසේකාර,ගෝරිකාර,අණ්ඩපාල,මගෝඩිකාර කොළු කට්ටියක් වූ අපද කිසිදු වෙනසක් නොමැතිව බාලදක්ෂ කණ්ඩායමට බඳවා ගනිමින් දක්වන ප්‍රගතිය අනුව රැළ උපනායකයින් ,පසුව රැළ නායකයින් යනාදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වගකීම් පවරමින් ස්වයං හැඩගැසීමකට මඟ හෙලි පෙහෙළි කර දුන්නේය.

ඔහුගේ දැක්මේ සාර්ථකත්වය අද අප ලියන මෙම උපහාර සටහනින්ම ප්‍රත්‍යක්ෂ වෙයි.දැඩි කණගාටුවක් දැනෙන්නේ ඔහු ජීවතුන් අතර සිටියදී මෙවැනි සටහනක් ඔහුට දැක ගන්නට ඉඩක් නොලැබීම ගැනය.කෙසේ වුවද ඔහු ගැන මෙවැනි සටහනක් සිල්වා අයියාට කියවන්නට ලැබුණේ නම් ඔහු හහ්! හහ්! හහ් ! යන ආකාරයෙන් සෝපාසාහයෙන් හිනැහී ” මාව මුරුංගා අත්තේ උඩ තියලා තියෙනවා වැඩියි නේ ,මල්ලී “වැනි වදනක් කියන්නට ඉඩ ඇතැයි මට සිතේ.

Advertisements
Published in: on 2019 ජනවාරි 18 at පෙ.ව. 4:36  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: