රෝයල් පාක් මිනීමැරුම හා ජනාධිපති සමාව

විත්තිකරු මහාධිකරණ නඩුව පවතින විටදී ……
විත්තිකරු අභියාචනාකරණ නඩුව පවතින විටදී……..
ශ්‍යාමන්ත සහ ඔහුගේ මව (කුඩා ඡායාරූපයේ මියගිය ඉවොන්)
කැරොලයින් සහ මව

‍‍රෝයල් පාක් මිනීමැරුම් නඩුව ලෙස ප්‍රසිද්ධියට පත් වූ ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් නම් වූ 19 හැවිරිදි වියේ පසුවූ තරුණිය වර්ෂ 2005 ජූලි මස 01 වන දින ඇය වාසය කළාවූ කොළඹ රාජගිරියේ පිහිටි රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ 19වන තට්ටුවේ දී පියගැට පෙළෙහි තදින් ඇන ඇයගේ හිස පොඩිකර මාරාන්තික තුවාල සිදුකරමින්ද ඇය හැඳ සිටි ඇදෙන සුළු රෙද්දකින් නිමවූ දිගු කලිසම මගින් ඇයගේ ගෙල සිරකර ක්ෂණික මරණයක් ඇතිකළා වු ඝාතන සිදුවීම සම්බන්ධ නඩු විභාගය මෙරට මහත් ආන්දෝනයකට තුඩුදුන් අතර එය පුළුල්ව නීති ක්ෂේත්‍රය අරඹයා මෙන්ම, අපරාධ නඩු විමර්ෂණය පිළිබඳව ද නව මානයන් විවෘත කළ නඩුවක් වූ බැවින් ඇතැම් ජනමාධ්‍ය වලින් එය ප්‍රසිද්ධ කරනු ලදුවේ නීති පොත අළුත් කළ නඩුවක් ලෙසිනි.‍‍

ඉවොන් ජොන්සන්ගේ මළ සිරුර වර්ෂ 2005 ජූලි මස 01 වන දින පෙරවරු 9.30 ට පමණ මුලින්ම දැක තිබුණේ උදය කාලයේ දී රෝයල් පාක් නිවාස සංකීර්ණයේ නිවාසයන් කිහිපයක සුළු සුළු මෙහෙවර කර ජීවිකාව උපයාගන්නාවු කම්කරු කාන්තාවක් විසිනි.ඇය එදින තම එක් ස්වාමිදුවක් කියන ලද පණිවිඩයක් තවත් නිවෙසක වෙසෙන ස්වාමිදුවකට කියනු පිණිස මහල් සංකීර්ණයේ පියගැට පෙළ ඔස්සේ ගමන් කරද්දී අඩ අඳුරේ ඇය දැක ඇත්තේ බෝනික්කෙකු පියගැට පෙළෙහි වැටී තිබෙනු ඇති බවයි. නමුත් එකී කාන්තාව ඒ වෙතට සමීපව බලද්දී එය ලේ විලක නැහැවී සිටි අඩ නිරුවත් කාන්තා මළ සිරුරක් බව වටහා ගනිද්දී බලවත් භීතියට පත්ව කෑ ගසා පඩිපෙළෙහි පෙරලී වැටී වැටී දිව ගොස් නිවාස සංකීර්ණයේ කලමනාකරුට දන්වන ලදුව දෙදෙනාම නැවතත් පැමිණ මියගිය තැනැත්තිය හඳුනාගන්නා ලදී.‍‍‍‍

මේ සිදුවීම වැලිකඩ පොලීසියට දන්වන ලදුව වහාම පොලීසිය පැමිණ මූලික විමර්ෂණ කටයුතු අරඹන ලද අතර සිද්ධිය වූ ස්ථානය සුරක්ෂිත කරමින් මෘත දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි තුමා වෙතට යොමු කරන ලදී.එවකට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන ලද M.A.අබේසිංහ මහතා මියගිය තැනැත්තියගේ සිරුරේ තුවාල 48 තිබූ බවත්,ඉන් 6 ක් මාරාන්තික තුවාල බවත් නිරික්ෂණය කරන ලදී.කෙසේ වෙතත් ඇය දුෂණයට ලක්ව නොතිබූ බවත් ,ඇය එදින ඇයගේ මාස් ශුද්ධිය වීම හේතුකොටගෙන ශරීරය තුළ පළදින සනීපාරක්ෂක උපක්‍රමයක් (tampon)පැළඳ සිටි බවත් සොයාගන්නා ලදී.‍‍

කොළඹ ඉහළ ධනවත් පැළැන්තිය තුළ සිදුවූ මෙම මිනීමැරුම මහත් ආන්දෝලනයකට තුඩු දුන් හෙයින් එහි වැඩිදුර විමර්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද අතර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකයෙකුව සිටි වර්තමානයේ එහි ප්‍රධානි ශානි අබේසේකර මහතාට පරීක්ෂණ කටයුතු මෙහෙයවීම භාරවිය.‍මෙම මිනීමැරුම පිළිබඳ ඍජු සාක්ෂි කිසිවක් නොතිබූ අතර,රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පැවති cctv කැමරා ද මාස කිහිපයක් තිස්සේ අක්‍රියව පැවතී තිබුණි.එසේම එකී කැමරා සකසා තිබුණේද නිවාස සංකීර්ණයේ ලොබි පෙදෙස (lobby area) ආවරණය සඳහා පමණි.

මියගිය තැනැත්තිය ඊට දින කිහිපයකට පෙර නිවාස සංකීර්ණයේ සේවය කරන්නාවූ ආරක්ෂක නිළධාරියෙකු හා බහින් බස් වී ඔහුට කම්මුල් පහරක් එල්ල කිරීම නිසා එයට පලිගැනීමක් පිණිස ඇය මෙලෙස සාහසික මරා දමා ඇතැයි රාවයක් පැතිර ගියෙන්, එය පිළිබඳ සොයාබැලීමේදී එවැනි පහරදීමේ සිදුවීමක් පිළිබඳව පවතින කතාව අසත්‍ය පුවතක් යැයි ජොන්සන් පවුලේ අනෙක් එකම දරුවා වූ මියගිය ඉවොන්ගේ නැඟණිය වන කැරොලයින් සාක්ෂි දෙමින් පවසා තිබුණි.‍‍පෙර කී පරිදි මෙම මිනීමැරුමට අදාළ ඍජු සාක්ෂි කිසිවක් නොමැති වූ අතර මරණය ස්ථානය අවට විසිරී තිබී සොයාගත් සියළුම බඩු භාණ්ඩයන් මියගිය තරුණියට අයත් ඒවා ලෙස හඳුනාගන්නා ලදී.‍‍‍‍‍‍

කෙසේ වුවද මියගිය තරුණියගේ සිරුර තිබූ පියගැට පෙළෙහි ලෝහයෙන් නිමවු අත්වැලෙහි සටහන් වි තිබූ ලේ වැකුණු ඇඟිලි සටහනක් වෙත අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ විමර්ෂණය යොමුවිය.ඒ අතර ඉවොන්ගේ මරණයට ආසන්න කාලසීමාව තුළ සිදුවූ ක්‍රියාදාමය කෙරෙහිද පරීක්ෂණයක් දියත් විය.

ඒ අනුව සොයා බැලීමේදි මියගිය තරුණිය ඇමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිට වර්ෂ 2005 ජුනි මස 26 වන මෙරටට පැමිණ සිටියාය.ජූලි මස 30 වන දින ඇයගේ නැඟණියගේ පෙම්වතා වන කොල්ලුපිටියේ පදිංචිව සිටි දොන් ශ්‍යාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන 19 හැවිරිදි තරුණයාට එදින රාත්‍රි සමාජ ශාලාවක් මඟින් සංවිධානය කර තිබූ සාදයක් සඳහා ඇරයුම් ලැබී තිබූ අතර ඔහු තමාගේ අමුත්තෙකු ලෙස සහභාගී වීමට කැරොලයින්ට ද ආරාධනා කළේය.යලිත් විදෙස් ගතවීමට පෙර තම සොහොයුරියටද විනෝද වීමට අවස්ථාවක් දෙනු වස් ඉවෝන් ද එයට කැටුව ඒමට කැරොලයින් තම පෙම්වතාගෙන් අසා සිටි අතර ඔහු ඊට එකඟ විය.එදින රාත්‍රි 8.30 ට පමණ සහෝදරියන් දෙදෙනා තම පියාට අයත් මෝටර් රථයකින්(suzuki vitara)කොල්ලුපිටියට ගොස් ශ්‍යාමන්ත නංවා ගත් අතර රථය පදවන ලද්දේ ඉවෝන් විසිනි.මෙහිදී ශ්‍යාමන්ත තම කාමරයේ යතුර ඔහු දෙතොල් වියලීම වැලැක්වීමට භාවිතා කරන ආලේපනය (Gent’s lip balm )බහා තිබෙන ප්ලාස්ටික් උරයකට දමාගත් අතර එය අතේ රැගෙන යාමට ඔහු අකැමති වූ බැවින් ඉවෝන් රැගෙන ගිය අත්බෑගය තුළ තබාගැනීමට ඇය කටයුතු කළාය.‍තරුණියන්ගේ පියා වූ රොජර් ජොන්සන් මහතා කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ අතර ශ්‍යාමන්තගේ පවුල් පසුබිමද ඊට දෙවෙනි වූයේ නැත. ශ්‍යාමන්තගේ පියා සහ මව දික්කසාදව සිටි අතර මව නැවත විවාහ වී සිටියේ පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා වූද, එවකට ජාත්‍යන්තර සම්බාධක පනවා තිබූ පිළිකුල්සහගත වර්ණභේදවාදී සුදු ජාතික දකුණු අප්‍රිකාවට විශාල මුදල් කුට්ටියක් සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර,විශිෂ්ඨ දඟ පන්දුයවන්නන් වුූ අජිත් ද සිල්වා හා ලලිත් කළුපෙරුම මෙන්ම අති දක්ෂ කඩුලු රකින්නෙකුව සිටි මහේෂ් ගුණතිලක ආදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රාශියක් රැගෙන තරග සංචාරයක් සංවිධානය කරමින් එම කණ්ඩායමේ නායකත්වය දැරූ ටෝනි ඔිපාත සමඟය.‍

මෙලෙස නික්ම ගිය ඉවොන් ,කැරොලයින් හා ශ්‍යාමන්ත යන තිදෙන එදින රාත්‍රිය විවිධ රාත්‍රි සමාජ ශාලාවලට යමින් බකාඩි(Bacardi) ,ටිකිලා(Tequila),කොරෝනා(corona)යන නාමයන් සහිත විවිධ මත්පැන් බොමින් ගතකර ඇත.අවසානයේදී යලිත් ඔවුන් සාදය පැවැත්වුණු ග්ලෝබ් සමාජශාලාව වෙත ගිය අතර එහිදී කැරොලයින් හා එයට ටික කලකට පෙර සබඳතාවයක් පැවැත්වූ තරුණයෙකු සමඟ කථා බස් කරනු දැකීමෙන් කෝපයට පත්වූ ශ්‍යාමන්ත හා කැරොලයින් අතර බහින් බස් වීමක් ඇතිවූ අතර එකී රණ්ඩුව ඉවොන්ගේ මහත් සංතාපයට හේතුවිය.ඇය මෙවැනි සුළු කරුණු නිසා ගැටුම් ඇතිකර ගැනීම ගැන තම නැඟණිය මෙන්ම ශ්‍යාමන්තටද දොස් පැවරුවාය.පසුව කැරොලයින් ඇයට ගෙදර යාමට අවශ්‍ය බව පැවසු අතර ඉවොන් තවත් වේලාවක් සාදයන්හි රැඳී සිටින බව පැවසූ හෙයින් ශ්‍යාමන්ත හා කැරොලයින් කුළී මෝටර් රථයක් ගෙන්වාගෙන පෙරවරු 2.00ට රෝයල් පාක් නිවාස සංකීර්ණයට පිවිසියහ. නිවාස සංකීර්ණයේ 23 වන මහලේ පිහිටි තම නිවසට පැමිණි කැරොලයින් දෙමාපියන්ගේ කමරයට ගොස් තමන් පැමිණි වග දන්වා සිටි අතර ඔවුන් ඉවොන් ගැන විමසා සිටියදී ඇය ද පැමිණි බවට ඔවුන්ට බොරුවක් පවසා සිටියාය.පසුව ඇය ශ්‍යාමන්ත කැටුව තම කාමරයට ගියාය. එම කාමරයේ සිටින අතර ශ්‍යාමන්ත ටැක්සියක් කැඳවීම සඳහා දුරකථන ඇමතුමක් ලබාදුන් අතර,කැරොලයින් විසින් ඉවොන් හා රැඳී සිටි මිතුරියට කථා කර තම අක්කා ගැන තොරතුරු විමසා සිටියාය. අවසාන වශයෙන් කැරොලයින්ට “මම ඔබට හැමදාමත් ආදරෙයි”(“I love you forever”) යනු‍වෙන් පවසා ශ්‍යාමන්ත පෙරවරු 2.30ට පමණ ඇයගේ කාමරයෙන් නික්ම ගියේය.තම මිතුරියක හා රාත්‍රි සාදයේ රැඳී සිටි ඉවොන් පෙරවරු 2.50 ට ඇයගේ රථයෙන් නිවාස සංකීර්ණයට පැමිණි බවට සාක්ෂි තිබුණි.නමුත් නිවසට නොපැමිණි ඉවොන්ගේ මළ සිරුර 19 වන තට්ටුවේ පියගැට පෙළේ තිබියදී පසුව හමුවිය.

ශ්‍යාමන්තගේ කැඳවීම අනුව කුලී රථයක් ගෙන රිල්වාන් නමැති ශ්‍යාමන්තගේ මිත්‍රයෙකු පෙරවරු 3.25 ට නිවාස සංකීර්ණයට පැමිණි අතර පෙරවරු 3.30 ට ශ්‍යාමන්ත කැටුව නික්ම යන ලදී.එසේම සාදයට යද්දී සුදු දිගු කලිසමකින් හා නිල් පැහැති කමීසයකින් සැරසී සිටි ශ්‍යාමන්ත ටැක්සියට ගොඩවන විට හැඳ සිටියේ බොක්සර් කොට කලිසමක් හා කමීසයක් පමණක් වනඅතර දිගු කලිසම දෙකට තුනට නවා අතෙහි රඳවා ගෙන තිබුණි.පසුව පොලිස් විමර්ෂණයේදි සාක්ෂි දුන් ශ්‍යාමන්තගේ නිවසේ සේවිකාවක පවසා සිටියේ තම ස්වාමි දුව( ශ්‍යාමන්තගේ මව)ඇඳුම් වගයක් ගිනි තබනු තමා දුටු බවත් සාමාන්‍යයෙන් එවැනි කුණු පිළිස්සීමක් තමා ලවා කරවනු මිස මීට පෙර තම ස්වාමි දුව එවැනි දෙයක් කරනු ඇය දැක නැති බවයි.‍‍

කෙසේ වෙතත් මීට පෙර සඳහන් කළ ආකාරයට මෙම අපරාධ විමර්ෂණය සඳහා කිසිදු ඍජු සාක්ෂියක් (direct evidence)නොතැබූ බැවින් අපරාධකරු සොයාගැනීම සඳහා සම්පූර්ණයෙන්ම පර්වේශනීය සාක්ෂි (circumstantial evidence)මත රඳා පවතින බව අපරාධ පර්යේක්ෂකයන්ට පෙනී ගියේය.

ඇඟිලි සටහන් විද්‍යාඥයින්ට අනුව මෙලොව ජනගහනය තුළ සමාන ඇඟිලි සටහන් ඇති දෙදෙනෙකු සිටිය නොහැක.සර්ව සම නිවුන් දරුවන්ගේ DNA රටාව පවා සමාන විය හැකි වුවද එවැන්නන්ගේ වුවද ඇඟිලි සලකුණු කිසිසේත්ම සමාන නොවේ.එය එතරම් අසමාන(unique) වන අතර ස්ථිර ද (එනම් උපතේ සිට මරණය දක්වා වෙනස් නොවන සුළු) වේ.‍මෙම ඇඟිලි සටහන් සාක්ෂි වල ඇති ප්‍රභලතාවය පෙන්වා දෙන හා එය මෙරට අධිකරණය මනාව අදාළ කරගත් ලාංකික නඩුවක් වශයෙන් 1932 අප්‍රේල් මස 23 වන දින ඩෝල්ටන් විනිසුරු තුමා තීරණය කරන ලද King v. Logus(69 NLR 34)නඩු තීන්දුව හැඳින්විය හැකිය.එකී නඩු තීරණට අනුව යම් විත්තිකරුවෙකු තම ඇඟිලි සටහන අපරාධ ස්ථානයක සටහන් වූයේ කෙසේ දැයි සැකයකින් තොරව සාධාරණ හේතු සහිතව අධිකරණයට ඔප්පු කිරීමට අපොහොසත් වුව හොත් ඔහු එම වරද කළ තැනැත්තා හෝ වරද කළ පිරිසෙන් කෙනෙකු බවට නිගමනය කළ හැකි අතර,එම සාක්ෂිය පමණක් පදනම් කරගෙන දඬුවම් නියම කළ හැකිය.ඉවොන්ගේ මරා දමා තිබූ ස්ථානය අසල පියගැට අත්පෙළෙහි තිබු ලේ වැකුණු අත්ල සටහන කෙරෙහි අපරාධ පර්යේෂක නිලධාරීන්ගේ සුවිශේෂී අවධානය යොමු වූයේ එබැවිනි.

වහා එම අත්ල සටහනෙහි පිටපත් ලබාගත් අපරාධ පර්යේෂක නිලධාරීන් එය ඉවොන්ගේ මරණයෙන් පසුව දක්නට ලැබුණු සැකකටයුතු හැසිරීම නිසා ඒවන විට අත්අඩංගුවට ගෙන තිබු ශ්‍යාමන්තගේ ඇඟිලි සටහන් හා සසඳා බැලීමට ඇඟිලි සටහන් විමර්ෂකයන් වෙත යවනු ලදුව ඔවුන් අපරාධ පර්යේෂණ නිලධාරීන් වෙත වාර්තා කරනු ලදුවේ එම අපරාධ ස්ථානයේ තිබී හමුවූ ඇඟිලි සටහන් හා සැකකාර ශ්‍යාමන්තගේ ඇඟිලි සටහන් හා මනාව සැසඳෙන බවයි.මෙහිදී CID නිළධාරීන්ට විසඳා ගත යුතු තවත් ගැටළුවක් විය.එනම් එකී අත්ල සටහන් මත තැවරී තිබූ ලේ කාගේද යන්නය.අපරාධ පර්යේෂණ නිලධාරීන්ට ඒ සඳහා සහාය වූයේ එවකට ශ්‍රී ලංකාවට නවමු ජීව විද්‍යාත්මක විශ්ලේෂණ ශිල්ප ක්‍රමයක් වූ DNA තාක්ෂණයයි.එකී DNA පරීක්ෂණ සඳහා තාක්ෂණික ආයතනයක් පිහිටුවන ලද්දේ වර්ෂ 2002 වසරේදීයි.ඒ ආචාර්ය මායා ගුණසේකර මැතිණියගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ ජින්ටෙක් ආයතනයයි.පසුව එතුමිය අපරාධ ස්ථානයට පැමිණ අත්ල සටහන් වල තැවරී තිබූ රුධිරයේ සාම්පල DNA පරීක්ෂාව සඳහා ලබාගන්නා ලදී.මෙම අපරාධ පරීක්ෂණය වෙනුවෙන් එම විද්‍යාඥවරියගේ කැපවීම මනාව පෙනී යන නිදසුනක් වන්නේ මෙම නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වූ 2006 වසර වන විට ඇය දැඩි ලෙස ගිලන්ව සිටි අතර එතුමිය අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේ හතර දෙනෙකු ඔසවා ගෙන පැමිණි ගිලන් ඇඳක් මත සිටය.එසේම සාක්ෂි ලබාදී දින කිහිපයකට පසුව එතුමිය අභාවප්‍රාප්ත වූවාය. මෙම නඩුවට අදාළ DNA විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් එම විද්‍යාඥවරිය කියා සිටියේ ශ්‍යාමන්තගේ අත්ලේ තැවරී තිබුණේ ඉවෝන්ගේ රුධිරය බවයි. ස්විඩන් ජාතික පියෙකුට හා ශ්‍රී ලාංකික මවකට උපන් තවත් සර්ව සම නිවුන් සහෝදරියක හෝ සහෝදරයෙකු හෝ නොසිටි ඉවොන්ගේ DNA රටාව හා වෙනත් අයෙකුගේ DNA රටාව ගැලපීමට ඇති සම්භාවිතාව මෙලොව ජනගහනය මෙන් තුන්ගුණයකටත් වඩා වැඩි විය හැකි බව ද ඇය කියා සිටියාය.

මේ ආකාරයට ගොනු කළ නඩුවේ ශ්‍යාමන්ත වෙනුවෙන් පෙනී සිටින ලද ජනාධිපති නීතිඥයින් ඇතුළු නීතිඥ මණ්ඩලයට කළ යුතුව තිබුණේ ඉවොන්ගේ රුධිරය වැකුණු අත්ල සටහන ශ්‍යාමන්තගේ නොවිය හැකි බවට සාධාරණ සැකයක් ඇති බව අධිකරණයට ඒත්තු ගැන්වීමයි.‍

මෙලෙස අපරාධ විමර්ෂණය නව මානයන් ඔස්සේ සිදුවන අතර අධිකරණ ක්‍රියාවලිය ද නව මානයන් ඔස්සේ ක්‍රියාත්මක වීම සිදුවෙනු දැකිය හැකි විය.ඒ අනුව අපරාධ නඩුවක කාර්ය පටිපාටිය සඳහන් වන්නාවූ මෙරට අපරාධ නඩු විධාන සංග්‍රහයේ (අ.න.වි.ස./CCP) 142 හා 145 වගන්ති වලට අනුව අධිකරණ සංවිධාන පනතේ(1978 අංක 02) 2වන උපලේඛණයේ සඳහන් වැරදි අතුරෙන් 2ක් වන මිනීමැරීම හා මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ වරදක් වන විට චුදිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ මහේස්ත්‍රාත්වරයා විසින් ලඝු නොවන පරීක්ෂණයක් (non summary) පැවැත්විය යුතුය.එකී ලඝු නොවන පරීක්ෂණයේදී ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණක් නඩුව මහාධිකරණයට යොමුකරන අතර, ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් විත්තිකරු නිදහස් කිරීම සිදුවේ.නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහය කෙරෙහි සංශෝධනයක් ගෙන එන ලද 2005 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට අනුව 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 2වන උපලේඛණයේ දක්වා ඇති වරදක් සිදුකිරීමට අදාළව,බරපතළ අවස්ථානුගත කරුණු හෝ මහජන නොසන්සුන්තාවයක් පැන නඟින අවස්ථානුගත කරුණු ඇති අවස්ථාවක NS එකක් නොපවත්වා කෙලින්ම අධිචෝදනා පත්‍ර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට හැකියාව ලැබේ. ඒ අනුව එම විධිවිධානය මෙරට නඩු කෘත්‍යයක් සඳහා අදාළ කරගත් ප්‍රථම අවස්ථාව වශයෙන් මෙම රෝයල් පාක් මිනිමැරුමට අදාල නඩුව අධිකරණ ඉතිහාසයේ සඳහන් වේ.‍

මේ අනුව කොළඹ මහාධිකරණයේදී විනිසුරු අයි.එම්.අබේරත්න මහතා වසරක පමණ කාලයක් තිස්සේ නඩුවාර 55 ක් පමණ කැඳවමින් විභාග කළ මේ නඩුව පැමිණිල්ලේ මෙන්ම විත්තියේ තර්ක විතර්ක වලින් පිරීගිය ඉතා උණුසුම් ආකාරයකින් පැවැත්වුණු එකක් විය.වරෙක පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥතුමන් අසා සිට ඇත්තේ මෙම නඩුවේ සඳහන් ලේ වැකුණු ඇඟිලි සටහන සහිත අත්වැලේ කොටස කපා ගෙන විත් අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්ද යනුවෙනි.මෙම ප්‍රශ්ණයට එවකට රහස් පොලිස් පරීක්ෂකයෙකුව සිටි ශානි අබේසේකර මහතා දුන් පිළිතුරෙන් උරණ වූ ජනාධිපති නීතිඥතුමා එවැනි පිළිතුරක් ලබාදීම අධිකරණයට කරන ලද අපහාසයකැයි ගරු අධිකරණයට පැමිණිලි කරන ලදී.මේ හැරෙන්නට අධිකරණය ඉදිරියේ සාක්ෂි නොදෙන ලෙසට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුට තර්ජන හා බලපෑම් කලැයි යන චෝදනා මත ශ්‍යාමන්තගේ මව වූ සැන්ඩ්‍රා ජෙනිෆර් මේරි ජයමහ මහත්මිය හා සුළු පියා වූ ටෝනි ඕපාත යන අය ද අධිකරණයට පමුණුවනු ලදී.

වර්ෂ 2006 ජූලි මස 28 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු තුමන් විසින් විත්තිකාර ශ්‍යාමන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සඳහා (culpable homicide) වැරදිකරු කරමින් බරපතල වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කරමින් ලබාදුන් තීන්දුව පැමිණිල්ලේ මෙන්ම විත්ති පාර්ශවයේ අතෘප්තියට හේතුවිය.

මෙම නඩුව සාක්ෂි  කැඳවීමකින් තොරවම ඉවත දැමිය යුතු යැයි ඉල්ලා සිටි විත්ති පාර්ශවයේ නීතිඥයින් විසින් මෙන්ම එකී මහාධිකරණ තීන්දුවෙන් අතෘප්තියට පත් වූ පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිපති ‍වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා (වර්තමානයේ අග්‍රවිනිශ්චකාර ධූරය දරන) විසින් ද තීන්දුවට එරෙහිව අභියාචන දෙකක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.පැමිණිල්ල මෙහිදී තම අභියාචනය මඟින් අයැද සිටියේ විත්තිකරු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට නොව මිනීමැරීම යන වරදට වැරදිකරු කරමින් ද.නී.සං. 297 වගන්තිය යටතේ මරණීය දණ්ඩනය පමුණුවනු ලෙසත්ය.එබැවින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ  331 වගන්තිය යටතේ මහාධිකරණය මඟින් දුන් දණ්ඩනයකට වඩා වැඩි දණ්ඩනයක් පමුණුවන ලෙසට මෙරට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එවැනි ආකාරයේ නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවට විත්ති අභියාචක (accused appellant) වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විරෝධතා ඉදිරිපත් කළ ද ,අප හා සමාන නීති සම්ප්‍රදායක් පවතින ඉන්දියාවේ දී ,එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලද නඩු තීන්දු ද සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා විසින් ගෙන එන ලද අභියාචනයද පිළිගෙන  C.A. 303 / 2006  හා C.A.L.A. 321/ 06 යන එකී අභියාචන  දෙකම එකවිට සලකා බලමින් නඩු විභාගය  අරඹන ලදී.

ඩබ්ලිව්.එල් .රංජිත් පෙරේරා විනිසුරු තුමන් හා නලීන් පෙරේරා විනිසුරු තුමන් (පසුව අගවිනිසුරු ධුරය හොබවන ලද)යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු මෙම නඩුව මෙරට අධිකරණ ඉතිහාසයේ සංධිස්ථානයක් සටහන් කරන්නක් විය.එසේම පොදුවේ ගත් කළ මෙරට සාක්ෂි නීතිය විශේෂයෙන් විශේෂඥයින්ගේ මත,විත්තිකරු විත්ති කුඩුවේ සිට දෙනු ලබන සාක්ෂි(dock statement),මෙන්ම සාපරාධි වගකීම බැහැර කෙරෙන ව්‍යතිරේක අවස්ථාවක් වන මත්වීම යන විත්ති වාචකය දැක්වෙන ද.නී.ස. 78 හා 79  වගන්ති පිළිබඳ පුළුල් විමසුමකට ලක් කෙරෙන  අතර මෙරට හා විදේශිය නඩු තීරණ 35 කට වඩා උපුටා දක්වමින් ද ලියැවී ඇති මෙම නඩු තීන්දුව නීතිඥයින්,නීති ශිෂ්‍යයින් මෙන්ම නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකු වුවද කියවා බැලිය යුතුව ඇති මනා දැනුම් සම්භාරයක් පිරි ලියවිල්ලක් ලෙස දැක්විය හැකිය. විත්ති අභියාචකගේ අභියාවනය ඉවත දමන අතර පැමිණිල්ලේ අභියාචනයට ඉඩදෙමින් අභියාචනාධිකරණය 2012 ජූලි මස 11 වන දින තම තීන්දුව ප්‍රකාශ කරනු ලද්දේ මෙරට අභියාචනාධිකරණයක්  විසින් පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දුන් ප්‍රථම අවස්ථාව බවට සනිටුහන් කරමිනි.

පසුව මෙම අභියාචනාධිකරණ තීන්දුව ගැන ද අතෘප්තියට පත් විත්ති පාර්ශවය මෙම  අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙසට ඉල්ලා මෙරට උපරිමාධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන සලීම් මර්ෂුෆ්,කේ.ශ්‍රී පවන් හා සත්‍යා හෙට්ටිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර 2013 ඔක්තෝම්බර් 22 වන දින තම තීරණය ලබාදුනි.ඒ අනුව විත්ති අභියාචකගේ අභියාචනය ඉවත දමමින් අපරාධ නඩු විභාග සංග්‍රහයේ 285(1) වගන්තිය ප්‍රකාර ජනාධිපතිවරයා නියම කරන ලද දිනයක දී හා ස්ථානයක දී විත්තිකරුගේ  ප්‍රාණය නිරුද්ධ වන තුරු ගෙල එල්ලා තැබිය යුතුය යන  අභියාචනාධිකරණයෙන් පැනවූ දණ්ඩණය තහවුරු කරනු ලැබීය.

                        ඉදින් එසේ අහවර වූ මෙම සිදුවීම නැවත ගොඩගෙන යළිත් සාකච්ඡාවට බඳුන්වන්නේ ඇයි? එයට අප පෙළඹවූ හේතු වූයේ ගරු ජනාධිපති තුමා සෝෂල් මීඩියා නැතහොත් සමාජ ජාලා යන නමින් හඳුන්වන අන්තර්ජාල පුවත් අඩවි තුළ පළකර තිබූ ප්‍රවෘත්තියක් දැකීමෙනි.එයින් එකක් වූ http://www.helabima.lk යන IP ලිපිනය යටතේ ප්‍රකාශ වන “හෙළබිම”යන පුවත් අඩවියේ සඳහන් වී තිබුණේ මෙබන්දකි, “රණවිරුවන්ට නැති ජනපති සමාව කෝටිපති මීනීමරුවෙකුට”

(http://www.helabima.lk/read.php?as=16776).

එසේම sinhala.lankahitgossip.com යන ගොසිප් පුවත් අඩවියේ එම පුවතම පළකර තිබුණේ “පෝරකයට නියමවූ ‘රෝයල් පාක්‌’ විත්තිකරුට ජනපති සමාවෙන් ජීවිතාන්ත සිර දඬුවම්” (http://sinhala.lankahitgossip.com/2016/05/26/sharman-jude-relesed-from-death-panelty-on-vesak-royal-park-murder/) යන ආකාරයටය.එසේම එය අසත්‍යයකැයි ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් එම පුවත් ප්‍රතික්ෂේප වී නොමැති බවද ,අදටත් එම පුවත් එම අඩවි වල නිරුපද්‍රිතව පවතින බවද  අපගේ මෙම ලියවිල්ලට හේතු විය.

(විශේෂ ස්තුතිය -නෛතික කාර්යයන් උදෙසා මනාසේ ඉවහල් වන්නාවූ වෝහාරික විද්‍යාව වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ වැඩමුළු සංවිධානය කරන්නාවූ කාලිංග ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ සංගමයට )

Published in: on 2019 ජූලි 6 at පෙ.ව. 10:54  Comments (1)  
%d bloggers like this: