
සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් මියුසික් බෑන්ඩ් එක අප මුලින්ම සජීවී ලෙස දුටු දින තාමත් මතකය.ඒ එක්දහස් නමසිය අසූ ගණන් වල මැද හරියේ අපි පැඟිරි කොල්ලන්ව සිටි සමයේදී ය. ඒ දවස්වල ගාල්ලේ සංඝමිත්තා බාලිකාවේ “නිල් දිය රැල්” නමින් කානිවල් එකක් වාර්ෂිකව පැවැත්තුවා. ‘අන්න කානිවල්’ ඒවාට තමයි කානිවල් කියන්නේ.කොන්වන්ට් එකෙනුත් මොකද්ද ඉංග්‍රීසි නමක් දමපු කානිවල් එකක් පැවැත්වුව නමුත් අපට ඒවා එච්චර දිරෙව්වේ නැත.මොකද කිවුවොත් සිස්ටර් කොල්ලන් දෙස බලන්නේ පොලීසිය හොරුන් දෙස බලන ආකාරයටය.අනිත් එක මොකක් හෝ මගෝඩි වැඩක් වුන විට එය පැටවෙන්නේ අල්ලපු ඉස්කොලේ අපි පිටය.එවැනි විටෙක සිස්ටර් ඇතුළු ගුරු මණ්ඩලයම “ඕක කරන්නේ ඇත්තේ කොලේජ් එකේ ළමයි තමයි, අපි දැක්කා ඒ කට්ටියක් ඔය හරියේ ඉන්නවා ……..” යැයි එක හඬින් කියා සිටිති.(ඇත්ත වශයෙන්ම ඒ ගෞරවනීය ආචාර්යතුමියන්ලාගේ උපකල්පනය බොහෝ අවස්ථාවලදී බොහෝ දුරට නිවැරැදි වූ බව අප අවංකව පිළිගත යුතුය.)ඉතින් නිල් දියරැල් එකට ආපහු ගියහොත් මට මතක හැටියට එය දින හතක් විතර එක දිගට පැවැත්වෙනවා.උදේ සිට හවස් වන තෙක් පාසල් ප්‍රදර්ශනය ,රෑට මියුසිකල් ෂෝ එක.එහි එක දිනයක තමයි සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් ආවේ.ඇත්තටම ඒ දවස්වල ජිප්සීස් කියන නමත් අමුතුයි “ජිප්සීස් ; අහිගුණ්ඨිකයෝ…..!“. අපි අහලා තිබුණේ මූන්ස්ටෝන්ස් ,ගෝල්ඩන් චයිම්ස්,සියැක් වගේ බෑන්ඩ්.
ප්ලේ කරද්දී අනිත් බෑන්ඩ් වගේ නෙමෙයි ජිප්සීස්ලගේ විශේෂත්වයක් තිබුණා.කොළඹදී තනිකරම ඉංග්‍රීසි සින්දු කිව්ව ජිප්සීස්ලා කොළඹින් පිටදී ඉංග්‍රීසි සින්දුවක් හා සිංහල සින්දුවක් මාරුවෙන් මාරුවට කිව්වා. අපි BONEY-M, ABBA,BEE GEES,UB 40, PET SHOP BOYS,QUEEN වගේ බෑන්ඩ් වල සින්දු වගේම බොබ් මාලේ,Stevie Wonder,ලයනල් රිචී,බ්‍රයන් ඇඩම්ස් ,Elton Jhon,Boy George වගේ Sole Singers ලගේ සින්දුත් අහන්න පටන්ගත්තා.Boney-M ලගේ By The Rivers of Babylon ,Rasputin වගේ සින්දු ජිප්සීස්ලා කියනවා අහලා ඇතිවනු ආසාවට අපි ඒ සින්දු වල Originals සොයාගෙන ගියා.ඒවායේ lyrics කියවන්නට පටන්ගත්තා.ඒ සින්දුවල පසුබිම හොයාගන්න ඉංග්‍රීසි පත්තර,සඟරා ,පොත් වැඩි වැඩියෙන් කියවන්නට පටන්ගත්තා.එතකොට එක අවස්ථාවකදී මම දකිනවා By The Rivers of Babylon කියන ගීතයේ නිර්මාණය කරලා තියෙන්නේ HOLY BIBLE (ශුද්ධ වූ බයිබලය) එකේ එන පසම් ගීයක් එසේ නැත්නම් ලතෝනී ගීතයක් ආශ්‍රයෙන් බව.එහි එන ඇතැම් දරුණු පද සියුම් ලෙස කිසිදු ජාතියක සිත් නොරිදන සේ වෙනස් කරලා.ඒ පසම් ගීතයෙන් විස්තර කරන්නේ පොරොන්දු දේශයේ නැතිනම් යුදෙව් රාජ්‍යයේ එසේත් නැත්නම් නූතන ඊශ්‍රාලයේ උපත ගැන.Rusputin ගැන කියවද්දී රුසියාවේ සාර් රජවරු ගැන,රාජකීය වෛද්‍යවරු ගැන සොයන්න පෙළඹුනා.ඒකෙන් ඕනෑම රටක ඉන්න පුළුවන් රජා රවටන් ඉන්න කපටි රාජකීය වෙද්දු,මෑණිවරු ගැන දැනුමක් සොයාගත්තා.ඒ වගේම Scorpions බෑන්ඩ් එක ඒ අයගේ “Winds of Change” කියන පදමාලාවේ එන “Follow the Moskva,Down to the Gorky Park…………….”වචන ඔස්සේ ගිහිල්ලා පෙරස්ත්‍රොයිකාවෙන් සිදුවුනු සමාජ පෙරලිය බර්ලින් තාප්පය බිඳවැටීම,ලෝක බල තුලනය වෙනස්වීම මේ විදියට ගීතයකින් ගයන ආකාරය ගැන පුදුම හිතුණා.
මේ විදියට කියන්න ගියොත් ගොඩයි.බොබ් මාලේගේ Buffalo Solder වගේම Get Up; Stand up වගේ ගීත වලින් කියන Black Americans ලගේ පරම්පරා කථාව.අප්‍රිකාවේ පවුල් වලින් පැහැරගෙන යුරෝපයට ගෙනත් විකුණපු කළු මිනිස්සුගේ ඉරණම. මේ ගීතවල කොච්චර ගැඹුරක් තියෙනවද?ලෝකය කොපමණ විශාලද?එතකොට තමයි තේරුම් යන්නේ දැන් හැදෙන සිංහල සින්දුවලට සිද්ධ වෙලා තියෙන දෙය.අහලා බලන්න ඒ සින්දු ඔක්කොගෙම තියෙන්නේ එකම සීමිත සිදුවීම් කිහිපයක්. අතලොස්සක් වූ වචන ගණනකින් පොල්ලෙන් දමලා ගැහුවා වගේ කෙලින්ම කියලා දාන හැටි අහන්න.අඩුගණනේ වචනයකට තියෙන තවත් සමාන පද ගැනවත් සොයාබැලීමක් නෑ.ඒකෙන් වැටහෙන්නේ මේ සින්දු රචකයන් හරියට සිංහල ඉගෙනගෙන නෑ.කිසිම සාහිත්‍යයක් කියවලා නෑ.ලෝකේ රටේ ඇවිදලා නෑ.නිකමටවත් අකුරු තියෙන පොතක් කියවන්න උනන්දුවක් නෑ.අඩුගණනේ හරි හමන් මිනිස්සු එක්ක කථාබහක හරි යෙදිලා නෑ.ඉතින් ඒ සින්දු ඇහෙනකොට මතක් වෙන්නේ ඉස්සර මලගෙවල්වල කියවපු ශෝක ප්‍රකාශ කවි.සමාජ මාධ්‍යයක තැනක කියලා තිබුණ විදියට ,ගෑණුන්ට කරන යාදිනි…………!.
ඉතින් සුනිල් පෙරේරාට මම ස්තුති කරන්නේ ඔබතුමා එක්තරා කාලයකදී ශ්‍රී ලාංකික මධ්‍යම පාංතික තරුණයන්ට මේ දූපතෙන් එහා තිබුණු ලෝකයක් සංගීත කලාව ඔස්සේ පෙන්වා දුන් කලාකරුවෙක් වූ නිසයි.මට ඔහු ගැන කියන්න ඇත්තේ එපමණයි.මම මතක තියාගෙන ඉන්නෙත් එච්චරයි.
සුනිල් පෙරේරා මහතාගේ ආත්මයට සුගතියක් ම සිදුවේවා !