රෝයල් පාක් මිනීමැරුම හා ජනාධිපති සමාව

විත්තිකරු මහාධිකරණ නඩුව පවතින විටදී ……
විත්තිකරු අභියාචනාකරණ නඩුව පවතින විටදී……..
ශ්‍යාමන්ත සහ ඔහුගේ මව (කුඩා ඡායාරූපයේ මියගිය ඉවොන්)
කැරොලයින් සහ මව

‍‍රෝයල් පාක් මිනීමැරුම් නඩුව ලෙස ප්‍රසිද්ධියට පත් වූ ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් නම් වූ 19 හැවිරිදි වියේ පසුවූ තරුණිය වර්ෂ 2005 ජූලි මස 01 වන දින ඇය වාසය කළාවූ කොළඹ රාජගිරියේ පිහිටි රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ 19වන තට්ටුවේ දී පියගැට පෙළෙහි තදින් ඇන ඇයගේ හිස පොඩිකර මාරාන්තික තුවාල සිදුකරමින්ද ඇය හැඳ සිටි ඇදෙන සුළු රෙද්දකින් නිමවූ දිගු කලිසම මගින් ඇයගේ ගෙල සිරකර ක්ෂණික මරණයක් ඇතිකළා වු ඝාතන සිදුවීම සම්බන්ධ නඩු විභාගය මෙරට මහත් ආන්දෝනයකට තුඩුදුන් අතර එය පුළුල්ව නීති ක්ෂේත්‍රය අරඹයා මෙන්ම, අපරාධ නඩු විමර්ෂණය පිළිබඳව ද නව මානයන් විවෘත කළ නඩුවක් වූ බැවින් ඇතැම් ජනමාධ්‍ය වලින් එය ප්‍රසිද්ධ කරනු ලදුවේ නීති පොත අළුත් කළ නඩුවක් ලෙසිනි.‍‍

ඉවොන් ජොන්සන්ගේ මළ සිරුර වර්ෂ 2005 ජූලි මස 01 වන දින පෙරවරු 9.30 ට පමණ මුලින්ම දැක තිබුණේ උදය කාලයේ දී රෝයල් පාක් නිවාස සංකීර්ණයේ නිවාසයන් කිහිපයක සුළු සුළු මෙහෙවර කර ජීවිකාව උපයාගන්නාවු කම්කරු කාන්තාවක් විසිනි.ඇය එදින තම එක් ස්වාමිදුවක් කියන ලද පණිවිඩයක් තවත් නිවෙසක වෙසෙන ස්වාමිදුවකට කියනු පිණිස මහල් සංකීර්ණයේ පියගැට පෙළ ඔස්සේ ගමන් කරද්දී අඩ අඳුරේ ඇය දැක ඇත්තේ බෝනික්කෙකු පියගැට පෙළෙහි වැටී තිබෙනු ඇති බවයි. නමුත් එකී කාන්තාව ඒ වෙතට සමීපව බලද්දී එය ලේ විලක නැහැවී සිටි අඩ නිරුවත් කාන්තා මළ සිරුරක් බව වටහා ගනිද්දී බලවත් භීතියට පත්ව කෑ ගසා පඩිපෙළෙහි පෙරලී වැටී වැටී දිව ගොස් නිවාස සංකීර්ණයේ කලමනාකරුට දන්වන ලදුව දෙදෙනාම නැවතත් පැමිණ මියගිය තැනැත්තිය හඳුනාගන්නා ලදී.‍‍‍‍

මේ සිදුවීම වැලිකඩ පොලීසියට දන්වන ලදුව වහාම පොලීසිය පැමිණ මූලික විමර්ෂණ කටයුතු අරඹන ලද අතර සිද්ධිය වූ ස්ථානය සුරක්ෂිත කරමින් මෘත දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි තුමා වෙතට යොමු කරන ලදී.එවකට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන ලද M.A.අබේසිංහ මහතා මියගිය තැනැත්තියගේ සිරුරේ තුවාල 48 තිබූ බවත්,ඉන් 6 ක් මාරාන්තික තුවාල බවත් නිරික්ෂණය කරන ලදී.කෙසේ වෙතත් ඇය දුෂණයට ලක්ව නොතිබූ බවත් ,ඇය එදින ඇයගේ මාස් ශුද්ධිය වීම හේතුකොටගෙන ශරීරය තුළ පළදින සනීපාරක්ෂක උපක්‍රමයක් (tampon)පැළඳ සිටි බවත් සොයාගන්නා ලදී.‍‍

කොළඹ ඉහළ ධනවත් පැළැන්තිය තුළ සිදුවූ මෙම මිනීමැරුම මහත් ආන්දෝලනයකට තුඩු දුන් හෙයින් එහි වැඩිදුර විමර්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද අතර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකයෙකුව සිටි වර්තමානයේ එහි ප්‍රධානි ශානි අබේසේකර මහතාට පරීක්ෂණ කටයුතු මෙහෙයවීම භාරවිය.‍මෙම මිනීමැරුම පිළිබඳ ඍජු සාක්ෂි කිසිවක් නොතිබූ අතර,රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පැවති cctv කැමරා ද මාස කිහිපයක් තිස්සේ අක්‍රියව පැවතී තිබුණි.එසේම එකී කැමරා සකසා තිබුණේද නිවාස සංකීර්ණයේ ලොබි පෙදෙස (lobby area) ආවරණය සඳහා පමණි.

මියගිය තැනැත්තිය ඊට දින කිහිපයකට පෙර නිවාස සංකීර්ණයේ සේවය කරන්නාවූ ආරක්ෂක නිළධාරියෙකු හා බහින් බස් වී ඔහුට කම්මුල් පහරක් එල්ල කිරීම නිසා එයට පලිගැනීමක් පිණිස ඇය මෙලෙස සාහසික මරා දමා ඇතැයි රාවයක් පැතිර ගියෙන්, එය පිළිබඳ සොයාබැලීමේදී එවැනි පහරදීමේ සිදුවීමක් පිළිබඳව පවතින කතාව අසත්‍ය පුවතක් යැයි ජොන්සන් පවුලේ අනෙක් එකම දරුවා වූ මියගිය ඉවොන්ගේ නැඟණිය වන කැරොලයින් සාක්ෂි දෙමින් පවසා තිබුණි.‍‍පෙර කී පරිදි මෙම මිනීමැරුමට අදාළ ඍජු සාක්ෂි කිසිවක් නොමැති වූ අතර මරණය ස්ථානය අවට විසිරී තිබී සොයාගත් සියළුම බඩු භාණ්ඩයන් මියගිය තරුණියට අයත් ඒවා ලෙස හඳුනාගන්නා ලදී.‍‍‍‍‍‍

කෙසේ වුවද මියගිය තරුණියගේ සිරුර තිබූ පියගැට පෙළෙහි ලෝහයෙන් නිමවු අත්වැලෙහි සටහන් වි තිබූ ලේ වැකුණු ඇඟිලි සටහනක් වෙත අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ විමර්ෂණය යොමුවිය.ඒ අතර ඉවොන්ගේ මරණයට ආසන්න කාලසීමාව තුළ සිදුවූ ක්‍රියාදාමය කෙරෙහිද පරීක්ෂණයක් දියත් විය.

ඒ අනුව සොයා බැලීමේදි මියගිය තරුණිය ඇමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිට වර්ෂ 2005 ජුනි මස 26 වන මෙරටට පැමිණ සිටියාය.ජූලි මස 30 වන දින ඇයගේ නැඟණියගේ පෙම්වතා වන කොල්ලුපිටියේ පදිංචිව සිටි දොන් ශ්‍යාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන 19 හැවිරිදි තරුණයාට එදින රාත්‍රි සමාජ ශාලාවක් මඟින් සංවිධානය කර තිබූ සාදයක් සඳහා ඇරයුම් ලැබී තිබූ අතර ඔහු තමාගේ අමුත්තෙකු ලෙස සහභාගී වීමට කැරොලයින්ට ද ආරාධනා කළේය.යලිත් විදෙස් ගතවීමට පෙර තම සොහොයුරියටද විනෝද වීමට අවස්ථාවක් දෙනු වස් ඉවෝන් ද එයට කැටුව ඒමට කැරොලයින් තම පෙම්වතාගෙන් අසා සිටි අතර ඔහු ඊට එකඟ විය.එදින රාත්‍රි 8.30 ට පමණ සහෝදරියන් දෙදෙනා තම පියාට අයත් මෝටර් රථයකින්(suzuki vitara)කොල්ලුපිටියට ගොස් ශ්‍යාමන්ත නංවා ගත් අතර රථය පදවන ලද්දේ ඉවෝන් විසිනි.මෙහිදී ශ්‍යාමන්ත තම කාමරයේ යතුර ඔහු දෙතොල් වියලීම වැලැක්වීමට භාවිතා කරන ආලේපනය (Gent’s lip balm )බහා තිබෙන ප්ලාස්ටික් උරයකට දමාගත් අතර එය අතේ රැගෙන යාමට ඔහු අකැමති වූ බැවින් ඉවෝන් රැගෙන ගිය අත්බෑගය තුළ තබාගැනීමට ඇය කටයුතු කළාය.‍තරුණියන්ගේ පියා වූ රොජර් ජොන්සන් මහතා කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ අතර ශ්‍යාමන්තගේ පවුල් පසුබිමද ඊට දෙවෙනි වූයේ නැත. ශ්‍යාමන්තගේ පියා සහ මව දික්කසාදව සිටි අතර මව නැවත විවාහ වී සිටියේ පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා වූද, එවකට ජාත්‍යන්තර සම්බාධක පනවා තිබූ පිළිකුල්සහගත වර්ණභේදවාදී සුදු ජාතික දකුණු අප්‍රිකාවට විශාල මුදල් කුට්ටියක් සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර,විශිෂ්ඨ දඟ පන්දුයවන්නන් වුූ අජිත් ද සිල්වා හා ලලිත් කළුපෙරුම මෙන්ම අති දක්ෂ කඩුලු රකින්නෙකුව සිටි මහේෂ් ගුණතිලක ආදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රාශියක් රැගෙන තරග සංචාරයක් සංවිධානය කරමින් එම කණ්ඩායමේ නායකත්වය දැරූ ටෝනි ඔිපාත සමඟය.‍

මෙලෙස නික්ම ගිය ඉවොන් ,කැරොලයින් හා ශ්‍යාමන්ත යන තිදෙන එදින රාත්‍රිය විවිධ රාත්‍රි සමාජ ශාලාවලට යමින් බකාඩි(Bacardi) ,ටිකිලා(Tequila),කොරෝනා(corona)යන නාමයන් සහිත විවිධ මත්පැන් බොමින් ගතකර ඇත.අවසානයේදී යලිත් ඔවුන් සාදය පැවැත්වුණු ග්ලෝබ් සමාජශාලාව වෙත ගිය අතර එහිදී කැරොලයින් හා එයට ටික කලකට පෙර සබඳතාවයක් පැවැත්වූ තරුණයෙකු සමඟ කථා බස් කරනු දැකීමෙන් කෝපයට පත්වූ ශ්‍යාමන්ත හා කැරොලයින් අතර බහින් බස් වීමක් ඇතිවූ අතර එකී රණ්ඩුව ඉවොන්ගේ මහත් සංතාපයට හේතුවිය.ඇය මෙවැනි සුළු කරුණු නිසා ගැටුම් ඇතිකර ගැනීම ගැන තම නැඟණිය මෙන්ම ශ්‍යාමන්තටද දොස් පැවරුවාය.පසුව කැරොලයින් ඇයට ගෙදර යාමට අවශ්‍ය බව පැවසු අතර ඉවොන් තවත් වේලාවක් සාදයන්හි රැඳී සිටින බව පැවසූ හෙයින් ශ්‍යාමන්ත හා කැරොලයින් කුළී මෝටර් රථයක් ගෙන්වාගෙන පෙරවරු 2.00ට රෝයල් පාක් නිවාස සංකීර්ණයට පිවිසියහ. නිවාස සංකීර්ණයේ 23 වන මහලේ පිහිටි තම නිවසට පැමිණි කැරොලයින් දෙමාපියන්ගේ කමරයට ගොස් තමන් පැමිණි වග දන්වා සිටි අතර ඔවුන් ඉවොන් ගැන විමසා සිටියදී ඇය ද පැමිණි බවට ඔවුන්ට බොරුවක් පවසා සිටියාය.පසුව ඇය ශ්‍යාමන්ත කැටුව තම කාමරයට ගියාය. එම කාමරයේ සිටින අතර ශ්‍යාමන්ත ටැක්සියක් කැඳවීම සඳහා දුරකථන ඇමතුමක් ලබාදුන් අතර,කැරොලයින් විසින් ඉවොන් හා රැඳී සිටි මිතුරියට කථා කර තම අක්කා ගැන තොරතුරු විමසා සිටියාය. අවසාන වශයෙන් කැරොලයින්ට “මම ඔබට හැමදාමත් ආදරෙයි”(“I love you forever”) යනු‍වෙන් පවසා ශ්‍යාමන්ත පෙරවරු 2.30ට පමණ ඇයගේ කාමරයෙන් නික්ම ගියේය.තම මිතුරියක හා රාත්‍රි සාදයේ රැඳී සිටි ඉවොන් පෙරවරු 2.50 ට ඇයගේ රථයෙන් නිවාස සංකීර්ණයට පැමිණි බවට සාක්ෂි තිබුණි.නමුත් නිවසට නොපැමිණි ඉවොන්ගේ මළ සිරුර 19 වන තට්ටුවේ පියගැට පෙළේ තිබියදී පසුව හමුවිය.

ශ්‍යාමන්තගේ කැඳවීම අනුව කුලී රථයක් ගෙන රිල්වාන් නමැති ශ්‍යාමන්තගේ මිත්‍රයෙකු පෙරවරු 3.25 ට නිවාස සංකීර්ණයට පැමිණි අතර පෙරවරු 3.30 ට ශ්‍යාමන්ත කැටුව නික්ම යන ලදී.එසේම සාදයට යද්දී සුදු දිගු කලිසමකින් හා නිල් පැහැති කමීසයකින් සැරසී සිටි ශ්‍යාමන්ත ටැක්සියට ගොඩවන විට හැඳ සිටියේ බොක්සර් කොට කලිසමක් හා කමීසයක් පමණක් වනඅතර දිගු කලිසම දෙකට තුනට නවා අතෙහි රඳවා ගෙන තිබුණි.පසුව පොලිස් විමර්ෂණයේදි සාක්ෂි දුන් ශ්‍යාමන්තගේ නිවසේ සේවිකාවක පවසා සිටියේ තම ස්වාමි දුව( ශ්‍යාමන්තගේ මව)ඇඳුම් වගයක් ගිනි තබනු තමා දුටු බවත් සාමාන්‍යයෙන් එවැනි කුණු පිළිස්සීමක් තමා ලවා කරවනු මිස මීට පෙර තම ස්වාමි දුව එවැනි දෙයක් කරනු ඇය දැක නැති බවයි.‍‍

කෙසේ වෙතත් මීට පෙර සඳහන් කළ ආකාරයට මෙම අපරාධ විමර්ෂණය සඳහා කිසිදු ඍජු සාක්ෂියක් (direct evidence)නොතැබූ බැවින් අපරාධකරු සොයාගැනීම සඳහා සම්පූර්ණයෙන්ම පර්වේශනීය සාක්ෂි (circumstantial evidence)මත රඳා පවතින බව අපරාධ පර්යේක්ෂකයන්ට පෙනී ගියේය.

ඇඟිලි සටහන් විද්‍යාඥයින්ට අනුව මෙලොව ජනගහනය තුළ සමාන ඇඟිලි සටහන් ඇති දෙදෙනෙකු සිටිය නොහැක.සර්ව සම නිවුන් දරුවන්ගේ DNA රටාව පවා සමාන විය හැකි වුවද එවැන්නන්ගේ වුවද ඇඟිලි සලකුණු කිසිසේත්ම සමාන නොවේ.එය එතරම් අසමාන(unique) වන අතර ස්ථිර ද (එනම් උපතේ සිට මරණය දක්වා වෙනස් නොවන සුළු) වේ.‍මෙම ඇඟිලි සටහන් සාක්ෂි වල ඇති ප්‍රභලතාවය පෙන්වා දෙන හා එය මෙරට අධිකරණය මනාව අදාළ කරගත් ලාංකික නඩුවක් වශයෙන් 1932 අප්‍රේල් මස 23 වන දින ඩෝල්ටන් විනිසුරු තුමා තීරණය කරන ලද King v. Logus(69 NLR 34)නඩු තීන්දුව හැඳින්විය හැකිය.එකී නඩු තීරණට අනුව යම් විත්තිකරුවෙකු තම ඇඟිලි සටහන අපරාධ ස්ථානයක සටහන් වූයේ කෙසේ දැයි සැකයකින් තොරව සාධාරණ හේතු සහිතව අධිකරණයට ඔප්පු කිරීමට අපොහොසත් වුව හොත් ඔහු එම වරද කළ තැනැත්තා හෝ වරද කළ පිරිසෙන් කෙනෙකු බවට නිගමනය කළ හැකි අතර,එම සාක්ෂිය පමණක් පදනම් කරගෙන දඬුවම් නියම කළ හැකිය.ඉවොන්ගේ මරා දමා තිබූ ස්ථානය අසල පියගැට අත්පෙළෙහි තිබු ලේ වැකුණු අත්ල සටහන කෙරෙහි අපරාධ පර්යේෂක නිලධාරීන්ගේ සුවිශේෂී අවධානය යොමු වූයේ එබැවිනි.

වහා එම අත්ල සටහනෙහි පිටපත් ලබාගත් අපරාධ පර්යේෂක නිලධාරීන් එය ඉවොන්ගේ මරණයෙන් පසුව දක්නට ලැබුණු සැකකටයුතු හැසිරීම නිසා ඒවන විට අත්අඩංගුවට ගෙන තිබු ශ්‍යාමන්තගේ ඇඟිලි සටහන් හා සසඳා බැලීමට ඇඟිලි සටහන් විමර්ෂකයන් වෙත යවනු ලදුව ඔවුන් අපරාධ පර්යේෂණ නිලධාරීන් වෙත වාර්තා කරනු ලදුවේ එම අපරාධ ස්ථානයේ තිබී හමුවූ ඇඟිලි සටහන් හා සැකකාර ශ්‍යාමන්තගේ ඇඟිලි සටහන් හා මනාව සැසඳෙන බවයි.මෙහිදී CID නිළධාරීන්ට විසඳා ගත යුතු තවත් ගැටළුවක් විය.එනම් එකී අත්ල සටහන් මත තැවරී තිබූ ලේ කාගේද යන්නය.අපරාධ පර්යේෂණ නිලධාරීන්ට ඒ සඳහා සහාය වූයේ එවකට ශ්‍රී ලංකාවට නවමු ජීව විද්‍යාත්මක විශ්ලේෂණ ශිල්ප ක්‍රමයක් වූ DNA තාක්ෂණයයි.එකී DNA පරීක්ෂණ සඳහා තාක්ෂණික ආයතනයක් පිහිටුවන ලද්දේ වර්ෂ 2002 වසරේදීයි.ඒ ආචාර්ය මායා ගුණසේකර මැතිණියගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ ජින්ටෙක් ආයතනයයි.පසුව එතුමිය අපරාධ ස්ථානයට පැමිණ අත්ල සටහන් වල තැවරී තිබූ රුධිරයේ සාම්පල DNA පරීක්ෂාව සඳහා ලබාගන්නා ලදී.මෙම අපරාධ පරීක්ෂණය වෙනුවෙන් එම විද්‍යාඥවරියගේ කැපවීම මනාව පෙනී යන නිදසුනක් වන්නේ මෙම නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වූ 2006 වසර වන විට ඇය දැඩි ලෙස ගිලන්ව සිටි අතර එතුමිය අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේ හතර දෙනෙකු ඔසවා ගෙන පැමිණි ගිලන් ඇඳක් මත සිටය.එසේම සාක්ෂි ලබාදී දින කිහිපයකට පසුව එතුමිය අභාවප්‍රාප්ත වූවාය. මෙම නඩුවට අදාළ DNA විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් එම විද්‍යාඥවරිය කියා සිටියේ ශ්‍යාමන්තගේ අත්ලේ තැවරී තිබුණේ ඉවෝන්ගේ රුධිරය බවයි. ස්විඩන් ජාතික පියෙකුට හා ශ්‍රී ලාංකික මවකට උපන් තවත් සර්ව සම නිවුන් සහෝදරියක හෝ සහෝදරයෙකු හෝ නොසිටි ඉවොන්ගේ DNA රටාව හා වෙනත් අයෙකුගේ DNA රටාව ගැලපීමට ඇති සම්භාවිතාව මෙලොව ජනගහනය මෙන් තුන්ගුණයකටත් වඩා වැඩි විය හැකි බව ද ඇය කියා සිටියාය.

මේ ආකාරයට ගොනු කළ නඩුවේ ශ්‍යාමන්ත වෙනුවෙන් පෙනී සිටින ලද ජනාධිපති නීතිඥයින් ඇතුළු නීතිඥ මණ්ඩලයට කළ යුතුව තිබුණේ ඉවොන්ගේ රුධිරය වැකුණු අත්ල සටහන ශ්‍යාමන්තගේ නොවිය හැකි බවට සාධාරණ සැකයක් ඇති බව අධිකරණයට ඒත්තු ගැන්වීමයි.‍

මෙලෙස අපරාධ විමර්ෂණය නව මානයන් ඔස්සේ සිදුවන අතර අධිකරණ ක්‍රියාවලිය ද නව මානයන් ඔස්සේ ක්‍රියාත්මක වීම සිදුවෙනු දැකිය හැකි විය.ඒ අනුව අපරාධ නඩුවක කාර්ය පටිපාටිය සඳහන් වන්නාවූ මෙරට අපරාධ නඩු විධාන සංග්‍රහයේ (අ.න.වි.ස./CCP) 142 හා 145 වගන්ති වලට අනුව අධිකරණ සංවිධාන පනතේ(1978 අංක 02) 2වන උපලේඛණයේ සඳහන් වැරදි අතුරෙන් 2ක් වන මිනීමැරීම හා මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ වරදක් වන විට චුදිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ මහේස්ත්‍රාත්වරයා විසින් ලඝු නොවන පරීක්ෂණයක් (non summary) පැවැත්විය යුතුය.එකී ලඝු නොවන පරීක්ෂණයේදී ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණක් නඩුව මහාධිකරණයට යොමුකරන අතර, ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් විත්තිකරු නිදහස් කිරීම සිදුවේ.නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහය කෙරෙහි සංශෝධනයක් ගෙන එන ලද 2005 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට අනුව 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 2වන උපලේඛණයේ දක්වා ඇති වරදක් සිදුකිරීමට අදාළව,බරපතළ අවස්ථානුගත කරුණු හෝ මහජන නොසන්සුන්තාවයක් පැන නඟින අවස්ථානුගත කරුණු ඇති අවස්ථාවක NS එකක් නොපවත්වා කෙලින්ම අධිචෝදනා පත්‍ර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට හැකියාව ලැබේ. ඒ අනුව එම විධිවිධානය මෙරට නඩු කෘත්‍යයක් සඳහා අදාළ කරගත් ප්‍රථම අවස්ථාව වශයෙන් මෙම රෝයල් පාක් මිනිමැරුමට අදාල නඩුව අධිකරණ ඉතිහාසයේ සඳහන් වේ.‍

මේ අනුව කොළඹ මහාධිකරණයේදී විනිසුරු අයි.එම්.අබේරත්න මහතා වසරක පමණ කාලයක් තිස්සේ නඩුවාර 55 ක් පමණ කැඳවමින් විභාග කළ මේ නඩුව පැමිණිල්ලේ මෙන්ම විත්තියේ තර්ක විතර්ක වලින් පිරීගිය ඉතා උණුසුම් ආකාරයකින් පැවැත්වුණු එකක් විය.වරෙක පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥතුමන් අසා සිට ඇත්තේ මෙම නඩුවේ සඳහන් ලේ වැකුණු ඇඟිලි සටහන සහිත අත්වැලේ කොටස කපා ගෙන විත් අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්ද යනුවෙනි.මෙම ප්‍රශ්ණයට එවකට රහස් පොලිස් පරීක්ෂකයෙකුව සිටි ශානි අබේසේකර මහතා දුන් පිළිතුරෙන් උරණ වූ ජනාධිපති නීතිඥතුමා එවැනි පිළිතුරක් ලබාදීම අධිකරණයට කරන ලද අපහාසයකැයි ගරු අධිකරණයට පැමිණිලි කරන ලදී.මේ හැරෙන්නට අධිකරණය ඉදිරියේ සාක්ෂි නොදෙන ලෙසට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුට තර්ජන හා බලපෑම් කලැයි යන චෝදනා මත ශ්‍යාමන්තගේ මව වූ සැන්ඩ්‍රා ජෙනිෆර් මේරි ජයමහ මහත්මිය හා සුළු පියා වූ ටෝනි ඕපාත යන අය ද අධිකරණයට පමුණුවනු ලදී.

වර්ෂ 2006 ජූලි මස 28 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු තුමන් විසින් විත්තිකාර ශ්‍යාමන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සඳහා (culpable homicide) වැරදිකරු කරමින් බරපතල වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කරමින් ලබාදුන් තීන්දුව පැමිණිල්ලේ මෙන්ම විත්ති පාර්ශවයේ අතෘප්තියට හේතුවිය.

මෙම නඩුව සාක්ෂි  කැඳවීමකින් තොරවම ඉවත දැමිය යුතු යැයි ඉල්ලා සිටි විත්ති පාර්ශවයේ නීතිඥයින් විසින් මෙන්ම එකී මහාධිකරණ තීන්දුවෙන් අතෘප්තියට පත් වූ පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිපති ‍වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා (වර්තමානයේ අග්‍රවිනිශ්චකාර ධූරය දරන) විසින් ද තීන්දුවට එරෙහිව අභියාචන දෙකක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.පැමිණිල්ල මෙහිදී තම අභියාචනය මඟින් අයැද සිටියේ විත්තිකරු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට නොව මිනීමැරීම යන වරදට වැරදිකරු කරමින් ද.නී.සං. 297 වගන්තිය යටතේ මරණීය දණ්ඩනය පමුණුවනු ලෙසත්ය.එබැවින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ  331 වගන්තිය යටතේ මහාධිකරණය මඟින් දුන් දණ්ඩනයකට වඩා වැඩි දණ්ඩනයක් පමුණුවන ලෙසට මෙරට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එවැනි ආකාරයේ නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවට විත්ති අභියාචක (accused appellant) වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විරෝධතා ඉදිරිපත් කළ ද ,අප හා සමාන නීති සම්ප්‍රදායක් පවතින ඉන්දියාවේ දී ,එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලද නඩු තීන්දු ද සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා විසින් ගෙන එන ලද අභියාචනයද පිළිගෙන  C.A. 303 / 2006  හා C.A.L.A. 321/ 06 යන එකී අභියාචන  දෙකම එකවිට සලකා බලමින් නඩු විභාගය  අරඹන ලදී.

ඩබ්ලිව්.එල් .රංජිත් පෙරේරා විනිසුරු තුමන් හා නලීන් පෙරේරා විනිසුරු තුමන් (පසුව අගවිනිසුරු ධුරය හොබවන ලද)යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු මෙම නඩුව මෙරට අධිකරණ ඉතිහාසයේ සංධිස්ථානයක් සටහන් කරන්නක් විය.එසේම පොදුවේ ගත් කළ මෙරට සාක්ෂි නීතිය විශේෂයෙන් විශේෂඥයින්ගේ මත,විත්තිකරු විත්ති කුඩුවේ සිට දෙනු ලබන සාක්ෂි(dock statement),මෙන්ම සාපරාධි වගකීම බැහැර කෙරෙන ව්‍යතිරේක අවස්ථාවක් වන මත්වීම යන විත්ති වාචකය දැක්වෙන ද.නී.ස. 78 හා 79  වගන්ති පිළිබඳ පුළුල් විමසුමකට ලක් කෙරෙන  අතර මෙරට හා විදේශිය නඩු තීරණ 35 කට වඩා උපුටා දක්වමින් ද ලියැවී ඇති මෙම නඩු තීන්දුව නීතිඥයින්,නීති ශිෂ්‍යයින් මෙන්ම නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකු වුවද කියවා බැලිය යුතුව ඇති මනා දැනුම් සම්භාරයක් පිරි ලියවිල්ලක් ලෙස දැක්විය හැකිය. විත්ති අභියාචකගේ අභියාවනය ඉවත දමන අතර පැමිණිල්ලේ අභියාචනයට ඉඩදෙමින් අභියාචනාධිකරණය 2012 ජූලි මස 11 වන දින තම තීන්දුව ප්‍රකාශ කරනු ලද්දේ මෙරට අභියාචනාධිකරණයක්  විසින් පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දුන් ප්‍රථම අවස්ථාව බවට සනිටුහන් කරමිනි.

පසුව මෙම අභියාචනාධිකරණ තීන්දුව ගැන ද අතෘප්තියට පත් විත්ති පාර්ශවය මෙම  අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙසට ඉල්ලා මෙරට උපරිමාධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන සලීම් මර්ෂුෆ්,කේ.ශ්‍රී පවන් හා සත්‍යා හෙට්ටිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර 2013 ඔක්තෝම්බර් 22 වන දින තම තීරණය ලබාදුනි.ඒ අනුව විත්ති අභියාචකගේ අභියාචනය ඉවත දමමින් අපරාධ නඩු විභාග සංග්‍රහයේ 285(1) වගන්තිය ප්‍රකාර ජනාධිපතිවරයා නියම කරන ලද දිනයක දී හා ස්ථානයක දී විත්තිකරුගේ  ප්‍රාණය නිරුද්ධ වන තුරු ගෙල එල්ලා තැබිය යුතුය යන  අභියාචනාධිකරණයෙන් පැනවූ දණ්ඩණය තහවුරු කරනු ලැබීය.

                        ඉදින් එසේ අහවර වූ මෙම සිදුවීම නැවත ගොඩගෙන යළිත් සාකච්ඡාවට බඳුන්වන්නේ ඇයි? එයට අප පෙළඹවූ හේතු වූයේ ගරු ජනාධිපති තුමා සෝෂල් මීඩියා නැතහොත් සමාජ ජාලා යන නමින් හඳුන්වන අන්තර්ජාල පුවත් අඩවි තුළ පළකර තිබූ ප්‍රවෘත්තියක් දැකීමෙනි.එයින් එකක් වූ http://www.helabima.lk යන IP ලිපිනය යටතේ ප්‍රකාශ වන “හෙළබිම”යන පුවත් අඩවියේ සඳහන් වී තිබුණේ මෙබන්දකි, “රණවිරුවන්ට නැති ජනපති සමාව කෝටිපති මීනීමරුවෙකුට”

(http://www.helabima.lk/read.php?as=16776).

එසේම sinhala.lankahitgossip.com යන ගොසිප් පුවත් අඩවියේ එම පුවතම පළකර තිබුණේ “පෝරකයට නියමවූ ‘රෝයල් පාක්‌’ විත්තිකරුට ජනපති සමාවෙන් ජීවිතාන්ත සිර දඬුවම්” (http://sinhala.lankahitgossip.com/2016/05/26/sharman-jude-relesed-from-death-panelty-on-vesak-royal-park-murder/) යන ආකාරයටය.එසේම එය අසත්‍යයකැයි ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් එම පුවත් ප්‍රතික්ෂේප වී නොමැති බවද ,අදටත් එම පුවත් එම අඩවි වල නිරුපද්‍රිතව පවතින බවද  අපගේ මෙම ලියවිල්ලට හේතු විය.

(විශේෂ ස්තුතිය -නෛතික කාර්යයන් උදෙසා මනාසේ ඉවහල් වන්නාවූ වෝහාරික විද්‍යාව වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ වැඩමුළු සංවිධානය කරන්නාවූ කාලිංග ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ සංගමයට )

Advertisements
Published in: on 2019 ජූලි 6 at පෙ.ව. 10:54  Comments (1)  

ගුරුවරයෙකුගේ නික්ම යාම (පද්‍ය)

Published in: on 2019 ජූනි 2 at පෙ.ව. 6:03  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

ඒ පාස්කු ඉරිදාව , තවත් පාස්කු සිකුරාදාවකි !

Published in: on 2019 අප්‍රේල් 24 at පෙ.ව. 1:59  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

විශිෂ්ට ඇලවිසියානුවෙකුගේ නික්ම යාම!;W.S. උපහාර සටහන

ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එම විද්‍යාලය ආරම්භ කළාවූ ජේසු නිකායික පියතුමන්ලා විසින් එම නම් තබනු ලැබුවේ 16 වන සියවසේදී රෝමයේ ජීවත්ව සිට එකල එහි වාසී ජනතාව දහස් ගණනින් රට පුරා පැතිරුණු දරුණු වසංගත රෝගී තත්වයක් නිසා දුක් විඳ මියයමින් සිටියදී ඇතැම් විට කිසිවෙකුගේ හව් හරණක් නොමැතිව මහමඟ වැටී සිටියදී ඔවුන් නහවා කවා පොවා රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදීමට සලස්වමින් මෙන්ම ඊට සහයවෙමින් අතිශය විඩාබර හා අන්තරායක සේවයක නිරතවෙමින් ජනතා හිත සුව පිණිස වෙහෙසව එම රෝගීන් වෙතින්ම එම වසංගත රෝග තත්වය වැළඳී වයස අවුරුදු අවුරුදු විසි තුනක් වැනි අතිශය භද්‍ර යෞවන වියේදීම මියගිය පසුව ශාන්තුවරයට ඔසවා තැබූ Aloysius Gonzaga සහෝදරතුමන් වෙත උපහාරයක් වනු පිණිසය.

ඇලවිසියානු ආදී ශිෂ්‍යයෙකු වන දයානන්දගේ මුහුණු පොතට එබී බලද්දී දුටු පුවතකින් ඇතිවූ බලවත් කම්පාවක් මෙම ලිපිය ලියන්නට මා පෙළඹවිය.ඒ නම් විශිෂ්ට ඇලවිසියානු මඟ අනුගමනය කළ තවත් සොඳුරු සහෘදයෙකු වන W.S. සිල්වා අයියා අප අතරින් අකාලයේ නික්ම යෑමේ පුවතයි.මේ පුවත දැනගත් විගස ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අප මිත්‍ර දයානන්දට කතා කළ විට ඔහු එම පුවත තහවුරු කළ අතර ඔහු කියූ එක් කරුණකින් W.S. ගේ භූමිකාව අපට විස්තර කළ හැකි බව වැටහේ.එනම් මෙරට දේශපාලඥයන්ට ආදර්ශයක් කරගත හැකි සේවාවක් W.S. වෙතින් රටට ඉටු වූ බවයි.

සැබවින්ම W.S. ගේ චරිතය අතිශය දුර්ලභ ආකාරයේ ආදර්ශමත් එකක් විය.තම කාර්යය සඳහා කැපවීම,එහිදී තමාටම තමා අවංක වීම, බඩගෝස්තරවාදයෙන් මිදීම,සැබෑ පාරාර්ථචාරය එහි දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.

නොදන්නා වුන් සඳහා W.S. සිල්වා පිළිබඳ විස්තර කරන්නේ නම් අප “සිල්වා අයියා” යනුවෙන් හැඳින්වූ හා සමකාලීන මිතුරන් විසින් “W.S. “යනුවෙන් ආමන්ත්‍රණය කළ විජේන්ද්‍ර සිල්වා සිසුවා එක් කලෙක ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සමූහ බාලදක්ෂ කණ්ඩායම් නායකයා විය. 4 වන ගාළු සමූහය(4 th Galle SAC) ලෙස නම්කර තිබූ අප විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම සිල්වා අයියාගේ අවධානයට යොමු වන විට එය බොහෝ කලක් තිස්සේ අකර්මන්‍යව රුවල් බිඳී ගිය නෞකාවක් සේ අරමුණු රහිතව පැවතුණක් විය.සැබවින්ම බාලදක්ෂ කණ්ඩායම භාර ගුරුවරුන් ලෙස නොයෙක් අවස්ථාවල නොයෙක් ගුරුවරු කටයුතු කළද එය හුදෙක් රාජකාරිමය අවශ්‍යතාවයක් ලෙස ඉටුවූවක් වූ අතර විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායමේ ජවය හා යාන්ත්‍රණය වූයේ මෙම W.S.සිල්වා සිසුවාය.

සමකාලීන මිතුරන් මෝස්තර කරද්දී,අසල කොන්වන්ට් එකෙහි කෙල්ලන් පසුපස වහ වැටී දුවද්දී,නිලතල ඔස්සේ හඹා යද්දී ,ඇතැමෙක් අරමුණු සහගතව අධ්‍යාපන කටයුතු වල නිරතව සිටියදී , සිල්වා අයියා විද්‍යාලීය බාලදක්ෂ ව්‍යාපාරයේ අභිවෘද්ධිය පිණිස තම කාලයත් ,ශ්‍රමයත් නොමසුරුව දානය කරමින් සිටියේය.සිල්වා අයියා බාලදක්ෂ කණ්ඩායම භාරව සිටියා පමණක් නොව ඔහුත් සැබවින්ම බාලදක්ෂයෙක් විය. උදාහරණයක් වශයෙන් සෑම බාලදක්ෂයෙකුම සෑම විටම ලේන්සු දෙකක් රැගෙන යාමට පුරුදුව සිටිය යුතුයැයි ඔහු අපට ඉගැන්වූ අතර ඔහුද එය අනුගමනය කළේය.එයින් එකක් තමාගේ ප්‍රයෝජනයට වන අතර අනෙක අනුන්ට උපකාරයක් අවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමටය.පෞද්ගලික ස්වස්ථාව ඔහු මැනවින් සැලකූ අතර පිරිසිදුව හා ප්‍රියමනාපව සිටින ලෙසට එකල හොටු කොල්ලන්ව සිටිය අපව පෙළඹවීය.එපමණක් නොව ඔහුගේ මඟපෙන්වීම යටතේ බාලදක්ෂ කඳවුරු වලට සහභාගී වී බතක් ,මාළුවක් උයා පිහා ගැනීමේ අවබෝධය මෙන්ම,තම නිවස ,කාමරය අතුපතු ගා කුණු හා දුහුවිල්ලෙන් තොරව පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීමේ හැකියාව ඇතිකිරීම හා එය පුරුද්දක් කරගැනීමට, එතුමා ලබාදුන් පුහුණුව කෙතරම් වටී දැයි මට ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් හිදී වටහා ගන්නට ලැබී ඇත.

බාලදක්ෂ ක්‍රියාකාරකම් හා ඈඳුණු වැඩ කටයුතු එකිනෙක සොයා බලමින් හා ඒවා සංවිධානය කිරීමේ කටයුතු වල නිරත වීම නිසා සිල්වා අයියාට සතියේ බොහෝ දිනවල පාසල ඇරුණාටත් පසුවත් පාසලේ තවත් වේලා රැඳී සිටීමට සිදුවිය.එමෙන්ම බාලදක්ෂ පුහුණු පංති පැවැත්වූයේ සෙනසුරාදා දිනවල නිසා සිල්වා අයියා සති අන්ත විවේක දිනයක් ද පාසලේ දරුවන් වෙනුවෙන් කැප කර තිබුණි.ඒ සඳහා සහභාගී වන විට එදින කළ යුතු වැඩසටහන හා බාලදක්ෂ කණ්ඩායම් නායකයන් විසින් කළ යුතු දෑ වෙන වෙනම කුඩා පත්‍රිකා ලෙස ලියා ඒවායේ තැනක කාටුන් රූපයක හිසක් හෝ ඇඳ සිත් ගන්නා ලෙස සකසා, කරන්නන් වාලේ කරන්නක් නොව ඒවා සැලසුම් සහගතව පෙරසූදානමක් ඇතිව කටයුතු කිරීම අපට අදටත් මනසේ ඇඳෙන මනා ආදර්ශයක් විය.එපමණක් නොව දවස් දෙක තුන බාලදක්ෂයින් කැටුව උන්ගේ වගකීම දරමින් දුරබැහැර කඳවුරු ගතව සිටි අතර,සතියක් පමණ කල්ගත කරන්නාවූ ජම්බෝරි වලටද අපව කැටුව යමින් තෙමේද සහභාගී විය.

මෙම ක්‍රියාකරම් වලදී නවක බාලදක්ෂයින්ට දෙවන පෙළින් පළමු පෙළට ඉන් අනතුරුව කොළ රැහැනට(green cord) ඉනික්බිතව ජනාධිපති පදක්කමට හිමිකම් ලැබීමට යනාදී වශයෙන් මඟ පෙන්වන ලද අතර, එහිදී බාලදක්ෂයින් සපුරා ගතයුතු සුදුසුකම් ලබාදෙනු පිණිස ඒ ඒ විෂයයන්හි ප්‍රවීන සම්පත්ධාරීන්ගේ සහායද ඔවුන්ට ලබාදෙන ලදී.ඒ අනුව හෙද නිලධාරීන් කැටුව ඇවිත් ලබාදුන් ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවද,වරක් අපට ඔරු පැදීම පිළිබඳ කුසලතාවය ලබාදෙනු වස් ධීවරයෙකු ලවා මාගාල්ල වරාය අවට මුහුදේදී කොල්ලෑ ඔරුවක ඔරු පැදීමට ඉගෙනගත් ආකාරය මෙන්ම ,සලකුණු ඔස්සේ මඟ සොයා ගැනීම ඉගෙන ගනු පිණිස රූමස්සල කන්ද සිසාරා ගිය දුශ්කර පා ගමන්ද බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ජීවිතයට ලබාගත් වටිනා පාඩම් විය.

අප දන්නා සිල්වා අයියා දුම්පානය හා මත්පැන් පානය නොකළ අයෙකු වන අතර මෙවන් පිරිස් ඇසුරකදී සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට එල්ල වන වෙනත් දුරාචාරී හැසිරීමක් පිළිබඳව අභූත චෝදනාවක් හෝ ඔහු හා සම්බන්ධව කිසිදු බාලදක්ෂයෙකු විසින් පවසනු අසන්නට නොලැබීමම සිල්වා අයියාගේ අවංක අරමුණු ගත හැසිරීමට සාක්ෂි වෙයි.

එසේම සිල්වා අයියා තුළ වූ තවත් වැදගත් දැක්මක් අප හා සම්බන්ධ වන හෙයින් මෙහිදී එය සඳහන් කළ යුතුවම ඇත.එය නම් හොඳ යැයි සම්මත ළමයින් සියයක් දිරිගන්වනවාට වඩා එක් නොමඟ ගිය දරුවෙකු යහමාර්ගයට ගැනීම වඩා වැදගත් මෙහෙයක් බවයි.එබැවින් පාසලේ සිටියාවූ විසේකාර,ගෝරිකාර,අණ්ඩපාල,මගෝඩිකාර කොළු කට්ටියක් වූ අපද කිසිදු වෙනසක් නොමැතිව බාලදක්ෂ කණ්ඩායමට බඳවා ගනිමින් දක්වන ප්‍රගතිය අනුව රැළ උපනායකයින් ,පසුව රැළ නායකයින් යනාදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වගකීම් පවරමින් ස්වයං හැඩගැසීමකට මඟ හෙලි පෙහෙළි කර දුන්නේය.

ඔහුගේ දැක්මේ සාර්ථකත්වය අද අප ලියන මෙම උපහාර සටහනින්ම ප්‍රත්‍යක්ෂ වෙයි.දැඩි කණගාටුවක් දැනෙන්නේ ඔහු ජීවතුන් අතර සිටියදී මෙවැනි සටහනක් ඔහුට දැක ගන්නට ඉඩක් නොලැබීම ගැනය.කෙසේ වුවද ඔහු ගැන මෙවැනි සටහනක් සිල්වා අයියාට කියවන්නට ලැබුණේ නම් ඔහු හහ්! හහ්! හහ් ! යන ආකාරයෙන් සෝපාසාහයෙන් හිනැහී ” මාව මුරුංගා අත්තේ උඩ තියලා තියෙනවා වැඩියි නේ ,මල්ලී “වැනි වදනක් කියන්නට ඉඩ ඇතැයි මට සිතේ.

Published in: on 2019 ජනවාරි 18 at පෙ.ව. 4:36  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

ඉල් මහ විරුවෝ !

මේ යුගයේ අපට දක්නට ලැබෙන  දේශපාලඥයින්ගේ කිසිදු ප්‍රතිපත්තියකින්  තොර ,සෙවල,ආත්ම වංචනික,දූෂිත,ලැජ්ජා විරහිත ක්‍රියාකලාපයන් හා සංසන්දනය කර බලනා විට 89 අරගලයේ දී දිවි පිදූ එම තරුණ පිරිස කෙතරම් විශිෂ්ට ප්‍රතිපත්ති සහගත හා  තම ආත්ම ලාභය තකා නොව හුදෙක් පරහිතකාමය තකාම තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව වුව ක්‍රියා කළ පිරිසක් බව එම වකවානුවේ මරාදමනු ලැබූ  අප හා ඇසුරු කළ තරුණ සහෝදර සහෝදරියන්ගේ අදහස් හා ක්‍රියාකලාපයන් පිළිබඳ ඇති අපට ඇති අවබෝධය ඔස්සේම වටහා ගතිමු.මෙකී තරුණ පිරිස තමා මෙහෙයවනු ලබන දේශපාලන ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථක භාවය හෝ එහි වංක අවංක භාවය පිළිබඳ කිසිඳු අවස්ථාවක දෙගිඩියාවකින් නොසිටි අතර , ඉදිරි අනාගත පරපුර වෙනුවෙන්  යහපත් හා සාධාරණ සමාජයක් බිහිකිරීමේ ඒකායන අරමුණින් තම ජීවිතය කැප කිරීමට වූවද සුදානම් ව සිටියවුන් වූහ.

89 තරුණ පිරිස පමණක් නොව අප නොහඳුනන මුත් 71 අරගලයේදීත් දිවි කැප කළ දස දහස් ගණනක් වන තරුණ පිරිස මෙන්ම දෙමළ ඊළාම් අරගලයේදී තම දිවි කැප කළ සාමාන්‍ය ද්‍රවිඩ සෙබළු අතරින්  බොහෝ දෙනෙකුගේ අරමුණ වන්නට ඇත්තේ ද තම ජීවිත පරිත්‍යාගයෙන් වුව  ගොඩනැඟිය හැකි තම ජනතා විමුක්තිය පිළිබඳ පරහිතකාමී අරමුණ වන්නට ඇත.

89 අරගලයේදී  අප සමඟ  ජීවත් වූ, ගැවසුන, ඇසුරු කළ හා ඇතැම් විට එක හුස්ම පොඳ  බෙදා ගත් සහෘදයන් ටයර් සෑයක දැවෙනු දකින විට, මෘත කලේබරයක් සේ ගඟක පාවී යතැයි ඇසෙන විට අප තුළ ඇති වූ කම්පාව හඩ ගා කියන්නට ඕනෑ විය.අසංවේදීව සිටින සමාජය තුළ සංවේදයක්  ඇති කිරීමට අපට අවශ්‍ය විය. එකළ කිසිදු  ජනප්‍රිය හා ප්‍රසිද්ධ පත්තරයක් අපගේ එකී අදහස් පළ කිරීමට ඉඩක් ලබාදීමේ සුදානමක නොසිටියේය.එබැවින් අපට කළ හැකි පරිදි ,අතේ මිටේ තිබෙන අන්දමට “පත්‍රිකාව” නම් වූ  වාර ප්‍රකාශනයක් ගල් අච්චුවේ ගසා(රෝනියෝ කර)මුද්‍රණය කර බෙදා හැරියෙමු.එම කාර්යාවලියේ ඇරඹුමත්,එයට උරදුන් සැටිත්,එහිදී මුහුණ පෑ අභියෝග හා ගල් හා මුල් ගැන සඳහන් කරන්නට ගියහොත් මෙකී ලිපියේ මුඛ්‍ය අරමුණින් බැහැර වන්නට සිදුවන නිසා එහි අප එකළ පළ කල කාව්‍ය සංග්‍රහයක් මෙසේ උපුටා දක්වමි.

sam_13621.jpg

Published in: on 2018 නොවැම්බර් 20 at පෙ.ව. 9:57  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පුළුවන්ද…….?


                                                                    අප නිවසේ සිට මීටර 5 ක් පමණ දුරකින් පිහිටා තිබෙන අසල්වැසි නිවසක මේ දිනවල පවුල් ආරවුලක් හටගෙන ඇත. එය අපට ඉතා ආසන්නයේ පිහිටා තිබීම නිසා එහි පවතින ගැටළු අපගේ ගැටළු තරමට සමීප වී තිබේ.පිරිමියාගේ ගෝරනාඩු ,ගැහැණියගේ බෑගිරි ගැසීම්,වැළපිලි,පොඩි එවුන්ගේ ලතෝනි,ගේට්ටු හෝ දොරවල් අරින වහන ශබ්ද , වාහන යන එන ,හරවන ශබ්ද නිසා නිරන්තරව නිතැනින්ව  අපගේ අවධානය ඔවුන් වෙතට යොමුවේ.වයස අවුරුදු තිස් ගණන් වල මුල්භාගයේ  ගෙවන මේ  තරුණ ජෝඩුවට දරුවන් දෙදෙනෙකු සිටී.ගෙදර වාසය කරන්නේද ඒ හතර දෙනා පමණකි.තරුණයා රියදුරු උපදේශකයෙකු ලෙස කටයුතු කරන නමුදු ඒ රැකියාව ස්ථිර මට්ටමේ එකක් නොවේ.එහෙත් මෑතක දී කොළඹ පිහිටි ආයතනයක රැකියාවට ගිය මේ මනුෂ්‍යයා එහිදී වෙනත් ගැහැණියක හා සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.පරණ පවුලේ මඟුල් පින්තූරයේ සිට ,ගිය ගමන්,කාපු බීපූ ආහාර ,කියවන ලද පොත්,මොවුන්ගේ නොයෙකුත් ආලිංගන පවත්වන (හිටගෙන,වාඩිවී,ඇලවී යනාදි වශයෙන්) පින්තූර ආදිය අන්‍යයන්ට ප්‍රදර්ශණය කරන Related image පිටුවක් පවතින අතරම, අළුත් ප්‍රේමවන්තිය සමඟ පවත්නා ප්‍රේමය ප්‍රසිද්ධ වන ,ඇය හා ගන්නා ලද ප්‍රේමණීය පින්තූර (හිටගෙන,වාඩිවී,ඇලවී යනාදි වශයෙන්) හා සමාජ සාධාරණත්වය,දුර්වලයාට පිහිට වීමේ ගුණාංගයේ වැදගත්කම කියා දෙන වීඩියෝ කොටස් පමණක් නොව අභිධර්ම කොටස් ,තිරුක්කුරල් කවි ,හද සසල කරන සංවේදී පින්තූර මෙන්ම ආලය පිරුණු රොමෑන්ටික් පින්තූර ඇතුලත් නව Related imageපිටුවක් ද හුදී ජන පහන් සංවේගය සඳහා දක්නට ඇත.  මේ මිනිසා සතුව තමාගේ පැත්තෙන් කීමට කථාවක් තිබිය හැකිවුවද මොහු දැන් මාස කිහිපයක සිට ගෙදර නඩත්තුවක් නොකරයි.පොඩි එවුන් දෙදෙනෙකු හා වැඩිහිටි ගැහැණියකගේ ආහාර අවශ්‍යතා,ලෙඩට දුකට බෙහෙත් සපයා ගැනීම,වැඩිමල් එකා මොන්ටිසෝරි ගෙන යෑම,පොඩි එකාට කිරිපිටි,ඔපස් කඬයේ සිට රෙදි පිළි සපයා ගැනීම,ජල හා විදුලි බිල්පත් ගෙවීම යනාදි කුටුම්භයේ කුදු මහත් වියදම් ගැහැණිය මත පැවරී ඇත.මෙහි ඇති ශෝචනීය තත්වය වන්නේ පත්තර වල අපරාධ වාර්තාවන්හි  විස්තර කෙරෙන ආකාරයට බැලු විට “රූමතියක් ” යැයි කිව හැකි මේ ගැහැණිය මේ යුගයේ  ඇති “ක්ෂණික ප්‍රේමයක”  ප්‍රතිඵලයක් ලෙස පිරිමියාගේ උණුසුම් රැකවරණය පිළිබඳ අහස උසට බලාපොරොත්තු තබාගන්නා ලද රැකියා විරහිත කාන්තාවක වීමය.

දැන් දැන් මෙහි පවතින ප්‍රශ්නය උග්‍ර තත්වයට පත්ව ඇති අතර තමාට ණයක්  ගෙවීම සඳහා මුදලක් ලබාගැනීමට   සිදුව ඇති නිසා  ගැහැණිය හා දරුවන් දෙදෙනා පදිංචිව සිටින නිවස නැතහොත් වෛවාහක නිවස විකිණීමට අවශ්‍යව ඇති හෙයින් එසේම මෙම කසාදය දික්කසාද කිරීමට ඔහු බලාපොරොත්තු වන බැවින්ද, මාස තුනක කාලයක්  ඇතුළත දරු දෙදෙනාද රැගෙන ගෙදරින් යන ලෙස පවසා  මේ පිරිමියා විටින් විට පැමිණ ගැහැණිය සමඟ දබර කරයි.එපමණක් නොව මේ දිනවල  වැඩිමහල් දරුවා ,’පාසලට ආසන්න පදිංචිය’ යන කාණ්ඩය යටතේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත්කිරීමේ සම්මුඛ පරීක්ෂණයට  සහභාගී වීමට නියමිතව ඇති නමුදු දරුවාගේ ස්වභාවික පියා වන මෙම මනුෂ්‍යා විසින් ගෙදර ඔප්පුවද රැගෙන ගොස් ඇති නිසා මෙම අවස්ථාවේ ලකුණු විශාල ප්‍රමාණයක් බර තබා ඇති ලේඛනයක් අහිමිව යතැයි ගැහැණිය  ඉමහත් ශෝකයෙන් තැවෙයි.මක්නිසාද යත් මෙම දේපල ලියැවී ඇත්තේ පිරිමියාගේ නමට නිසාවෙනි.

දෙවන සිදුවීම

මෙහි පිරිමියාගේ වයස අවුරුදු හැත්තෑ පහක් පමණ වේ.ගැහැණියට හැත්තෑවක් පමණ වේ.මොවුන්ට දරුවන් පස් හයදෙනෙකු පමණ ඇතැයි යැයි පැවසෙන අතර ඔවුන්ගෙන් ඇතැමෙකු විවාහ වී දරුමල්ලන් ලැබ දිවයිනේ සතර දිග්භාගයේ පදිංචිව සිටින අතර අවිවාහක දූවරු දෙදෙනෙකුද මහගෙදර වාසස්ථාන කර රැකියාවට යාම් ඊම් කරමින් සිටිති.මෑතක සිට  මේ පවුලේද ප්‍රශ්ණයක් පැණ නැඟී ඇත.එය නම්  මෙම පවුලේ කාන්තාව නැතහොත් දරුවන්ගේ අම්මා  එක එක දරුවාගේ එක එක මුණුපුරු මිනිබිරියන් බලා කියා ගැනීමට හිතෙන හිතෙන වේලාවලට කැඳවෙන හෙයින් පහුගිය කාලය පුරාවටම තම ස්වාමියාගේ නිවසේ සිටීමට ඇයට නොහැකි වී ඇත.ඉඳහිට බණ පොතක් කියවූවද පෘතග්ඡන පුද්ගලයෙක් වන මේ මිනිසා ඉන්  බොහෝ සේ කිපී ඇත.එමෙන්ම  මේකා හැට පැන්නද බිමින් නොයන වඳුරෙකු සේ තරුණ කළ පැවති  දඟය;විසය තවමත් ඇතැයි සිතා සිටින නාකි මනමාලයෙකු ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියි.දේපල වල හිමිකම දෙමාපියන්ගෙන් බලහත්කාරයෙන් තම නමට ලියවාගෙන ඇතැයි පැවසෙන මේ මිනිසා මේ දිනවලමෙම නිවස විකිණීමට අැත” යනුවෙන් සඳහන්  බෝඩ් ලෑල්ලක් නිවස ඉදිරිපිට ප්‍රදර්ශණය කරයි.මහගෙදරත් එම ඉඩමත් විකුණා දමා හිස හැරුණු අතක යන බවට කඩපිළවල් හි සිට කැට තබා දිවුරයි.ඒ මහ ගෑනියගෙන් හා අකුරුතඥ දරුවන්ගෙන් පළිගැනීමටය.

ඉතින් මේ ප්‍රශ්ණ වලට පිළියම කුමක්ද? මොවුන්ට සදාචාරය,සහජීවනය,යහපැවැත්ම මෙන්ම කුසල් අකුසල් ගැන කියා දීමද   වැදගත් වන නමුත්  එවා අවබෝධ කරදීම එවුන්ගේ ඥාන මණ්ඩලයට අනුව කල් ගතවන වැඩක් විය හැකි බැවින්ද ,පව් පඩිසන් දෙන තුරු බලාසිටීම ඊටත් වඩා කාලයක් ගතවන වැඩක් විය හැකි බැවින්ද ,අප්‍රමාදව නීතියේ පිළිසරණ පැතීම ඥානාන්විත ක්‍රියාවක් යැයි පැවසිය හැකිය.2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත යටතේ වහාම පැනවිය හැකි අතුරු ආරක්ෂක ආඥාව  මඟින්  (මෙම අතුරු ආඥාව පැනවීමට පොරොතුව වගඋත්තරකරු දැනුවත් කිරීම අවශ්‍ය නොවන අතර එවැනි ආඥාවක් පැණවීමේ බලවත් අවශ්‍යතාවය වින්දිත පාර්ශවය විසින් අධිකරණයට ඒත්තු ගැන්වීම ප්‍රමාණාත්මක වේ.)මෙන්ම අප්‍රමාදී නඩු විභාගයකින් පසුව පැනවිය හැකි ආරක්ෂක නියෝගයක් මඟින්  දේපල කාගේ නමට තිබුණද වින්දිතයා අසරණ තත්වයට පත්වන ආකාරයට  වෛවාහක නිවස විකිණීම,පැවරීම,අන්සතු කිරීම,බරක් පැවරෙන අාකාරයට පත් කිරීම අධිකරණයට තහනම් කළ හැකිය. (selling, transferring, alienating or encumbering the matrimonial home so as to place the aggrieved person in a destitute position-sec.11) එසේම  මෙම පනත යටතේ නඩු පැවරීමක් පුද්ගල සිවිල් නඩුවක් ලෙස මෙන්ම පොලීසිය විසින්ද කළ හැකි අතර අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නොමිලයේ පෙනී සිටීමක් දිවයිනේ සෑම උසාවියකම පාහේ පවත්වාගෙන යනු ලබන නීති ආධාර  කොමිසම මඟින් සිදුවීම මෙහිදී ඉතා වැදගත් කරුණක් සේ සැලකිය හැකිය.

(මෙම පනතේ ප්‍රභවය හා  එයට බල පෑ ජාත්‍යන්තර බලපෑම පිළිබඳව අප හදවතින් පමණක්ම  ලාංකික වූ-ජාතික නිදහස් පෙරමුණේ මුසාම්මිල්, මහතා වැනි – මෙන්ම සිංහල ජාති ආලයෙන් පිරුණු දුහුනන්ගේ දැනගැනීම සඳහා ඊළඟ ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.)

Published in: on 2018 අගෝස්තු 17 at ප.ව. 2:54  Comments (2)  

ගාල්ලේ ශාන්ත ඇලෝසියස් තමයි විද්‍යාලේ !

 

 

31945236_1286224194843560_2570450283553357824_nartworks-000232763115-vqswzr-t500x500

මෙම ඡායාරූපය මාගේ මිතුරෙකුගේ (දයානන්ද නොහොත් දයියා  ) මුහුණු පොතෙන් උස්සන ලද්දේ ඒ ඔස්සේ රසවත් අතීත සැමරුම් මාලාවක් සිහිපත් වන බැවිනි.මෙහි දැක්වෙන අපේ කාලයේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ “අයියලා” අතරින් බොහෝ දෙනෙකු පාසල් කාලයෙන් පසුව  හමුවී නොමැති වුවද තවමත් ඔවුන් මනසේ රැඳී ඇති බැව් මෙවැනි ඡායාරූපයන් දකිනා විට හැඟී යයි.

මෙම ඡායාරූපයේ thumbs up ලකුණ පෙන්වා සිටින්නේ ලංකාවේ සිටින ප්‍රවීන හා කීර්තිමත් නීතිවේදියෙකු හා ජනාධිපති නීතිඥයෙකු ද වන J.C. වැලිඅමුණ අයියායි.ඇත්තටම එකල අපි ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දී ඉහළ පංති වල සිටි සිසුන්ට අයියා ලෙස ඇමතූ අතර ඔවුන් අපව මල්ලිලා ලෙස හඳුන්වන ලදී.එමෙන්ම මෙම අයියලා වෙත අප විසින් බිය මුසුවූ ගෞරවාදරයක් දක්වන ලද අතර ඔවුන්ද අප මල්ලිලා ලෙස සලකමින් අප කෙරෙහි හැසිරෙන ලදී.

වැලිඅමුණ අයියා එකළ බෙහෙවින් සරල චරිතයක් වූ අතර එපරිද්දෙන්ම විරෝධාකල්පිකයෙකු වූ බවද මට මතකය.එවන් එක් අවස්ථාවක් නම් ඉහල පන්තිවල සිසුන්ගේ පාසල් නිල ඇඳුම සුදු කමිසය හා සුදු දිග කලිසම වූවද වැලිඅමුණ අයියා උසස් පෙළ පන්තියක සිටියදී  වරක් කොට කලිසමක් ඇඳ පාසල් පැමිණීමයි.එසේම ඒ වකවානුවේ පාසලේ සිටි දක්ෂ කලාකරුවන් වූ දයාවංශ අයියා,දුලිප් රණසිංහ අයියා සහ සමන් ගුණදාස අයියා ඇතුළු කිහිපදෙනෙකු වරක් විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයකදී ත්‍යාග ලබාගැනීමට සිංහල ජාතික ඇඳුමෙන් පැමිණීමද අපට මහත් වීර ක්‍රියාවක් සේ පෙනුණි.

මේ හැරෙන්නට දැන් ජ්‍යෙෂ්ඨ නීතිවේදී J.C. වැලිඅමුණ මහතාණන් ඇසුරුකරන්නන් දන්නේ දැයි නිශ්චිතව කිව නොහැකි අපූර්ව ආකාරයේ හැකියාවක් එකල වැලිඅමුණ අයියා සතුව තිබූ බව කිව යුතුම වේ.ඒ නම් පිරිමි හඬෙන් පමණක් නොව ගැහැණුු හඬකින්ද සහිතව යුග ගීත ගැයීමට තිබූ හැකියාවයි.එකල මල්ලිලා වූ අප ආරාධනය කළද අප පිනවීම පිණිස නිහතමානීව “මල්බර හිමිඳිරියේ කොයිබද ඔබ යන්නේ” යන ගීතය පිරිමි හා ගැහැණු හඬට මාරුවෙමින් විශිෂ්ට ලෙස ගයා අප පිනවූ ආකාරය අද සේ මතකය.

 

Published in: on 2018 ජූලි 24 at පෙ.ව. 6:14  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

ගාළු මහජන ක්‍රීඩාංගනය උලා කෑමට පසු වදනක් (මෙම ලිපිය මවිසින් 2014 දෙසැම්බර් මස ලියා මෙහි පළකරන ලද්දක් වන අතර කාලීන වැදගත්කම නිසා මෙලෙස නැවත ප්‍රසිද්ධ කරන බව කරුණාවෙන් සලකන්න.)

d511m

ගාල්ලේ මහජන ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වෙන් කර එය පොදු මහජනතාවගේ භාවිතයෙන් ඈත් කිරීමේ අතිශය අසාධාරණ හා අගතිගාමී මෙන්ම අප වැන්නන්ගේ හිත් තුලින් කිසිදා පහව නොයන කම්පාව ඇති කළාවු කුප්‍රකට ක්‍රියාවේ  නූතන මැතිවරණ කොමසාරිස්වරයා  මූලිකයෙකු බව Lankaenews හි වාර්තාවක පළවී තිබී දකිනු ලැබීමෙන් පැරණි තුවාලයක් නැවත පෑරුණාසේ  දැනෙන්නට විය.ඔහුගේ ඊට ඇති මෙම සම්බන්ධතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කර පැවසීමට නොදන්නා බැවින් එම ක්‍රියාව ගැන නොව එහි ප්‍රතිථලයන්හි ආදීනව ගැන කතා කිරීමට සිතුවෙමි.
ආක්‍රමණික විජාතිකයන් ග‍ාලු කොටුවේ ගොඩබිම දිශාවෙන් ඇතුල්වීමට තිබූ දොරටුව ඉදිරිපිට ජල දුර්ගයක් තනා තිබූ භූ‍මි භාගයක් මතින් ගාලු ක්‍රීඩාංගනය ඉදිවී තිබේ.අප මතක කාලයේ ගාලු ක්‍රීඩාංගන‍යේ හැඩතල දැන් පවතින ආකාරයේම වුවද මෙතරම්  දැවැන්ත නැත.දැන්ගාලු ක්‍රීඩාංගනය දකිනා විට මගේ මතකයට නැගෙන්නේ කට කමසෙයියාවක් නැතිව අහර බුදිමින්  ව්‍යායාමයක් නැතිව එක තැන දපා සිට දැඩිව තරව ගිය අලි බතල ගැහැණියක මෙනි.
මට හැඟෙන ආකාරයට සූට්කේස් වල දමාගෙන පොත් රැගෙන පාසල් ගිය අවසාන ළමා පරපුර අපි වෙමු.දැන් මෙන් බෑග් වල පොත් දමා ගෙන ළමුන් මෙන් නොව අපි මේ සූට්කේස් බහු කාර්ය උපකරණයක් සේ භාවිතා කළෙමු.එයින් බොහොමයක්  අවශ්‍යතා ක්‍රීඩාංගනයේදී පාවිච්චි කළ ඒවා විය.මොනයම් හෝ ක්‍රිකට් තරඟයක් ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වන්නේද අපි එතැන වීමු.පැවිලියන් එකේ වාඩිවී මැච් එකක් බැලීමට වරම් නොලත්  කජු කිරි කොල්ලන් වූ අපි ඒ දිනවල පිට්ටනිය වටා කස ගස් පේලියක් තිබුණු නමුදු ඒ සෙවනට නොගොසින් හතරේ සීමාව ළකුණු කළ කඹය අද්දරම වාඩි වෙමු.(සමහර වේලාවට අපි මේ හතරේ සීමාව ඔසවා අපට අවශ්‍ය ලෙසට ඉදිරියට හෝ පසුපසට ගත් අවස්ථා නැත්තේම නොවේ.)එතැනදී අපගේ සූට්කේසය ආසනයක් සේ පාවිච්වි කරන්නේ එය හරස් අතට සිටුවා දෙපරන්ද පල්ලේ තබා  ගෙන කකුල් දෙක දෙපැත්තට දමාගෙන ඒමත වාඩි වීමෙනි.මෙසේ ටික‍ වේලාවක් සිටිනා විට අව්ව වැඩිවෙන විට හෝ පොදක් ඇද හැලෙන විට බිම වාඩි වී එය ආවරණයක් සේ හිස මතට ගතිමු.පිටියේ මැච් එක බෝරිං ව‍ගේ දැනෙන්නේ නම් අපි අපගේ තරඟයක් බවුන්ඩ්‍රි ලයින් එකෙන් එළියේ සිට අරඹන විට එම සූට්කේස් දෙකක් එක පිට එක තබා විකට්ටුවක් සකස් කර ගතිමු.
ක්‍රිකට් වාරය හමාර වූ විට ෆුට්බෝල් මැචස් පටන් ගනී.ෆුට්බෝල් තරඟ පැවතුණේ ක්‍රීඩාංගනය තුළම සමනල පාලම අන්තයේ ගාමිණි ක්ලබ් එක ඉදිරිපිට කොටසේ මිස දැන් මෙන් එකළ ගව ඝාතකාරයක් තිබූ පිට්ටනියෙන් එළියේ හුදෙකලා ස්ථානයක නොවේ.ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ හ‍ා නැරඹීමට එක් වූ සමාජ කණ්ඩායමට වෙනස් කණ්ඩායමක් මෙම ෆුට්බෝල් තරඟ හා සම්බන්ධව සිටියහ. ඔවුහු බොහෝ විට අව වරප්‍රසාදිත ජන කොටස් වලින්  පැමිණියෝ වූහ.කෙසේ වුවද ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මන බඳිනා සුළු වූ අතර ප්‍රතිවාදීන් තැති ගන්වන සුළු විය.ගාළු ක්‍රීඩාංගනය පාපන්දු ක්‍රීඩාවට තහනම්ව යන තෙක්ම ගාල්ල ප්‍රසිද්ධව සිටියේ  දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් බිහිකළ පුරවරයක් ‍ලෙසටය !
කෙසේ වුවද නැවතත් අතීත කථාවට හැරුණහොත් කාක්කන් පිට්ටනිය වටා ඇති ගස් වලට මෙන්ම යාබද ධර්මපාල උද්‍යානයේ ඇති තුරු හිස් මතට රාත්‍රී නවාතැන් පිණිස පැමිණ හඬ තලද්දී සියළු තරඟ අහවර වී ඇත.වැඩිහිටියෝ හෙමින් හෙමින් ගාමිණි ක්ලබ් එක පැත්තට ඇදේ.බෝතල් වීදුරු ගැටෙන ශබ්දද ඒ අසලින් පිටියෙන් එළියට යද්දී ඇසේ.අපෝ!රෑ වෙන්ටත්ළඟය. දැන් අප ගෙදර යා යුතු බව මතක් වේ.උදේ ඉස්කොලේ පැමිණි අපි ගෙදර යන්නේදැන්ය.බඩගින්නේ හාකුට්ට වෙමින් සිටියද ගානක් නැත.ගෙවල් වලටද ප්‍රමාද විම ගැන කියන්නට නිදහසට කරුණු එමට අපට ඇත.එයින් වඩාත් ඒත්තු ගැන්විය හැකි කරුණ  ස්පෝර්ට් ප්‍රැක්ටිස් තිබීමය.කොහොමටත්මෙම ප්‍රමාදයන් හොඳට හුරු පුරුදු හෙයින් ගෙවල් වල උදවියද අප පරක්කු වීම ගැන එ්තරම් කලබල වන්නේද නැත.
එපමණක් නොව දකු‍ණේ සියළු ප්‍රධාන මට්ටමේ මළළ ක්‍රීඩා තරඟයන්ද එකළ පැවැත්වූයේ ගාලු ක්‍රීඩාංගනයේදීය.තවද ගාලු නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසල් වල නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වූයේ ද ,ගාළු නගර ශෝභිනියන්ගේ රැකියා කටයුතු සඳහා භාවිතා කළාවු,නහා ඇඳ පැළඳ ගැනීම් කළාවු,විවේක ගත්තාවූ  ,පිම්පියන් මුණගැසුණාවූ එකල   “පට්ටිය මුල්ල”නමින් හැඳින්වූූ දැන් ‘සමනල  ක්‍රීඩාංගනය’ යන සාඩම්බර  නම්වර ලැබුවාවූ,කොටු පවුර හා සමනල පාලම අතර බිම් කඩේ නොව ගාලු මහජන ක්‍රීඩාංගනයේදීය.නගරය මැද සියළු දෙනාටම පහසුවෙන් ලඟා විය හැකි තැනක වූ ,නගරය පසුකරගෙනයන සෑම ‍සියළු දෙනාටම වුව නෙතට ගැටෙන ,තමාගේ බස්රිය,දුම්රිය එනතුරු වුවද නැරඹිය හැකි බැවින් ඒ ටික වේලාවට වුවද වැට ළඟ පොදිකමින් එවැනි සිත්ගත් ක්‍රීඩා තරගයන් නැරඹූ පොදු ජනකායක් සතුවූ මහත් සතුටු ක්‍රීඩාංගනයක් විය එය එකළ!ඇත්තටම තමා අගය කිරීමට රැස්වූ මහා පිරිස දැක කුඩා දරුවන් තරග වැදුණේ මහත් අභිමානයකින් බව අත්දැකීමෙන් දනිමු.
ක්‍රීඩා ලෝලයන්ට පමණක් නොව ගාලු  ක්‍රීඩාංගනය ඒ යුගයේදී පොදු ජනතාවගේ සුව සැළසු කෙම්බිමක් විය.රාස්සිගේ අව්ව නිවී යද්දී නගරය අවට පදිංචිකරුවන් තම දරුමල්ලන් ද කැටුව  ක්‍රීඩාංගනයට ඇදෙති.පොඩි එවුන් නිදහසේ පිටි‍යේ දුව පැන සෙල්ලම් කරද්දී මහ අය සතුටු සාමිචියේ යෙදිති.‍‍පෝං! පෝං ගා නලාව මිරිකමින් පොඩි එවුන් ආකර්ශණය කර ගන්නාඅයිස් ක්‍රීම් වෙළෙන්දා,කඩල කාරයා,මිරිස් කුඩු හා ලුණු කුඩු ඉසිනලද අන්නාසි කෑලි ‍විකුණන අන්නාසි වෙළෙන්දා යනාදි සුළු වෙළෙන්දන් බොහෝ පිරිසක් ද ඒ අතර සැරි සරමින් තම ජීවිකාව සරි කර ගනිති.අඳුර දැඩි වද්දී පවුල් පිටින් පැමිණි පිරිස් තම කුටුම්භයන් පෙරළා යද්දී නිදහසේ මධුවිත පිරීමට කැමැත්ත ඇත්තෝ තැන් තැන්වල තප්පලම් දාගෙන සිටිනු පෙනේ.ඉදින් මධ්‍යම රාත්‍රිය වන තුරු ‍ක්‍රීඩාංගනය තුළ ජිවයක් රඟයි.
ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩා පිටියක් කරනු පිණිස නසා දැමුවේ එබඳු සොඳුරු ජීවයකි.එවකට ආණ්ඩුවේ මහා බලවත් ඇමතියෙකු වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණට අවශ්‍ය වී නම් ජාතියේ දරුවන්ට මෙන්ම පොදු ජනතාවට  මෙම සම්පත අහිමි වී යෑම වැලැක්වීමට හැකියාව තිබුණද ඔහු කළේ මෙම විනාශයට උඩගෙඩි දීම පමණකි. එහෙත් හැකි පමණකින් පාපන්දු ලෝලියෙකු ඊට වි‍රෝධය පා තිබුණේ  පාපන්දුව පිටියෙන් එලවා දමා ඉදිකර තිබූ තණ නිල්ලේ තාර ගෑමෙනි!

Published in: on 2018 ජූලි 21 at පෙ.ව. 2:42  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

රාජිතගේ කථාව හරියටම හරි…………!

mmm

අපේ අය, විශේෂයෙන් සිංහලයන් මාර විකල්ප ,ලිබරල් ,සමාජවාදී ,නූතන චින්තනයක් සහිත එවුන් බව ඔවුන්ම පවසනු ලබයි.උදාහරණයක් හැටියට ඒ උදවියගෙන්  මා දකින බොහෝ පිරිසක් share කරන්නාවූ පෝස්ට් දකිනා විට  මෙය අපූරුවට දකිත හැකිය.ඒවායින් බොහොමයක බුද්ධ ධර්මයේ අභිධර්ම කොටස් නැතහොත් අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ හෝ  ඕෂෝගේ දේශනා වලින් උපුටා ගන්නා ලද කොටස් හෝ ක්‍රිෂ්ණ මූර්ති,මහත්මා ගාන්ධි,අබ්දුල් කලාම් වැනි උතුමන්ගේ කියමන් එසේත් නැත්නම් අඩුම ගණනේ කූඹියෝ  ටෙලි නාටකයේ ප්‍රධාන නළුවාගේ දෙබස් කණ්ඩ හෝ  චෛත්‍යයන් හා බෝගස් යනාදියේ අපූර්ව කලාත්මක පින්තූර සමඟ අසරණ හා පීඩාවට පත් මිනිසුන්ට උදව් කිරීමේ වටිනාකම කියැවෙන තායි කෙටි වීඩියෝ චිත්‍රපට මෙන්ම කළු සුදු භේදයේ තිරශ්චීනභාවය දක්වන කෙටි වීඩියෝ චිත්‍රපට ද “මේවා අනිවාර්යයෙන් බලන්න”යැයි දක්වමින් තම තමන්ගේ බුකි වෝල් එකෙහි ප්‍රදර්ශණය කරති.එපමණක් නොව අසාධ්‍ය රෝගීන්ගේ පින්තූර දමා ඒ අයට සුව වනු පිණිස එම post එක share කිරීම  හෝ like කිරීමක් ඉල්ලා සිටිති.

එහෙත් මේ බුදුන් අනුදැන වදාළ දහම වැළඳගත්තාවූ ද,අල්ප වූ ආශාවන් ඇත්තාවූ ද,දානපාරමිතා පුරන්නාවූ ද,පරහිතකාමී වූ ද මේ පිරිසගේ සැබෑ ආකල්පයන් වටහා ගැනීමේ අවස්ථා බොහෝ විට මතුවේ.මොනරාගේ රංගනයේ දී මෙන් තමන්ගේ සැබෑ ස්වරූපය තවත් මහාර්ඝ අවස්ථාවක්  රාජිත ඇමතිවරයාගේ කටට වචන ලබාදීමෙන් අප නිර්භීත,ස්වාධීන හා අපක්ෂපාතී ,නොනැමෙන ,රැඩිකල් ජනමාධ්‍යවේදීහු මෙම ජනතාවට ලබාදුන්නෝය.එ් අනුව උතුරේ යුද්ධයේදී මියගිය උතුරේ සියළු දෙනා ත්‍රස්ත්‍රවාදීන් වන බැවින් උන් සැමරීම බරපතල වරදකි.ඔිනෑම ශුද්ධ යුද්ධයකදී මියයන අහිංසක සිවිල් ජනතාව සැමරීමට ඇති අයිතිය පසෙක තබමු. උතුරේ කොටි ලෙස සටන් කළේ ඒ උතුරේ සිටින  අසරණ ශ්‍රී ලාංකික දෙමළ  දෙමාපියන්ගේ දරුවන් බවද ( කොටි හමුදාවට සෙබළු බඳවා ගැනීමට කොටි නායකයන් ක්‍රියා කළ ආකාරය හා  ක්‍රම ක්‍රමයෙන් එකී කොටි සෙබළුන්ට යුද්ධය පිළිබඳ  හැඟුණු ආකාරය දැන ගැනීමට අවම වශයෙන් කොටි සංවිධානයේ හිටපු කාන්තා දේශපාලන නායිකා තමලිනී ජෙයක්කුමාරන්ගේ කෘති කියවන්න)උන්ට මියගිය තම දරුවන් සිහිකිරීමේ අයිතියක් ඇති බව නොතකමින්   එය  මහා විපත්ජනක භයානක ක්‍රියාවක් ලෙස දකුණේ ජනතාවට ඒත්තු ගන්වමින් නැවත වරක් සිංහලයා වනාහි සුළු ජාතික අයිතිවාසිකම්  නොතකන,ජාතික සමඟිය යනු අනෙකා තමාට යටත් වී සිටියයුතු යැයි හඟින,දෙමලා හැඩීමට වුව තමාගෙන් අවසර ගතයුතු යැයි සිතන සිංහල දෙමල කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ love  ගැන බොරු සිංදු ලියන බොරු චිත්‍රපට තනන දුපත් මානසිකත්වයෙන් නොමිදුණු ගතානුගතික ජාතිවාදී කල්ලියක් බව ලෝකයාට පෙන්නුම් කර හමාරය.

රාජිත ඇමතිවරයා කී ලෙස 1971 කැරැල්ලේදී ඍජුවම සිංහල පොලීසියට පහර දීමෙන්ද, 1989 දී ග්‍රාමසේවකලා,විදුහල්පතිවරු,ගමේ මුදලාලිලා,කලාකරුවන් යනාදීහු මරාදමමින් රාජ්‍ය බලය පැහැරගැනීමට උත්සාහ කළාවූ ද,හමුදාවට අභියෝග කළවිට නිර්දය ලෙස තළා දමනු ලැබූ  සිංහල දේශ‍ප්‍රේමී ජවිපෙ කැරලිකරුවන් ද එහි නායකයාද ඉල් මස සැමරුම ලෙසින් පක්ෂ මට්ටමින් සමරන කළ ඔවුන් ත්‍රස්තවාදීන් ද ඒ කෙසේ වුවත් ඔවුන් ද සිහිපත් කිරීමට අයිතියක් ඇත්තේද නැත්තේද යන්න ගැන මේ ඊනියා ජනමාධ්‍යවේදීන්ට දෙගිඩියාවක් නොතිබිණි.

තවද මුස්ලිම් කඩවල කොත්තු වල වඳ පෙති,යට ඇඳුම්වල වඳ ජෙලි ආලේපනය  පමණක් නොව උන් වඳ  ටොපිද දෙතැයි යන කලබැගෑනිය මෑතකදී දැක්වූ තවත්එ බඳු රංගනයක් වන අතර අාබාධීත කොල්ලෙක් ඇතුළුව  දෙපාර්ශවයේම අන්ත ත්‍රස්තවාදීන් කිහිප පොළක් මරා දමා ගනිමින් යන්තම් ඒ මර විපත්තියෙන් ගැලවුණ අතර මෙවැනි case වලදී සිටිය යුතු ගැලපෙනාම කෙනා කෙසේ හෝ ජනාධිපති පුටුවට ගෙන ඒමෙන් පමණක් මෙවැනි උවදුරු වලින් සදහටම මිදිය හැකි බවද ඔවුන්ගේ ඒකායන විශ්වාසයයි.

Published in: on 2018 මැයි 23 at පෙ.ව. 11:59  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

සිංහල අළුත් අවුරුද්ද බොරු හිලකි .

 

                                            ජන සමාජය කෘෂි ආර්ථිකය හා බැඳී සිටි එකල අළුත් අවුරුද්දට තේරුමක් තිබුණි.මක්නිසාද යත් මෙය දැඩි වෙහෙසකාරී හා  ගලක් හිසමත තබා සිටින්නාක් මෙන් වූ  දැඩි  පීඩාකාරී විඩාවකින් පෙළෙන්නට සිදුවූ වකවානුවක් හමාර වී උදාවන්නක් හෙයිනි. වර්ෂා රටාවට අනුගත වෙමින්ද,  පරිසර සාධක හා පොරබැද, පුරන් කොටා; සමහර විට දෙපාරක් , කැට පෙරළා,මඩ තියා නියර බැඳ, ලියදි වෙන් කර ,පෝරූ ගා ,බිජු වපුරා   ඉනික්බිතිව දැන් සිහින් සුළඟේ තාලයට නැටවෙන පැලපත  ගොයම මතුවූ කළ  සැබවින්ම සැනසීමකි. හා! දැන් ඉතින් සාර සුබාවට සැරසී කාරිය කුඹුර පැත්තේ ඉඳහිට රවුමක් කැරකී ආවත් ඇතිය.ඉතින් මෙකල  ගොවියාට නිවාඩු ඉස්පාසුවක් ඇත්තේය.මෙතෙක් නොකළාවූ ගෙදරදොර අඩු පාඩු බැලීමට,අම්මාට , අප්පුච්චාට , නැන්දාට , මාමාට ඉටු කළ යුතු යුතුකම් අතපසු වී ඇත්නම් ඒවා ගැන සොයා බැලීමට,දුරු රට ඉන්නා ඥාති හිතමිත්‍රාදීන් සමඟ පයිරුපාසානම් පවත්වා ගැනීමට මේ සුදුසුම කාලයයි.

එහෙත් නුතනයේ සේවා කර්මාන්තයේ යෙදී සිටින සේවා කම්කරුවන්ට මේ කාලය වැදගත්වේද?එවුන්ට එබඳු නිස්කලංකුවේ සිටීමට කාලයක් තිබේද?ඔවුන්ට මේ කාල සීමාව හා අවුරුද්දේ අනෙක් දවස් අතර කවර  වෙනසක් තිබේද? හැබෑවටම වෙනසකට ඇත්තේ සිංහල අළුත් අවුරුද්ද නාමයෙන් ඉස්කෝල නිවාඩු දී තිබීමත්,සේවා කම්කරුවන්ට ආණ්ඩුව ගානේ දවස් දෙකක් රජයේ නිවාඩු ලබා දී තිබීමත්ය.(අනෙක් දවස් වල වැඩ නොකරත් රස්සාවට යන්ට එපායැ,අප්පා!) ඉතින් අප පුරුදු වී සිටින්නේ වඳුරාගෙන් පැවත එන කාලයේ තිබී දැනට කශේරුකාවේ ශේෂව පවතින්නාවු නැටි කෑල්ල මෙන් ,මොකට තිබෙන්නේ දැයි  නොදැන එනමුත් තිබෙනා නිසා  ඒ හා ගණුදෙනු කිරීමට වෑයම් කිරීමටයි.එබැවින් ඒනිසා කිරිබත්,අච්චාරු,කැවුම් ,කොකිස් යනාදි දකුණු ඉන්දීය, පෘතුගීසී,ඕලන්ද කෑම පමණක් නොව දැන් දැන් ෆයිඩ් රයිස් වැනි චීන කෑම කමින්ද,තේ හා ගල්  අරක්කු බොමින් ද ;අලියාට ඇහැ තැබීම,ලිස්සන ගහේ නැඟීම,කොට්ටා  පොර ගැසීම,බනිස් කෑම,අවුරුදු කුමර කුමරියෝ තේරීම වැනි වෙනත් සංස්කෘතික සමාජයන්ගෙන් අහුලා ගත්තාවූ විවිධ ක්‍රියාකාරකම් අපේ ජාතික අංග ලෙස හුවාපාමින් අගේ වඩමින් නියැලෙමු.ඒ හැරෙන්නෙට රතිඥ්ඥාද පත්තු කරමු. කෙසේ වුවත් මේ අභූත සිතුවිලි වලින් මනාව ප්‍රයෝජනයට ගන්නේ වෙළෙන්දායි.ඔහු  මේ සිංහල මනාව තොරොම්බල් කරයි.මේ නිසා මාස්පතාම අළුත් රෙදි පිළි මිළඳී ගැනීම සිදුකලත් කවදාවත් රෙදි නෑදු ගණනට අපේ උදවිය රෙදි කඩවල පොරකයි.ඉලෙක්ට්‍රොනික උපාංග හා අළුත් අවුරුද්ද සමඟ ඇති සම්බන්ධය කුමක්දැයි  වටහා ගත නොහැකි  නමුත්  වෙළෙන්දා අළුත් ප්‍රමෝෂන් කැම්පෙයින් හඳුන්වා දෙයි:අප ද ණයවී  ගෙවීමේ ක්‍රමයට ඒවා ගෙනයත්!ප්ලාස්ටික් බඩු වලටත් ,ෆ්ලෝ ටයිල් වලටත් මාර ඉල්ලුමක් ඇත්තේ ඒ හා සිංහල අවුරුද්ද හා තදනතර ආත්මීය බැඳීමක් ඇතිසේය!

අළුත් අවුරුද්දේ සම්බන්ධතා අළුත් වෙනවා යැයි කිවුවාට අඩු ගණනේ අල්ලපු වැටේ සිටින එකාවත් සමඟ අපේ සබඳතාවන්හි කඩතොළු අළුත්වැඩියා කරගැනීමට තරම් මෙම වත්මනෙහි පවතින අළුත් අවුරුදු සාධකය බරසාර  නොවේ.(ඇත්තටම සේවා කම්කරුවාට මොන සමාජ සබඳතා ද ?) බොහෝ ඉඩකඩ ඇත්තේ තිබෙන සබඳතාවත් පළුදුවීමට කාරණා කටයුතු සිදුවීමයි.

“අපට ඩිස්ටර්බ් වෙනවා කියලා පොඩ්ඩක් වත් හිතන්නේ නැතිවයි අර ගොල්ලා පාටි දාලා  ගෝසා කළේ”

කෝ! අපි ගියාට උන් අපේ  ගෙවල්වල ආවද? බලමුකෝ ඊළඟ සැරේ !

නමුත් මේ සිංහල අළුත් අවුරුද්දයි!

සැ.යු. -මේ සේවා කම්කරු ගණයට  දොස්තර ,ඉංජිනේරු,නීතීඥ,ගුරුවරු,පරිපාලන සේවකයන් ඇතුළු වැටුප් ලබන සියළු රජයේ  හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ඇතුළත් වේ.

Published in: on 2018 අප්‍රේල් 12 at ප.ව. 12:01  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
%d bloggers like this: