අබේරත්න,කිලුටු කුමාරි හා මම (අවසාන කොටස)

                            sam_0687.jpg

        මාලනී නම් වූ ,අබේරත්නගේ බිරිඳ අප මිතුරන්ගේ සැදෑවරු කථාබහේදී ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූ අතර අප විසින් ඇය “කිලුටු කුමාරි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවාය. ළමයෙකුගේ මෙන් වටකුරු  ඇස්,සිනිඳු කන්පෙති හා කුඩා දෙතොල් සහිත පියකරු මුහුණක් ඇයට තිබුණද ඇය ඇද පැළඳ සිටි ඇඳුම්වල මෙන්ම ගතෙහි තිබූ අපිරිසිදු ස්වභාවය පෙනුම නිසා අප මිතුරෝ එලෙසින් ඇයට නම් පටබැඳීමට හේතු විය.උදෑසන දත කට මැද මුහුණ හා වැලමිට දක්වා අත් දෙක සෝදාගැනීමකින්  පමණක් අනතුරුව පෙරදා සවස දවසේ වැඩනිමාවෙන් පසුව වැවට ගොස් නාගැනීමෙන් අනතුරුව ඇඳ ගත්තාවූ පරණ ගොමස්කඩයක් බඳු රාත්‍රි ඇඳුමකට සමාන ඇඳුමින්ම මුළු  දවසේම  කටයුතු වල  ඈ නිරතවෙයි. වතුර, දැළි, මඩ, කඳුළු, කෙළ, දහඩිය, කහට, ඉඳුල්, ලේ යනාදි සියළු දෙයම වැකුණු  එම වස්ත්‍රය අතරින් වුව ඇයගේ දැඩි තන මෙන්ම ඉඟසුඟ හා මනබඳනා උකුලැති ස්ත්‍රී ලාලිත්‍යයද ප්‍රකට විය.නමුත් අප මිතුරන් සෝපාහාසයෙන් පැවසුවේ “කිළුටුකුමාරි ළඟට ගතෑකි වෙල්ල හැලියේ දාලා තම්බගත්තට පස්සේ ” යනුවෙනි.කෙසේවුවද ඇය හැන්දෑවරුවේ නාගන්නා විට ඇඟ ගෑ රාණි සබන් සුවඳ රාත්‍රී කාලය පුරාම ඇයගේ යන්තම් තෙතැති හිසකෙස් පුරාත්, ඇයගේ ගෙල පිටුපසත් සුවඳ දෙමින් පැවතියේය.තවද ආරක්ෂක  සේවාවේ  නිලධාරීන්  ඇතුළුව යම් යම් හා පුද්ගලයන් ඇය කෙරේ ආකර්ෂණව සිටියේ යැයි පැවසුණු අතර කවර කාරණයක් උදෙසා වුවද  එකී පුද්ගලයන් ද බොහෝ විට අබේරත්නගේ නිවසේ ගැවසෙනු දැකීම මටද  හුරුපුරුදු කාරණයක් විය.

            මේ සියල්ල මධ්‍යයේ නාමල්තැන්නේ අපි ගතකළේ යක්ෂයාගේ දත් තිස්දෙක අතරේ ගතකරන්නාක් වැනි ජීවිතයක් යැයි කිවහැකිය.මෙගම හා බාහිර සබඳතා පවත්වා ගත හැකි අයුරින් ත්‍රිකුණාමලයට හා අනුරාධපුරයට යෑමට බස් රථ ගමන් කළේ එක් ගමන්වාරයක් පමණි.හවස හය වන විට පමණ ප්‍රදේශයට පිවිසෙන මාර්ගය වසා දමන අතර  උදෑසන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කරනු ලැබුවේ හමුදා පිකට් එකකින් හෙවත් මාර්ගය දෙපස හමුදා සෝදිසි කිරීමකින් පසුව නියමිත ස්ථානයන්හි රැකවල් තරකිරීමෙන් පසුවය.ඇතැම් දිනවල මෙම හමුදා කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාර එල්ල වන අතර එහිදී තත්වය යථා තත්වයට පත්වන තුරු මාර්ගය විවෘත කිරීම බොහෝ ප්‍රමාද වේ.මාර්ගය වසා දැමීමෙන් පසුව කිසිදු වැසියෙකුට ගමට  ඇතුළුවීම හා  පිටවීම කළ නොහැකි වෙයි.එකළ ජංගම දුරකථන භාවිතයක් නොතිබූ අතර දුරකතන රැහැන් පද්ධතියද කොටින් විසින් විනාශ කර තිබූ හෙයින් ස්ථාවර දුරකතන සබඳතාවක්ද මෙහි නොවීය. අපේ සන්නිවේදන අවශ්‍යතා සඳහා පිහිට වූයේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රේඩියෝ සංඥා මගින් සන්නිවේදනය සිදු කරන්නාවූ  දුරකතනයක් පමණි.                   කොටින් විසින් අවට පිහිටි හමුදා කඳවුරුවලට පහරදී ඒ අසල ගම්මාන වලට කඩා වැදී සැහැසි ලෙස ගම්වැසියන් මරා දැමීම පිළිබඳ තොරතුරු නිබඳව පාහේ ඇසුන අතර ඊළඟ ගොදුර අපි විය හැකියැයි යන බිය නිතරම අප හිත්හි හොල්මන් කළේය.එබඳු පහරදීමක් අද විය හැකිය යන ප්‍රවෘත්තිය බොහෝ විට මෙහි සන්නිවේදනය වූ අතර එවැනි දිනවල අප රැය පහන් කළේ නිවෙස් වලින්  පිට කුඩා වන වදුළු හෝ  වැව් තාවුල්ල හෝ වෙනත් රක්ෂිතයැයි අප උපකල්පනය කළ  තැනකය.මෙබඳු දිනවල රැය පහන් කළේ නිරිවර්ජිතව හෝ අඩ නින්දේ වූ බැවින් මම දහවල් කාලයේ සිහින් ඉතා වේදනා දෙන්නාවූ හිසරදයකින් පෙළෙන්නට වීමි. අඩුම ගණනේ අප උපන් ගම්පළාත්හිදී රාත්‍රියේ ගෙවල් දොරවල් වසාගත් කළ සැනසිල්ලේ නිදාගත්තා නොවේ දැයි කල්පනාවට එද්දී අප ගැන අපටම බලවත් කම්පාවක් ඇතිවිය.කෙසේ නමුත් එවැනි තත්වයක් මැද වුවද හැකිතාක් දුරට එගම්වැසියන් සමඟ ගැවසෙමින්ද,දැනහඳුනාගනිමින්ද,සම්බන්ධතා ගොඩනඟාගනිමින්ද ආතතියකින් තොරව වෙසෙන්නට වෑයම් කළෙමු.

            අද දින යෙදෙන මේ ගමනද එබඳු සබඳතාවයක් නිසා යෙදුනක් විය. මා නාමල්තැන්නේදී හඳුනාගත් එගම්වැසි මිතුරෙකුගේ පියාගේ මරණය සැලවීම නිසා සහභාගී වීම සඳහා යන ගමනකි මේ.නාමල්තැන්නේ දී මා හඳුනාගත් මගේ පැරණි මිතුරන් අතර අබේරත්නද  මල ගෙදරදී හමුවීම මට සතුට උපදන්නක් විය.නිවාඩු පාඩු තැනක එළිමහනේ මධුවිතක් පානය කරන අතරම අපට කතා කිරීමට බොහෝ දේ විය.විවාහ වීම් ,දරුමල්ලන් ලැබීම්,දරුවන් වැඩිවියට පත්වීම්,රැකියා හෝ ආදායම් තත්වයේ වෙනස්වීම්,වයසට යෑම යනාදි වශයෙන් මේ කාලය තුළ අප ජීවිත බො‍හොසෙයින් වෙනස් වීමකට ලක්කර ඇත.නාමල්තැන්න වුව දැන් ත්‍රස්ත භීෂණයෙන් මුළුමනින්ම නිදහස් වී ඇත. දැන් එතුළ ජීවිතය  දකුණේ අන් ප්‍රදේශයක තත්වයට සමානය.

            මේ කතාබහ අතරය මා අබේරත්නගේ උරහිසේ වූ  කැළල දුටුවේ.මුලින් පිළිවෙලක් නැතිව අත් නවන ලද අත් දිග කමීසයක් ඇද සිටි අබේරත්න ටික වේලාවක් යන විට එය උනා අසල වූ ගසක එල්ලා තැබීය. මා දුටු කැළල මඳක් ගැඹුරු වක්‍රාකාර එකක් විය.

            “මොකද්ද අබේරත්න ඔය කැළල”අනෙකුත් මිතුරන් වෙන වෙන මාතෘකා ඔස්සේ කතාබහේ නිරත වන අතරදී මම අබේරත්නගෙන් විමසූවෙමි.

            “ආ! මහත්තයා මේ සිද්ධිය ගැන දන්නේ නැහැනේ” යි කියා ඔහු අරක්කු වීදුරුවක් වත් කරගෙන පානය කළේය. “මහත්තයා දෙදාහේ මාර්තු මාසේ මෙහෙන් මාරු වෙලා ගියා කිව්වනේ.ඒ අප්‍රේල් මාසේදී අපේ ගමට කොටි ගැහුවා.මතකනේ අද ගහයි හෙට ගහයි කියලා අපි අනුමාන කරගෙන හිටි විදිය.එදා මට  දවල් ඩියුටි තිබුණ දවසක්.මේ කොටි බය නිසා සූදානම් ශරීරෙන් ඉන්න ඕන නිසා වැඩිය බිව්වෙත් නෑ.රෑ එක දෙක විතර වෙන කොට කෑම්ප් එකට ගහන අතරේ උන් කට්ටියක් ගමට පැන්නා.,කිරලුන්ගේ ගෝසාවයි, බල්ලන්ගේ ගෝසාවෙනුයි,වෙඩි සද්දෙන් මෝටාර් සද්දෙන් අපි දැනගත්තා මුන් ගමට පැනපු බව.එතකොට අපේ ගෙදර හිටියේ මමයි, ගෑනියි,ළමයි තුන්දෙනයි.බාලයට වයස මාස ගාණක්.අපි කොටියගෙ තිරිසන්කම දැනගෙන හිටි නිසා මම ආරස්සාවට කටයුතු යොදලයි තිබුණේ.”ඔහු තවත් අරක්කු වීදුරුවක් පුරවා ගති.

            “මහත්තයාට මතක ඇතිනේ ඒ දවස්වල අපේ මහගෙදර පිටිපස්සෙන් මම හදපු අළුත් ගෙදර.ඒ දවස් වල කොටි එන ආරංචියට පවුලේ එවුනුත් අරගෙන එහාට මෙහාට වහන්වෙලා ඉදීම ඇති වෙලයි තිබුණේ. අනික උන් අපේ කෙනෙක් අල්ලගෙන වදදීලා මිනිස්සු වහන්වෙලා හිටිය තැනුත් හොයාගෙන මරලා තිබුණා.ඒක නිසා මම කවුරුවත් සැක නොහිතන තැනක් හැංගෙන්න හැදුවා.ඒ ගෙදර කුස්සියේ ලිපට උඩින් දුම් කවුළුව ඇතුළෙ අටුවක් වගේ කොන්ක්‍රීට් ලෑල්ලක් දා ගත්තා.දැන් එදා රෑ කොටි මගේ ගෙදරටත් පැන්නා.ඒ වෙනකොට මම පොඩි එවුනුයි,ගෑනියි ඉනිමං කෑල්ලක් තියලා අර තැනට ගොඩකරවලා,පස්සේ යට ලකුණු මුකුත් නොහිටින්න ලිප ගාව හොඳට හරි ගස්සලා මමත් උඩට නැගලා ඉනිමඟත් උඩට අරගෙනයි හිටියෙ.කොටි පිස්සු බල්ලෝ රැළක් වගේ ගෙට කඩා වැදුණා.ගෙදර කවුරුවත් පේන්න නැතිවෙන කොට උන්ට කේන්තියි.ඒ එක්කම මගේ ග්‍රාමාරක්ෂක නිළ ඇඳුම අහුවුනාම උන්ට තවත් කේන්තියි.උන් ගේ පෙරළ පෙරළා අපිව හෙව්වා.බඩු මුට්ටු පොළවේ ගැහුවා.කුණුහරුපෙන් බැන්නා.”

“ඉතින්?” මම අසා හිටියේ බලවත් විශ්මයෙනි.

“ඉතින්,උන්ගේ මේ කලබැගෑනියට බයවෙලා,නින්ද කැඩිලා ඇහිරිලා හිටිය මාස ගණනේ පොඩි දරුව අඩන්න හැදුවා.එකී ඇඩුවා නම් අපි ඔක්කොම උන්ට අහුවෙනවා. දරුවා හිටියේ ගෑනිගෙ අතේ .මම විගහට ඇගේ කට අතින් තද කරලා වහගත්තා.ගෑනි බය වුනා හුස්ම ගන්න බැරිව දරුවා මැරෙයි කියලා.ඒ වගේම ඒකිගෙ කල්පනාවට එන්න ඇති ඒ දරුවා මගේ නෙමෙයි ඒකි යාළු වෙන මිනිහෙකුගෙයි කියලා මම ඒකිත් එක්ක රණ්ඩු වුන හැටිත්.ඉතින් දරුවගේ කට අතාරින්න කියලා කෙඳිරි ගාලා ඒකී තදින් මගේ උරහිස්ස හපාගෙන හිටියා.”

“මම එහෙමම තිරිසෙනෙක්වත්,මෝඩයෙක්වත් නෙමෙයිනේ මහත්තයෝ.මම දරුවගේ කට තද කරන් හිටියෙ සැරින් සැරේ හුස්ම ගන්න පුළුවන් විදියට ඇඟිලි පොඩ්ඩ පොඩ්ඩ උස් පහත් කර කරයි.අරුන් ගේ ඇතුළේ පෙරළී කරලා අන්තිමේදී සෑහෙන ඈතකට ගියයි කියලා දැනෙන තුරු ගෑනී කිඹුලියක් වගේ මගේ උරිස්ස විකාගෙන ඉන්න වේදනාවත් දරාගෙන මම පොඩි එකී ගැන කල්පනාවෙන් හිටියා.අවදානම නැතිවුනාම ඇගේ කට අතඇරලා ගෑනිට කිව්වා දරුවව හයියෙන්  පපුවට තුරුළුකරගෙන නලවා ගන්නෙයි කියලා.”තවත් අරක්කු වීදුරුවක් වක් කරගත් අබේරත්න එය “ග්ලග්” ,“ග්ලග්” හඩින් උගුරු දෙකට බී හමාර කළේය.

“දැන් ඒ දරුවා ලොකු ඇති “මට ඒ දරුවා දැක ගැනීමට සිත්විය.

“ඔව්!දැන් පෝය දෙකකට කළින් එකී මහදිවුල්වැවට කසාද බැන්දා “අබේරත්න  පිළිතුරු දුනි.

“එතකොට දැන් අබේගෙ පවුලට කොහොමද?”

“එයා දැන් අවුරුද්දකට විතර උඩදි  වකුගඩු අමාරුවෙන් මළා” අබේරත්න තුවාල කැළල අතගාමින් මඳ වේලාවක් සිට පිළිතුරු දුන්නේය.

මම අරක්කු වීදුරුවක් පුරවා ගත්තෙමි

Published in: on 2017 නොවැම්බර් 17 at ප.ව. 4:42  Comments (1)  

අබේරත්න , කිලුටු කුමාරි හා මම (කෙටි කථාවකි-පළමු කොටස)

                                    0fadde0720bd4d0d8d0d71cf822307e7                                   

             මම නාමල්තැන්නට මේ යන්නේ වසර දහ අටකට  පසුවය. අනුරාධපුරයට ගොස් හොරොව්පොතාන හරහා පැමිණ මෙන්ම ත්‍රිකුණාමලයට ගොස් එතැන් සිට අනුරාධපුර පාර ඔස්සේද ගොස් තිරියාය හන්දියෙන් හැරී නාමල්තැන්නට යා හැකි අතර මෙවර මා තෝරා ගත්තේ එකළ වඩාත් අවදානම් වූ ත්‍රිකුණාමලය හරහා වූ ගමනයි.දැන් දිවා රාත්‍රි වෙනසක් නැතිව මේ මාර්ගයේ ගමනාගමන පහසුකම් පවතින බව දැනගත් විට මට සිහිපත් වූයේ මෙයට වසර විසිතුනකට පෙර එනම් අනූව දශකයේ මුල් භාගයේ වසරක මුල්වරට මේ පාරෙන් ගමනක යෙදුනු සැටියි.

            දකුණේ පහළ කෙළවරේ වූ ගාල්ලේ සිට නැගෙනහිර පලාතේ උතුරු මායිමේ ගමකට කුළුදුල් රැකියාවට යෑම මට එකල වික්‍රමාන්විත ක්‍රියාවක් විය.ඇත්ත එය වශයෙන්ම රජය විසින් කළ බලකිරීමක් නොව හුදෙක්ම  මාගේ තෝරාගැනීමක් විය.ඉදින් දිස්ත්‍රික්කයක් තෝරාගැනීමට ලබා දී තිබූ අවස්ථාවේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය එක්වරම තෝරාගත් නමුදු පත්වීම ලැබූ නාමල්තැන්න ප්‍රදේශය එයට පෙර ලංකා සිතියමක වුවද දැක නොතිබිණි.අඩු ගණනේ එහි යා හැකි ආකාරය නොදැන සිටි මා එවකට කන්තලේ ප්‍රදේශයේ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටි මගේ යෙහෙළියකගෙන් උපකාර පතා සිටියෙමි.ඇය මා හට උපකාර  කිරීමට ඉදිරිපත් වූ බැවින් මම මුලින්ම කන්තලේ බලා ගියෙමි.කෙසේ වුවද කන්තලේ සිටි මගේ යෙහෙළියගේ  හිතවතුන් කිසිවෙකු නාමල්තැන්නට ගොස් නොතිබූ අතර ,මට එහි සේවය යෑමට සිදුවී තිබීම පිළිබඳව ඔවුහු බලවත් කම්පාවට පත්ව පත්වූහ.මක්නිසාද යත් නාමල්තැන්න වූ කලී එකල ඊනියා ඊළාම් රාජ්‍යයේ මායිම් ගම්මානයක් ලෙස ලකුණු වී තිබූ නිසාය.නමුත් සැබවින්ම මෙගම ඊළාම් සිතියමේ ලකුණු වී තිබුණේ මායිමේ නොව එයට බොහෝ ඇතුලතය!ඉදින් මෙහි හිතවතුන්ගේ මඟපෙන්වීම මත ඇත්ත වශයෙන්ම නාමල්තැන්නට නොගොස් අඩුගණනේ කන්තලේට මාරුවීමක් ලබාගැනීමට නිරර්ථක වූ වෑයමකද මම යෙදුන බව මෙහිදී කිවයුතුවේ.කෙසේ වුවද අන්තිමේදී වැඩ භාර ගතයුතු අවසන් දිනය එළඹුණෙන් මට අනිවාර්යයෙන් නාමල්තැන්නට යායුතු  විය. දෛවයෝගයකින් මෙන් මෙහි කථානායක වන අබේරත්න මට මුණගැසුණේ එතැනිණි.

            නාමල්තැන්න වැසියෙකු  වූ අබේරත්න නැමති මගේ සගයාට ඇතිවූ රෝගී තත්වයක් නිසා එම ප්‍රදේශයේ ග්‍රාමීය රෝහල වෙතින් ළඟම පිහිටි ප්‍රධාන රෝහල වූ ත්‍රිකුණාමළය රෝහලට ඔහු යොමු කරනු ලැබුව තිබුණද ඔහු තමාගේම කැමැත්තෙන්  කන්තලේ රෝහලට ඇතුළත්ව තිබුණි.මෙයට හේතුව එක්වරම මට පැහැදිලි නොවූ නමුත් නාමල්තැන්න යන පළමු දිනයේදීම  අබේරත්න ඒ සඳහා පෙළඹුවූ  කරුණු මට මනාව පසක් විය. අබේරත්න මා හට සම්බන්ධ කර දෙනු ලැබුවේ මගේ මිතුරියගේ නවාතැනේ හිමිකරුවන් විසිනි.එම පවුලේ එක් දියණියක් කන්තලේ ග්‍රාමීය රෝහලේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කරනු ලැබූ අතර මා මුහුණ පා සිටි ගැටළුව ගැන අවබෝධයෙන් සිටි ඇය විසින් අබේරත්නගේ විස්තරය දැනගත් පසුව ඔහු හා මා සම්බන්ධ කරනු ලැබීය.

            ඉතින් ජනවාරි මාසයක අග දිනයක උදෑසනක අබේරත්න හා මම නාමල්තැන්නට යනු පිණිස කත්තලෙන් බස් රියක නැග වෙහෙසකර ගමනකින් පසුව ත්‍රිකුණාමල නගර බිහිදොර ඇත්තාවු අනුරාධපුර හන්දියෙන් බැස ගතිමු.දවස තවම නැවුම් වූ අතර ,වේලාව උදෑසන නමය පමණ විය.එහෙත් අබේරත්න බොහෝ කලබලව සිටියේය. “කීයද මහත්තයා වේලාව?”, යැයි බසයේදී කිහිප විටක්ම මගෙන් විමසා සිටි අතර, බසයෙන් බැස්සේද මාවත් ඇදගෙන යැයි  කිව හැකි කලබලයකිනි. අනුරාධපුර හන්දියෙන් බැස ගත් පසු ඔහුගේ කලබලය තවත් වැඩිවූ අතර හන්දියේ ඒ අතට මේ අතට කිහිප  විටක් දිව ගොස්  එහි සිටි අයගෙන් යමක් විමසනු ද දක්නට ලැබුණි.අන්තිමේදී මැළවුණු මුහුණින් යුතුව මවෙතට පැමිණි ඔහු “හරි වැඩේනේ මහත්තයා බස් එක ගිහිල්ලනේ !” යනුවෙන් පැවසුවේය.මෙතෙක් පැමිණි ගමනේ වෙහෙසකාරී ස්වභාවය නිසා තෙහෙට්ටුවට පත්ව සිටි මට එය එතරම් පසුතැවිලි වන්නට කාරණක් සේ නොපෙණුනි.තේ කෝප්පයක් පානය කර නිවාඩු පාඩුවේ යා හැකියැයි හිත යටින් සතුටු වෙමින් මම එහිදී කියා සිටියේ ‘ඉතින් අපි ඊළඟ බස් එකේ යමු’ යි යනුවෙනි.මා උඩ ගොස් බිම වැටුණේ අබේරත්න ඊට දුන් පිළිතුර ඇසීමෙනි. “අද දවසට යන්නේ ඔය බස් එක විතරයි.ඊළඟ  බස් එක ආපහු හෙට උදේට තමයි තියෙන්නේ!”

            ඉනික්බිතිව මා ගල්ගැසී මෙන් සිටියදී ඔහු කඩියෙකු මෙන් හැසිරෙමින් පාරේ යන නොයෙකුත් වාහන වලට අත දමමින් ඒවා නවත්වා ගැනීමට උත්සාහ දැරීය.ඇතැම් වාහන නොනවත්නා යද්දී තවත් වාහනයක් මඳක් වේගය බාලකරනා අතර ඔහු හා යමක් පවසා නැවතත් ගමනේ යෙදෙනු මම ඔහේ බලා සිටියෙමි.අවසානයේදී වාහනයක් නවත්වා ගැනීමට ඔහු සමර්ථ විය. ඒ මාර්ග කම්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි පිටුපස විවෘත තට්ටුවක් සහිත කුඩා ලොරියකි.තම ගමන් බෑගය ඒ තුළට විසිකළ අබේරත්න කඩිනමින් ඒ තුළට ගොඩවී මවෙතට අත දිගුකර විට එහි එල්ලුනු මා වහා ලොරි තට්ටුව වෙතට ඇද ගත්තේය.පවනට බඳු වේගයෙන් ධාවනය වන  විවෘත රථ‍යේ ඇන්දක මා එල්ලී සිටියේ ඉතා අසීරුවෙනි.පාරේ තිබූ යෝධ වල ගොඩැලි මතින් පිම්මේ යනවිට මා එළියට විසිවී නොයෑම වැලකුණේ ප්‍රාතිහාර්යකින් මෙනි!කෙසේ වුවද එලෙස අප ගමන මඳ දුරකින් අවසන් විය.කම්කරුවන් අළුත්වැඩියා කළ යුතුව තිබූ මාර්ග කොටස වෙත පැමිණීමෙන් පසුව ලොරි රථය එතැන නතර කරන ලදී.දැන් අපි යළිත් මහත් පාළු ස්වභාවයක් ඉසුළු මහ පාරේ  අප ගමන් බෑගයන් බිම තබා ඒ මත වාඩි වී වාහනයක් එනතුරු මඟ බලමින් සිටියෙමු.කෙසේ අපේ ගමනේ දෙවන පියවර ලෙස යාපනය බලා දිවෙන පිටි ලොරියක පිටුපස කුඩා ඉඩක වාඩිලා ගෙන තිරියාය හන්දිය තෙක් පැමිණි අතර එතැන් සිට පසුව දැනගත් පරිදි ගමනේ අනතුරුදායක කොටස  හරකුන් ප්‍රවාහනය කරන ලොරි රථයකද  කිලෝමීටර පහක පමණ දුරක් වූ අවසාන කොටස  පාගමනින්ද තරණය කළෙමු.එසේම මා මෙතෙක් අත් නොවිඳි අත්දැකීමකටද මුහුණ දීමට සිදුවී තිබීම මගේ ගමනේ විඩාව දෙගුණ තෙගුණ කළේය. එය නම් පාරේ තිබු හමුදා සෝදිසි මාර්ග  බාධකයන්ය.මා පැමිණි ගමනේ එවැනි මුරකපොළු පහ හයක් පමණ තිබූ අතර ඒ සෑම තැනදීම වාහනයෙන්  බැස මද දුරක් පෝලිමේ ඇවිද ගොස් ගමන් මළු හා  ශරීර පරීක්ෂාවකට ලක්විය යුතු විය.මඟීන් පරීක්ෂා කිරීමෙන් පසුව ආරක්ෂක හමුදා භටයන් වාහනය සෝදිසි කිරීමකට ලක් කරයි.එතෙක් අපි  ආරක්ෂක සීමාවෙන් ඔබ්බේ රැඳී සිටිය යුතුය.වාහනය සෝදිසියෙන් පසු එය පැමිණිවිට එයට යළිත් ගොඩවිය හැකිවේ.සෑම මුරපලකදීම මේ සෝදිසි කිරීම් එතැනින් එහා මෙහා යෑමේදී සිදුකෙරේ.මුලින් පැවසූ පරිදි අබේරත්න කන්තලේ දී කියූ කථාව මනාව සක්සුදක් සේ පැහැදිලිව තිබුණි. “අපේ ගම් පළාත් වල ගමන් බිමන් හරි දුෂ්කරයි.ඒකයි මගේ මාමා කෙනෙක් ඉන්න කන්තලේට ඇවිදින් එහේ  ඉස්පිරිතාලේ නැවතුණේ. එහෙම නැතිනම් ලෙඩාව බලන්න එහාටමෙහාට යන එක ගෙදර උදවියට මහ වදයක්.”

            කැලෑ කුට්ටි අතරේ මැටි බිත්ති හෝ විශාල රතු ගඩොලින් බැද එහෙත් කපරාරු නොකරන ලද බිත්ති මත මානා හෝ ඉළුක් හෙවිලි කළ වහලින් යුතු නිවෙස්, දුහුවිල්ලෙන් හා ගොම වලින් පිරුණු බොරළු පාර ,දැඩි පෑවිල්ලෙන් හේ බා ගිය ගහකොළ, මහමඟ මැද්දේ පවා තැනින් තැන නිදැල්ලේ ලැග සිටින  ගව රංචු, උඩුකය නිරුවත්ව හෝ හෙලුකොට්ටෙන්ම එහේ මෙහේ දිව යන පොඩි එවුන්, මා හඳුනාගත් අබේරත්න මෙන්ම කළු,කෙසඟ හා දැඩි හිරු රැසින් වියලී ගිය මුහුණින් හා ගතින් යුතු තවත් පිරිමි හා ගැහැණුන්ගෙන් යුත් එගමට ඇතුල්වන විට මට හැඟුණේ ස්පීල්බර්ග්ගේ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයක දැක්වෙන ආකාරයේ ගම්මානයකට සැබවින්ම පිවිසුණාක් මෙනි.කෙසේ වුවද නවාතැනක් සොයාගන්නා තුරු මා හට තම නිවසේ නවාතැන් දීමට ඉදිරිපත් වීම මට මහත් අස්වැසිල්ලක් විය.

            අබේරත්නගේ නිවසද මා දුටු අනෙකුත් නිවෙස් මෙන් මැටියෙන් තනා ඉළුක් සෙවිලි කර තැනූවක් වුවද එයට පිටුසින් නව නිවසක් තැනීම සඳහා අත්තිවාරම් දමා වැඩ අරඹා තිබුණි.එය රජයේ ආධාර හා තම ශ්‍රමය මත  නිම කෙරෙනා දඹ ගඩොලින් හා උළු වහලෙන් යුතුව තැනෙන  කුඩා නිවසක් විය.කුඩා කුඹුරු කැබැල්ලක් පවුලේ උරුමයෙන් ලැබී තිබුණද අබේරත්නගේ පවුලේ ප්‍රධානතම ආදායම් මාර්ගය වූයේ ඔහු ග්‍රාමාරක්ෂක වෘත්තියෙන් ලබනා වැටුපයි.ඒ හැරෙන්නට අවට කැලෑවේ හොල්මන් කරනා කොටි ත්‍රස්තයන් මෙන්ම කැලෑවේ මර උගුල් හා වන අලින්ගෙන් සිදුවිය හැකි විපත් නොතකා දඩයමේ යෑමට නිර්භීත තැනැත්තෙකු වූ ඔහු විසින් දඩමස් ජාවාරමද සිදුකරන ලද බව පසුව දැනගන්නට ලැබුණි. අමු හෝ වියලන ලද ගෝන මස් සඳහා ප්‍රදේශයේ වැඩි ඉල්ලුමක් හා රුචිකත්වයක්  පැවති අතර එය අබේරත්න කළ සුලභ සැපයුමක් විය.ප්‍රමාණවත් තරමට ගෝන මස් සපයා ගත නොහැකි වූ විට එයට කැලෑ හරකුන්ගේ මස් ද එක්කරනා බව විටෙක අබේරත්න මට පැවසූ අතර ගනුදෙනුකරුවන්ට ඒවා ගෝන මස්  යැයි ඒත්තුගන්වනු පිණිස කපා ගෙන තිබූ ගෝන වලිගයක් එකී මස් සමඟ ප්‍රදර්ශණය කරන්නේ යැයිද ඔහු පැවසීය.ගෝන මස් පමණක් නොව කෑමට ගත හැකි ඕනෑම මසක් ඔහු විසින් සපයන ලදී.තලගොයින්,කොක්කුන් පමණක් නොව වැව් මාළු සැපයීමද අබේරත්න විසින් සිදුකරන ලද අතර මහ වැව වතුරෙන් පිරී ගිය විටෙක එහි කිමිද වරෙකට දෙදෙනා බැගින් විශාල මිරිදිය ඉස්සන් පණ පිටින් උන්ගේ අඩු වලින් අල්ලා රැගෙන විත් තරු පහේ හෝටලක සූපවේදීයෙකු පරදන අයුරින් මනා රසැති කට ගැස්මක් පිළියෙල කිරීමටද හේ සමත් කමක් දැක්වූවේය.

            කෙසේ වුවද කැලෑ නිලධාරියෙකු වශයෙන් එබඳු තැනක විසීමේ අයෝග්‍යත්වයක් පවතී යැයි මට හැඟුණ හෙයින් ද, අබේරත්නගේ නිවසේ පැවති පැවති ආහාර පුරුදු මට පත්‍ය නොවූ බැවින්ද අමනාපයකින් තොරව ටික දිනකට පසුව වෙනත් නවාතැනක් කරා මම ගියෙමි.මේ වන විට අළුත් නවාතැනක් සොයාගැනීම අපහසු කරුණක් නොවුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විවිධ නිලධාරීන් ලෙසින් හා අවට පාසල් සඳහා පත්ව පැමිණි සිටි ගුරුවරුන් ඇතුළු පිට පළාත් වලින් පැමිණ සිටි මා වැනිම තවත් කණ්ඩායම් දැන හඳුනා ගැනීමට ලැබීම නිසාය.ඉදින් අප කිහිපදෙනෙකු එක්ව ලෙහෙසියෙන්ම චමරියක් ඇති කරගැනීමට හැකි විය.

            මේ අතර අබේරත්නගේ නිවසේ පදිංචිය අතහැර දැමීම සඳහා මා පෙළඹවූ තවත් හේතුවක් වූයේ අබේරත්න හා ඔහුගේ බිරිඳ අතර ඇතිවූ නිරන්තරව හා අනවරතව ඇතිවූ ගැටුම් හා කලකෝළහන්ය.අබේරත්නට නයිට් ඩියුටි නොවැටෙන සෑම දිනකම පාහේ සැන්දෑවේ  හෝ රාත්‍රියේ  ඔහු නිවසට ගොඩවන්නේ සුරාවෙන් මත්ව අවසිහියෙන් මෙනි.එතැන් පටන්  කුමන හෝ කරුණක්  මත මේ දෙමහල්ලන් අතර ඇතිවන ආරවුලක් රාත්‍රියේ දිගු වේලාවක් යනතුරු ඇසෙයි.අබේරත්නගේ බිරිඳ ද අබේරත්නට දෙවන නොවූවාය.ඇයද කටු අත්තක් සේ ඔහු සමඟ පැටලෙමින් කර්කෂ සේ ගැටුණාය.                               (………………………………………….ඊළඟ  කොටසට)

                                                                                                           

Published in: on 2017 නොවැම්බර් 15 at පෙ.ව. 3:44  Comments (4)