දුපතෙන් එළියට ගිය සිංහලයෙක්……….!

 සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් මියුසික් බෑන්ඩ් එක අප මුලින්ම සජීවී ලෙස දුටු දින තාමත් මතකය.ඒ එක්දහස්  නමසිය අසූ ගණන් වල මැද හරියේ අපි පැඟිරි කොල්ලන්ව සිටි සමයේදී ය. ඒ දවස්වල ගාල්ලේ සංඝමිත්තා බාලිකාවේ “නිල් දිය රැල්” නමින් කානිවල් එකක් වාර්ෂිකව පැවැත්තුවා. ‘අන්න  කානිවල්’ ඒවාට තමයි කානිවල් කියන්නේ.කොන්වන්ට් එකෙනුත් මොකද්ද ඉංග්‍රීසි නමක් දමපු කානිවල් එකක් පැවැත්වුව නමුත් අපට ඒවා එච්චර දිරෙව්වේ නැත.මොකද කිවුවොත් සිස්ටර් කොල්ලන් දෙස බලන්නේ  පොලීසිය හොරුන් දෙස බලන ආකාරයටය.අනිත් එක මොකක් හෝ මගෝඩි වැඩක් වුන විට එය පැටවෙන්නේ අල්ලපු ඉස්කොලේ අපි පිටය.එවැනි විටෙක සිස්ටර් ඇතුළු ගුරු මණ්ඩලයම “ඕක කරන්නේ ඇත්තේ කොලේජ් එකේ ළමයි තමයි, අපි දැක්කා ඒ කට්ටියක් ඔය හරියේ ඉන්නවා ……..”  යැයි එක හඬින් කියා සිටිති.(ඇත්ත වශයෙන්ම ඒ ගෞරවනීය ආචාර්යතුමියන්ලාගේ උපකල්පනය බොහෝ අවස්ථාවලදී බොහෝ දුරට නිවැරැදි වූ බව අප අවංකව පිළිගත යුතුය.)ඉතින් නිල් දියරැල් එකට ආපහු ගියහොත් මට මතක හැටියට එය දින හතක් විතර එක දිගට පැවැත්වෙනවා.උදේ සිට හවස් වන තෙක් පාසල් ප්‍රදර්ශනය ,රෑට මියුසිකල් ෂෝ එක.එහි එක දිනයක තමයි  සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් ආවේ.ඇත්තටම ඒ දවස්වල ජිප්සීස් කියන නමත් අමුතුයි “ජිප්සීස් ; අහිගුණ්ඨිකයෝ…..!“. අපි අහලා තිබුණේ  මූන්ස්ටෝන්ස් ,ගෝල්ඩන් චයිම්ස්,සියැක් වගේ බෑන්ඩ්.

ප්ලේ කරද්දී අනිත් බෑන්ඩ් වගේ නෙමෙයි ජිප්සීස්ලගේ විශේෂත්වයක් තිබුණා.කොළඹදී තනිකරම ඉංග්‍රීසි සින්දු කිව්ව ජිප්සීස්ලා කොළඹින් පිටදී ඉංග්‍රීසි සින්දුවක් හා සිංහල සින්දුවක් මාරුවෙන් මාරුවට කිව්වා. අපි BONEY-M, ABBA,BEE GEES,UB 40, PET SHOP BOYS,QUEEN වගේ බෑන්ඩ් වල සින්දු වගේම බොබ් මාලේ,Stevie Wonder,ලයනල් රිචී,බ්‍රයන් ඇඩම්ස් ,Elton Jhon,Boy George වගේ Sole Singers ලගේ සින්දුත් අහන්න පටන්ගත්තා.Boney-M ලගේ By The Rivers of Babylon ,Rasputin වගේ සින්දු ජිප්සීස්ලා කියනවා අහලා ඇතිවනු ආසාවට අපි ඒ සින්දු වල Originals සොයාගෙන ගියා.ඒවායේ lyrics කියවන්නට පටන්ගත්තා.ඒ සින්දුවල පසුබිම හොයාගන්න ඉංග්‍රීසි පත්තර,සඟරා ,පොත් වැඩි වැඩියෙන් කියවන්නට පටන්ගත්තා.එතකොට  එක අවස්ථාවකදී මම දකිනවා By The Rivers of Babylon  කියන ගීතයේ නිර්මාණය කරලා තියෙන්නේ HOLY BIBLE (ශුද්ධ වූ බයිබලය) එකේ එන පසම් ගීයක් එසේ නැත්නම් ලතෝනී ගීතයක් ආශ්‍රයෙන් බව.එහි එන ඇතැම් දරුණු පද සියුම් ලෙස  කිසිදු ජාතියක සිත් නොරිදන සේ වෙනස් කරලා.ඒ පසම් ගීතයෙන් විස්තර කරන්නේ පොරොන්දු දේශයේ නැතිනම් යුදෙව් රාජ්‍යයේ එසේත් නැත්නම් නූතන ඊශ්‍රාලයේ උපත ගැන.Rusputin ගැන කියවද්දී රුසියාවේ සාර් රජවරු ගැන,රාජකීය වෛද්‍යවරු ගැන සොයන්න පෙළඹුනා.ඒකෙන් ඕනෑම රටක ඉන්න පුළුවන්  රජා රවටන් ඉන්න  කපටි රාජකීය වෙද්දු,මෑණිවරු ගැන දැනුමක් සොයාගත්තා.ඒ වගේම  Scorpions බෑන්ඩ් එක ඒ අයගේ “Winds of Change” කියන පදමාලාවේ එන “Follow the Moskva,Down to the Gorky Park…………….”වචන ඔස්සේ ගිහිල්ලා පෙරස්ත්‍රොයිකාවෙන් සිදුවුනු සමාජ පෙරලිය බර්ලින් තාප්පය බිඳවැටීම,ලෝක බල තුලනය වෙනස්වීම මේ විදියට ගීතයකින් ගයන ආකාරය ගැන පුදුම හිතුණා.

මේ විදියට කියන්න ගියොත් ගොඩයි.බොබ් මාලේගේ Buffalo Solder වගේම Get Up; Stand up  වගේ ගීත වලින් කියන Black Americans ලගේ පරම්පරා කථාව.අප්‍රිකාවේ පවුල් වලින් පැහැරගෙන යුරෝපයට ගෙනත් විකුණපු කළු මිනිස්සුගේ ඉරණම. මේ ගීතවල කොච්චර ගැඹුරක් තියෙනවද?ලෝකය කොපමණ විශාලද?එතකොට තමයි තේරුම් යන්නේ දැන් හැදෙන සිංහල සින්දුවලට සිද්ධ වෙලා තියෙන දෙය.අහලා බලන්න ඒ සින්දු ඔක්කොගෙම තියෙන්නේ එකම සීමිත සිදුවීම් කිහිපයක්. අතලොස්සක් වූ වචන ගණනකින් පොල්ලෙන් දමලා ගැහුවා වගේ කෙලින්ම කියලා දාන හැටි අහන්න.අඩුගණනේ වචනයකට තියෙන තවත් සමාන පද ගැනවත් සොයාබැලීමක් නෑ.ඒකෙන් වැටහෙන්නේ මේ සින්දු රචකයන් හරියට සිංහල ඉගෙනගෙන  නෑ.කිසිම සාහිත්‍යයක් කියවලා නෑ.ලෝකේ රටේ ඇවිදලා නෑ.නිකමටවත් අකුරු තියෙන  පොතක් කියවන්න උනන්දුවක් නෑ.අඩුගණනේ හරි හමන් මිනිස්සු එක්ක කථාබහක හරි යෙදිලා  නෑ.ඉතින් ඒ සින්දු ඇහෙනකොට මතක් වෙන්නේ ඉස්සර මලගෙවල්වල කියවපු ශෝක ප්‍රකාශ කවි.සමාජ මාධ්‍යයක තැනක කියලා තිබුණ විදියට ,ගෑණුන්ට කරන යාදිනි…………!.

ඉතින් සුනිල් පෙරේරාට මම ස්තුති කරන්නේ ඔබතුමා එක්තරා කාලයකදී ශ්‍රී ලාංකික මධ්‍යම පාංතික තරුණයන්ට මේ දූපතෙන් එහා තිබුණු ලෝකයක් සංගීත කලාව ඔස්සේ පෙන්වා දුන් කලාකරුවෙක් වූ නිසයි.මට ඔහු ගැන කියන්න ඇත්තේ එපමණයි.මම මතක තියාගෙන ඉන්නෙත් එච්චරයි.

සුනිල් පෙරේරා මහතාගේ ආත්මයට සුගතියක් ම සිදුවේවා  ! 

Published in: on 2021 සැප්තැම්බර් 6 at ප.ව. 3:29  Comments (3)  

බර සැහැල්ලුව හා ජාතීන්

                             ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා විසින් පවත්වන දේශනයක් අතරතුර සමාජ විද්‍යාව අවධානය යොමුකරන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ කළ කථාබහකදී මෙරට එක් එක් සමාජ කොටස් හි ඇවතුම් පැවතුම් ගැනද සාකච්ඡා කරනු ලැබීය. ඒ අනුව දකුණේ මිනිසුන්ගේ ආවේනික ආහාරයක් වූ මාළු ජාඩි දැමීම මෙන්ම මිරිස් මාළු සමඟ ගාන ලද පොල්  කෑම (ඇත්ත වශයෙන්ම හැම මාළුවක් සමඟ නොව බලයා,කෙලවල්ලා වැනි ඌෂ්ණ යැයි සැලකෙන මාළු වර්ගයක් සමඟ) ලංකාවේ අනෙක් ප්‍රදේශවලදී දැකිය නොහැකි බව මහාචාර්ය තුමා පවසා සිටියේය.එමෙන්ම උතුර දෙසට යොමුවූ කථාබහේදී ප්‍රභාකරන්ට පෙර  පැවති යාපනය මෙන්ම පශ්චාත් යුදමය යාපනය පිළිබඳව විස්තර කරනා අතර යාපන දෙමල වැසියන්ගේ වැසිකිලි පුරුදු ගැනද යම් තරමකින් සාකච්ඡා විය.අපේ ගම්බද පලාත්වල ඇතැම් මිනිසුන්ගේ වැසිකිලි වලට වතුර ගෙන යන භාජනයේ බැඳී ඇති කොළ පැහැති  දියසෙවෙල මඟින්ම අපි එම සෞඛ්‍ය ස්වස්ථාවය ගැන දක්වන ආකල්පය ප්‍රදර්ශනය නොවන්නේ දැයි අසා සිටි ඒ මහතා  ඊට වෙනස්ව යාපන වැසියන්ගේ නිවෙස්වල පිරිසිදු වැසිකිලි දැකිය  හැකි යැයි පවසා සිටියේය.

              මහාචාර්යතුමන්ගේ මෙම අදහස් දැක්වීමත් සමඟ මටද දෙමල මිනිසුන්ගේ වැසිකිලි භාවිතය පිළිබඳ මගේ අත්දැකීමක් ද සිහිපත් විය.ඒ මීට කලකට පෙර කොළුගැටයෙකුව සිටි අවධියේ තවත් මිතුරෙකු සමඟ ගාල්ලේ සිට තලවකැලයටත් එහා ඩයගම දක්වා මෝටර් සයිකලයකින් ගිය ගමනක පරිදිය.අපි රටතොට සිරි නරඹමින් නිවීසැනසිල්ලේ යමින් පළමු දින අවසානයේ  නුවර දළදා මාලිගාව අසල පිහිටි තරුණ බෞද්ධ සංගමයට අයත් විශ්‍රාම ශාලාවේ වෙන්කරගත් කාමරයක ලැඟුම් ගත් අතර ඊලඟ දින  ගත කළ යුතුව තිබුණේ ඩයගම සිටියාවූ අප දෙමල මිතුරෙකුගේ නිවෙසකය. නිවසක් කීවාට  කඩහිමියෙකු වූ ඔහු හා බිරිඳ පදිංචිය සඳහා භාවිතා කළේ ද කඩකාමරයේ පිටුපස කොටසකි.අපටද ඒ කඩයේම තැනක නවාතැන් පහසුකම් සලසා තිබුණ අතර එහිදී මගේ සිත තුල බුර බුරා නැඟුණ ගැටළුව වූයේ මෙහේ වැසිකිලි පහසුකම් කොහොම ඇතිද? යන්නය.ඉන්දියාවේ මිනිසුන්ගේ මලපහකිරීමේ පුරුදු ,වෙරළ තීරය ,මහමඟ හෝ අවශ්‍යතාවය අනුව ඕනෑම ස්ථානයක් ඒ සඳහා භාවිතා කිරීමට නොපැකිලීම ,ප්‍රසිද්ධ වැසිකිලිවල කුප්‍රසිද්ධ අපිරිසිදුකම දැන සිටි මා පසුතැවුනේ ඉන්දියාවෙන් පැවත එන මොවුන්ගේ තත්වය කෙසේ වේද යන්නය. මරන්නට ගෙන යන ගවයෙකු සේ ඔවුන්ගේ වැසිකිලිය වෙත ගිය මම පුදුමයෙන් පුදුමයට පත්වුනෙමි.නිවසින් බැහැර වෙනම කොටසක තිබූ මෙම වැසිකිලිය අවට පරිසරය දිනපතා අතුපතා ගා පිරිසිදු කරන බවක් පෙනුනි.උක්කුටික පෝච්චියක් යුක්ත  වූ වැසිකිලි කාමරයේ බිත්ති පාට දෙකකින් වර්ණ ගන්වා තිබුණ අතර ඒ වර්ණ දෙමළ ජනයා රුචි බවක් දක්වන දීප්තිමත් රතු හා  දීප්තිමත් කෙසෙල් දල්ලේ කොල පැහැයෙන් යුතු වූ බව අදටත් මතකය.එසේම එහි පාදම දෙපස  උතුරා යන ජලයෙන් යුතු සිමෙන්තියෙන් බඳින ලද වතුර ටැංකි දෙකක් තිබූ අතර ඒ අසල වතුර ගැනීම පිරිසිදු හා විවිධ ප්‍රමාණයෙන් යුතු සෙම්බු ,තාලි කිහිපයක් හා සබන් යනාදිය ද එහි තබා තිබුණි.එසේම මෙහි පිරිසිදු කටයුතු නිතිපතා සිදුකෙරෙන බව මනාව පැහැදිලි විය.

                                                     එසේම පසු කලෙක මේහා සමාන අත්දැකීමක් අනුරාධපුරයේදී ලැබුවෙමු.ඒ නිවෙසක වැසිකිලි සම්බන්ධව නොවේ.ප්‍රසිද්ධ වැසිකිලි සම්බන්ධයෙනි.ඒ  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැවටත් එහා ගමක රාජකාරී කළ වකවානුවකය.නිවාඩුවට ගෙදර ඇවිත් යලිත් රාජකාරියට  යාමේදී අපි එකල භාවිතා කලේ කොළඹ සිට ත්‍රිකුණාමලය හරහා යෑමේ පහසු මාර්ගය නොව දෙමල කොටි තර්ජන නිසා වැඩි ආරක්ෂාව පිණිස කොළඹ සිට අනුරාධපුරයට නයිට්මේල් දුම්රියෙන් ගොස් එතැන් සිට හොරොව්පතාන හරහා ත්‍රිකුණාමලය දෙසට යනාදි වූ මාර්ගයයි.ඉතින් මමත් මගේ තව මිතුරෙක් ද කොළඹ කොටුවේ සිට නයිට්මේල් දුම්රියට නැඟ  පසුදා උදෑසන හතර පමණ විට අනුරාධපුරයෙන් බැස ගන්නෙමු.අනුරාධපුරයෙන් හොරොව්පතානට යන මුල්ම බස්රථය පිටත්වන්නේ උදේ හතට පමණය.එතෙක් වෙලාවක් අතන මෙතන තැග් ගැහැමින් සිටින අපි  ප්‍රසිද්ධ වැසිකිලි විවෘත කරනා තුරු පුල පුලා බලා සිටින්නෙමු.මුලදී කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිලිය හා ගුණසිංහපුර වැසිකිලියට ගොස් තිබූ අපි ප්‍රසිද්ධ වැසිකිලියකට යනවාට වඩා මලබද්ධය සෑදී අපායට යෑම වඩාත් හොඳ වේ යැයි සිතා සිටි සමයකි මේ .එහෙත් මෙහි ඇතැම් වැසිකිලිවලට ගියවිට පුදුමයෙන් ඇහි බැම උඩ යන්නේය.එහි ඇතුල්වන ආලින්දය වැනි කොටසේ දේව රූප එල්ලා පහන් පත්තුකර,  දැඩි සුවඳක් ගෙන විශාල හඳුන්කූරු දල්වා තිබුණි.කැසට් රේඩියෝවක සුසර කර තිබූ රේඩියෝ චැනලයකින් දකුණු ඉන්දීය තාලවලින් යුතු සංගීතය ගලා එයි.වැසිකිලි මනාලෙස පිරිසිදු කර තිබූ අතර දෙමල ජාතිකයෙකු යැයි මනාව පෙන්නුම් කරන එය කලමනාකරණයකරන  පුද්ගලයා විටින් විට ඇතුලත තත්වය සොයා බලමින් සෝදා පවිත්‍ර කිරීම් ද කරන ලදී.තවද මුහුණ කට සේදීමට වෙනම සින්ක් එකක් හා ඒ අසල සබන් කැටයක් පමණක් නොව පවුඩර් ටින් එකකුත් තිබුණා මතකය. අපි ඇතැම් විට අවඥා සහගත නාම විශේෂණ පදයක් යොදමින් හඳුන්වන දෙමළ මිනිසෙකුගේ වෘත්තීය හැසිරීම මේ විය.

             මේවාට මඳක් වෙනස් ඊළඟ අත්දැකීම බදුල්ල පැත්තෙනි.ඒ සේවා ස්ථානයක මිතුරු මිතුරියන් පිරිසක් සමඟ වෑන් රථයක් කුළියට ගෙන ගිය විනෝද චාරිකාවකදීය.වෑන් රථය මුස්ලිම් ජාතිකයෙකුට අයත් එකක් වූ අතර රියදුරා වූයේ එකී හිමිකරුමය.ඔහුගේ නම ඉම්රාන් වූ බව යන්තම් මතකය.අපගේ රෑ නවාතැන ලෙස සැලසුම් කර තිබුණේ එක්තරා රජමහා විහාරයක විශ්‍රාම ශාලාවයි.නමුත් එහි නවාතැන් ගැනීමට සිතා එහි වැසිකිලි පහසුකම් දෙස බැලූ විට තරු විසිවිණි.නාසයක් ඇතිව ඒ දෙසට කිට්ටු වීමට  නොහැකි වූ අතර   අශූචි ගොඩවල් නොපාගා ඒ තුළට ඇතුල්වීමට කිසිඳු ඉඩක් තිබුණේ නැත.වැසිකිලි පේලියක්ම තිබුණ මුත් ඒ හැම එකකම තත්වය ඒ ආකාර විය.විශ්‍රාම ශාලාවේ නවාතැන් ගැනීමට හිත හදාගත නොහැකි මා නිදාගැනීම පිණිස වෑන් රථයට ආවෙමි.එහි සිටි රියදුරු ඉම්රාන් ‘ඇයි සර් මොකක්ද ප්‍රශ්ණය ?කියා ඇසුවේය.අපේ ප්‍රශ්ණය අසා සිටි ඔහු මෙලෙස පැවසීය.  “ඉතින් සර් අපි බාල්දියක් දෙකක් , තව කොස්සක් ඉදලක්   හොයාගෙන වැසිකිලියක් දෙකක් හොඳට හෝදලා ගනිමු.මමත් එන්නම්”

එතෙක් වේලා  අප්‍රසන්න ලෙස වැසිකිලි භාවිතා කළ විශ්‍රාම ශාලාවේ නවාතැන් ගත්තාවූ  උපාසක උපාසිකාවන්ටත්,යම් මුදලක්  පවා අයකරගන්නා නමුත් මේ නවාතැන් ගත්තාවූ ඇත්තන්ගේ අවම සනීපාරක්ෂාව ගැනවත් සැලකිල්ලක් නොදක්වූ ආයතන අධිපති සංඝරත්නයටත්,සිංහල ‍බෞද්ධයෙකු වීම ගැන මටත් යටිහිතින් ක්‍රෝධකරමින් සිටි මා මෙම කථාවෙන් උස්සා පොලවේ  ගැසුවා මෙන් විය. අවස්ථාවට උචිත ප්‍රයෝගික යෝජනාවක් ගෙන එන්නේ අන්‍ය ආගම් ඉවසන්නේ නැතැයි කියන ආගමකට අයත් අන්‍ය ජාතිකයෙකු විසිනි!

කෙසේ නමුත් ඒ කාර්යය වැලකී ගියේ අපට සිදුවී ඇති අකරතැබ්බය දැනගත් බදුල්ලේ වෙසෙන මිත්‍රයෙකු ඒ මහ රෑම අප ඔහුගේ නිවස වෙත කැඳවා එහි නවාතැන් සැපයූ හෙයිනි.

මේ සියල්ලටම වඩා අපූරු දෙය නම් දැන් Toilet, wash room නැතහොත් rest room ගැන උජාරුවෙන් කථාකරන බටහිර ජාතිකයන්ට වඩා බොහෝ කලකට ඉහතදී සිරුරෙන් බැහැර කරන අපද්‍රව්‍ය මනා පෙරීමක් සහිතව පරිසරයට හානිදායක නොවන ලෙස  බැහැර කිරීමක් ඇත්තාවූ තාක්ෂණයක් සහ  ශෛලමය වැසිකිලි කැසිකිලි ලෑලි පවා ආකර්ෂණිය හා අනර්ඝ කලාත්මක කැටයම් යොදා නිමකිරීමට හික්මීමක් තිබූ මුතුන්මිත්තන්ගෙන් පැවත එන ජාතියක වර්තමාන පරම්පරාව අප වීමයි.

Published in: on 2021 අගෝස්තු 18 at ප.ව. 5:39  Comments (1)  

ඥානම්මලා ගැන මගේ සත දෙක

එකෝමත් එක දවසක මම යම් නීති කටයුත්තක් පිළිබඳව උපදේශයක් ගන්න මගේ මිතුරු ජ්‍යෙෂ්ට නීතිඥ මහතෙක් හමුවුනා.ඒ නීතිමය කරුණු කතා බහ හමාර කරලා එන්න ලෑස්ති වෙද්දී එයා මට මෙහෙම කියනවා.”මචං,උඹට නඩුව දිනාගන්නම ඕනම නම් මම වැඩක් කියන්නං.අනුරාධපුර පැත්තේ ඉන්නවා …………………. කියලා මෑණියන් කෙනෙකුයි ,……………………….. මහත්තයා කියලා කෙනෙකුයි.ගිහින් උපදේශයක් ගනින්.කිරි ගහට පිහියෙන් ඇන්න වගේ වැඩේ හරියනවා.ලෝයර්ස් විතරක් නෙමෙයි අහවල් අහවල් නඩුකාර මහත්තයල නෝනලත් එතනට යනවා.” මේ කතාව අහල මම උඩගොස් බිම වැටෙන්න කාරණා කිහිපයක්ම තිබුණා.එකක් නම් ගොඩේ බයියන් වූ අප වැන්නන් කෙසේ වෙතත් මම නිසැකවම දන්නා ආකාරයට මහපාරේ බස් එකක ගමනක් නොගිය,සිංහලට වඩා ඉංග්‍රීසියට හුරුවක් ඇති,අපි වගේ ඔිපදූප පත්තර වෙබ් සයිට් නොව ඩේලි නිව්ස්, සන්ඩේ ටයිම්ස් විතරක් කියවන,අපි වගේ චාරයක් නැතිව ඔිනෑම එකෙක් ආශ්‍රය කිරීමේ පුරුද්දක් නැති,හන්දියේ කඩේකින් තේ එකක් බීලා නැති ,වැඩ ඇරුනු ගමන් ගෙදර යන , නිතරම ගෙදර දොර වහගෙන ඉන්න, බෙල්කරාම ජනේලයෙන් බලලා ඊට පස්සේ දොර අරින(ඒකාලේ මේතරම් CCTV ජනප්‍රිය නොවීය.)දැඩි ක්‍රිස්තියානු භක්තික,නගරයේම ඉපිද නගරයේම වාසය කරමින් කටුවක් තුළ වෙසෙන්නෙකු වැනි වූ මේකා ,මෙවැනි විශ්වාස වලට ගොදුරු වූයේ කෙසේද ? යන්නය.අනෙක් කරුණ වන්නේ ඔහු නොදැන සිටිමුත් ඒ කියූ ඥානම්මා මෑණියන් හා සිරිසේන මහත්තයා පියාණන් වහන්සේලා දැන් ඉන්න තත්වයට පෙර සිටි තත්වයේ පටන් ඒකලා ගැන මම දන්නා බවයි.ඒ විශේෂ බලයකින් නොව අනුරාධපුර නගරය පමණක් නොව එතැන් සිට ත්‍රිකුණාමලය දක්වා වූ භූමි ප්‍රදේශය තුළ දුම්රිය ස්ථාන,බස් හෝල්ට්,කඩ පිල්, බාර්,විශ්‍රාම ශාලා,ලැගුම් හල් ,යාළු හිතමිතුරන්ගේ ගෙවල්,ප්‍රසිද්ධ වැසිකිලි යනාදිය වසර ගණනාවක් තිස්සේ ගෙදර සේ හුරුවෙන තරමට ඔබ නොබ ගාටමින් ගත තළ ජීවිතය ඔස්සේ ලබාගත් අත්දැකීම් ආශ්‍රයෙන්ය.

දැන් ලොකු ලොක්කන් හා පයිරු පාසානම් පවත්වන ඥානම්මා අනුරාධපුර ඉස්පිරිතාලයේ ටෙලිෆෝන් ඔපරේටර්වරියක ලෙස සාමාන්‍ය මිනිසුන් සමඟ පණිවිඩ සන්නිවේදනය කරගත් බව දැනසිටි මා ලංකාව නම් පුදුම ඇටය තුළ ඇන්දවීම කොතරම් සාර්ථක ව්‍යාපාරයක් විය හැකිදැයි සන්ත්‍රාසට පත්ව සිටිමි. ……………………මහත්තයා පියාණන් වහන්සේ ගැන කියන්නේ නම් එතුමා උපගුරුවරයෙකු කොටි ගහන මායිම් ගම්මානයක කට්ට කඨෝර ජීවිතයක් ගතකරමින් සිටි එකල ගෙදර තිබූ එකම වාහනය වූ තැපැල් නයින්ටියේ ගමනාගමනයේ යෙදෙමින් සිටබෑන්ඩ් නිව් ප්‍රිමියෝ හා අවුඩියක් කරා ආ ගමන උත්කුෂ්ටය.එමෙන්ම ඈත දකුණේ සිට වන්නිය තෙක් ගමනක් ආ රැඩිකල් ගති පැවතුම් තිබූ කාන්තාවක වූ බිරිඳ හා එතුමා අතර යහපත් පවුල් ජීවිතයක් නොතිබූ බවත්,ඔහු හා ඇය එකම ගෙදර වෙනත් කාමර දෙකක එකිනෙකාට ස්වාධීන ජීවිතයක් ගත කළ බව ළඟින් ඇසුරු කළ අයට නොරහසකි.කෙසේ වුවද මා හොඳින් දැන සිටි ඒ සුන්දර කාන්තාවගේ හදිසි මරණයෙන් පසුව දැන් ඉතාමත් ගැටවර යුවතියක සමඟ එතුමා ගෙනයන යුග දිවිය අති විශිෂ්ඨය.

ඒ කුමක් වෙතත් රුවන්වැල්ලේ සෝභිත හිමි නමින් කාලයක් රට ඇන්ඳු අංකොක්කාවල සුනිල් ශාන්ත හා සක්විති රණසිංහ ලා ගැන මීට පෙර කොතෙකුත් හෙළිකිරීම් කළ මුත් එක කපටියෙකුට පසුව තවත් කපටියෙකුට යනාදී වශයෙන් රැවටීම් වැලකට ගොදුරු වෙනවා විනා අඩුම තරමේ නිතරම කරගහගෙන යන  ඕනෑම එහෙකදී ඉස්සරහට දමන  බුදු දහමේ එන ඉගැන්වීම් වලට අනුව හෝ කල්පනා නොකරන ජාතියක හැසිරීම තව කල්ප කාලයක් ගියත් මෙසේම වනු නිසැකය. .කාලි මෑණියන්ගේ පිහිටයි ආරස්සාවයි!

 

 

 

Published in: on 2021 පෙබරවාරි 3 at පෙ.ව. 6:17  Comments (1)  

ව්‍යවස්ථාව විහිළුවක් වීම

ටේ නීති හදන තැන නැතහොත් ව්‍යවස්ථාදායකය වන අපේ පාර්ලිමේන්තුවට පත්වන සෑම මන්ත්‍රීවරයෙක්ම සිදුකළ යුතු අනිවාර්ය දිවුරුම නැතහොත් ප්‍රතිඥාව වන්නේ මෙරට උත්‍තරීතර නීතිය වූ ද සියළු නීතීන්ගේ මූලය වන්නාවූ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ආරක්ෂා කොට අනුගමනය කරනා බවට යැයි එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  63 වන ව්‍යවස්ථාව මගින් දක්වා සිටියි.මෙයට සමාන ප්‍රතිඥාවක් වන 4 වන උපලේඛනයේ දැක්වෙන අතර ඒ අනුව දිවුරුම හෝ  ප්‍රතිඥාව දී මෙන් පසුව පමණක් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍රවරයා හා ඇමති මණ්ඩලය විසින් වැඩ භාරගැනීම සිදුකළ හැකි බැව් 53 වන  ව්‍යවස්ථාවේ දැක්වේ.

එනමුත් එසේ දිවුරුම් දී පැමිණි මෙරට සෑම පාලකයෙකු පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුටුවේ තමාගේ ගමනට හරස්ව සිටින හතුරෙකු ලෙසය.

 මෙරට මුල් පුටුවට පැමිණි තාත්තලා, පුතාලා, අම්මලා, දුවලා පමණක් නොව අන්කල්ලාද තමාගේ අත්තනෝමතික අභිලාෂයන්ට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් හරස් වූ විට ඒ මඟ හැරීම සඳහා කූට,කට්ට කෛරාටික උපක්‍රමයන් භාවිතා කරන ලදී.නමුත් 2015 බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2019 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකරනු ලැබුවේ මරි මෝඩ අන්දමිනි.එයට විරුද්ධව 19  වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ඔස්සේ පුරවැසියන්ට හිමිවූ අයිතිය යටතේ ලංකාවේ පළමු වතාවට බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ ක්‍රියාවකට එරෙහිව අභියෝග කළ  ඒ සුවිශේෂී නඩුවේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හත්කට්ටුවේ  ඒකමතික තීරණයෙන් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාව පැහැදිලිවම තමා විසින් සුරැකීමට දිවුරුම් දෙනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්දය ලෙස උල්ලංඝණය කිරීමක් බවයි.ඉතින් එවැනි තීරණයක් ලැබූ පසු හෘදය සාක්ෂියක් ඇත්තාවූ ලැජ්ජාවක්,බයක් ඇත්තෙකු වූවානම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුව තිබුණි. ‘අත්හැරීම’ යන්න තමාගේ දර්ශණය යැයි  ජනාධිපතිකම ලැබුණු මුල්කාලයේ  පම්පෝරි ගැසු ආකාරයට මෙය ඔහුට අපහසු වන්නට නොහැකිය.
කෙසේ වුවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකළ නරකම ක්‍රියාව ලෙස මම නම් දකින්නේ රෝයල් පාක් මිනීමැරුම් නඩුවේ දී අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය යන මෙරට ඉහළ අධිකරණ ඉදිරියේ බලවත් ලෙස සලකා බලා වැරදිකරු ලෙස තීරණය කර මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයාට පූර්ණ සමාව දී නිදහස් කිරීමයි.(අද මෙම පුද්ගලයා ලංකාවේද නැත.)

යම් වරදකරුවෙකුට ජනාධිපති සමාව දීමට ඇති හැකියාව ලබාදෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන  මගිනි.එසේම එහි 34 (1) අනු ව්‍යවස්ථාව මගින් යම් වරදකරුවෙකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විට ජනාධිපතිවරයා අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක් ද දක්වා ඇත්තේ එවැන්නෙකුට සමාව දීම සිල්ලර කාර්යයක් නොවිය යුතු යැයි ව්‍යවස්ථා සම්පාදකයෝ කල්පනා කළ බැවිනි.ඇත්ත වශයෙන්ම යම් අයෙකුට පොලීසිය මගින් නොව අධිකරණය මගින් මරණ දඩුවම පැමිණවීම මන්දගාමී හා වෙහෙසකර මෙන්ම වින්දිත පාර්ශවය කම්පාවට පත්වන කරමේ දීර්ඝ කාලයක් ගතවන පියවර රාශියක් ඇත්තාවූ ලිපිගොනු රාශියක් පිරවිය යුතු විශාල කරුණු ප්‍රමාණයක් සලකා බැලීමකින් පසුව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමකින් පසුව පමණක් තීන්දු වන්නකි.

රෝයල් පාක් නඩුව සැලකෙන්නේ මෙරට නීතිපොත වෙනස් කළ නඩු විභාගයක් ලෙසය.එහිදී එතරම්ම වූ නෛතික කරුණු සැලකිල්ලට ගනිමින් වාද විවාදයන්ට ලක්කල නිසාය.එසේම මෙවැනිඅපරාධ නඩු විභාගයකදී සහාය වන ක්ෂේත්‍රයන් වන වෝහාරික වෛද්‍ය විද්‍යාව,රස පරීක්ෂක දෙපාර්තමේන්තුව,DNA තාක්ෂණ විද්‍යාඥයින් වැනි ක්ෂේත්‍රයන්ගේ විශේෂඥයින් තම දේශණ වලදී විෂය කරුණු විස්තර කිරීමේදී බොහෝවිට මෙම රෝයල්පාක් නඩු විභාගය උදාහරණයට ගනිති.

එසේම ප්‍රවීන නීතිඥයන් විස්තර කරණ ආකාරයට මෙම නඩුව මහාධිකරණය තුළ විභාගය සිදුකළ අවස්ථාවේ නීතිපොතට පටහැනි තීන්දුවක් දීම නිසා එම විනිසුරුතුමාටද අධිකරණ ක්ෂේත්‍රයෙන් බැහැරවයාමට සිදුවූ නඩුතීන්දුවක් ලෙසද මෙම නඩුව පෙන්වා දියහැක.

මෙම නඩුවේ චුදිත පාර්ශවය වූයේ මෙරට ඉහළ ධනපති පන්තියේ පවුලක අයෙකු නිසා මෙම සම්පූර්ණ සිද්ධි දාමය තුළදිම අදාළ නිලධාරීන්ට ක්‍රියාකිරීමට සිදුව තිබුණේ බලවත් මැදිහත්වීම්,උග්‍ර බාධාකිරීම් හා දැඩි පෙළඹවීම් මධ්‍යයේය.සෑම අයෙකු වෙතම සල්ලි පොට්ටනි දිගුවූ අතර මෙම නඩුවට බලවත් බලපෑමක් කළ හැකිව සිටි එවක එහි පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතා වෙත දැවැන්ත මුදලක් ලබාදීමට චුදිත පාර්ශවය සුදානම්ව සිටියේ යැයි මෙම නඩුව පිළිබදව සාකච්ඡා වන විට බොහෝදෙනා වෙතින් කියැවෙන නිසා වරෙක එක්තරා වැඩමුළුවක දේශණයක් සදහා පැමිණි විටදී ඒ වන විට රහස් පොලීසියේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහතාගෙන්  ඔබ මුදලට ගැනීමේ වෑයමක් මේ ක්‍රියාදාමය තුළ වීය යන්න ඇත්තක්ද ? යන්න මම විමසා සිටියෙමි.එයට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ දැනගන්නට ලැබුණු අන්දමට තමාට ලබාදීමට සුදානම්ව සිටි offer එක වූයේ පවුල පිටින් ලෝකයේ තමන් කැමති රටකට ගොස් සුඛෝපභෝගී ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගෙවීමට අවස්ථාවක් බවයි.

කෙසේ වුවද අවංක නිලධාරි රැසකගේ දැඩි වෑයමකින් (මෙහිදී මෙරටට මුල්වරට DNA තාක්ෂණ ක්‍රම ශිල්පය හදුන්වා දුන් ජින්ටෙක් ආයතනයේ නිර්මාතෘ වූ ආචාර්ය මායා ගුණසේකර මැතිණිය මෙම නඩුව වෙනුවෙන් කළ සේවය හා කැපවිම ඇයට කරන ගෞරවයක් ලෙස මෙහිදී සිහිපත් කළ යුතුය.)මෙම නඩුව වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරමින් අවසන් වූ පසුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා වැරදිකරුට සමාව දිමට ඉදිරිපත් වූයේ ඇයි?

ඒ පිළිබදව දෙස් විදෙස් මහා ආන්දෝලනයක් ඇතිවූ පසුව තමා එවැනි තීරණයකට එළඹියේ පූජ්‍ය උතුමණන්ලා කළ ඉල්ලීමක් නිසා යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ අතර එහි නම් සදහන්ව තිබූ කොළඹ ගරු බිෂොප් තුමා මෙන්ම පූජ්‍ය බද්දේගම සමිත හිමියන් වහා ප්‍රකාශයක් නිකුත් කරමින් තමන් වහන්සේලා එවැනි ඉල්ලීමක් කිසිදා කර නොසිටියේ යැයි පවසා සිටියෝය.අන්තිමේදී එහි සදහන් නම් අතරින් ඉතිරි වූයේ අතුරලියේ රතන හිමියන් පමණි.

මහන්සිනම් හිනාවෙන්න…………….

මෙතරම් කියවීමට අමාරු ලියවීමක් කියවූ ඔබට විනෝදය පිණිස යමක් ඉදිරිපත් කළ යුතුමය.ඒ සදහා රෝයල්පාක් ඝාතකයාට තමා ජනාධිපති සමාව දීමට පෙළඹවූ කාරණය ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන හේතුව දක්වමි.මෙය තවත් විහිළු කථාවක් නොව BBC පුවත් සේවයේ පළව තිබූ ඔහුගේ ප්‍රකාශයකි.

“මම කුඩා කාලේ දවසක් බයිසිකලේ පැදගෙන පාසලට යනකොට, කලින් දවසේ වුණ රණ්ඩුවක් මුල් කරගෙන, මග රැක හිටපු ළමයෙක් මට කොහු මිටෙන් ගැහුවා. ඔක්කොම පොත් එක්ක මම බිම වැටුණා. පස්සේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට එදා මට කොහු මිටෙන් ගහපු කෙනා මගේ ළඟට ආවා එයාගේ දරුවට රැකියාවක් ලබා දෙන්න කියලා ඉල්ලගෙන.”

“එදා සිද්ධිය මට මතකයට ආවත්, මම ඉතා ඉක්මනට ඔහුට හොඳ රැකියාවක් සොයලා දුන්නා. එහෙමයි මම එයාට සැලකුවේ. රෝයල් පාක් කතාව, කොහු මිටේ කතාව වගේම අනික් කතාවලින් කියවෙන්නේ ඉවසීමේ වැදගත්කම ගැන. හොඳ වැඩවල නිරත වෙලා, හොඳ අධ්‍යාපනයක් ලබලා විනීත ජීවිතයක් ගත කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ,” රැස්ව සිටි තරුණ පිරිස අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය

Published in: on 2020 අගෝස්තු 24 at පෙ.ව. 4:11  Comments (1)  

කොටි පැන්න ගමකට ගිය ගමනක් -(හපන්කම්,මෝඩකම්,පුරසාරම්-02 )

එක් දහස් නවසිය ගණන් වල අන්තිම අග හරියේ වර්ෂයක එක්තරා දවසක් වුන එදින රාත්‍රියේ මා නිදාගනිමින් හිටියේ මා හිත මිතුරු කපිලගේ මහගෙදර (මේ කපිල ගැන “බයිට් ගැන කථා” වැනි මගේ පෙර ලිපිවල විස්තර වී ඇත.) ඔහුගේ කාමරයේය.බෙදා හදා ගැනීමට වෙන කිසිවෙක් නොසිටි නිසා මටම කියා තනි නිල නිවසක් තිබුණද මා වඩාත් ප්‍රිය කළේ හුදකලාව උයා පිහාගෙන කා ඔහේ උඩබලියාගෙන සිටීම නොව සමකාලීනයන් විසින් අවදානම් සහගත විය හැකි යැයි අනතුරු ඇඟවූවේ වුවද, මිනිසුන් අතර හැකි පමණ ගැවසීමට හා ඔවුන්ගේ ජීවිත තුළට එබී බැලීමටය.මෙහිදි පිරිමි දරුවන්ම හත්දෙනෙකු පවුලේ සිටියද, පිටස්තරින් පැමිණි කෙනෙකු වූ මා කෙරෙහි කිසිදු වෙනසක් නැතිව සලකමින් ඇතැම් විට ලෙඩෙහි දුකෙහි ඇප උපස්ථාපනය කළා වු ,ඉතාමත් කරුණාවන්ත මාතාවක් වූ ,කපිලගේ අම්මා කිසි කළෙක අමතක කළ නොහැක.

ඉදින් මේ කපිලලාගේ නිවස පිහිටා තිබුණේ උතුරු නැගෙනහිර මායිම් ගම්මානයක් තුළය.මේ ගම වටා තිබුණේකුච්චවේලි,කුම්පුරුපිඩ්ඩි,ඉරක්කන්ඩි දක්වා විහිදුනු කොටි ත්‍රස්තයන්ගේ බලය පැතිරුණු හා ඔවුන්ගේ කඳවුරු ගසා ගෙන තිබූ මහා වනයයි.ගම මැදින් උතුරු දෙසට දිව ගියාවූ එහි පිවිසීමට තිබු එකම මාර්ගය කෙළවර වූයේ කිලෝ මීටර 30 ක් පමණ දුරින් වූ තිරියායෙන් වුවද,මෙහි සිට කිලෝ මීටර 13 ක් පමණ දුරකින් ඒ සියළු ගමන් බිමන් ඇහිරී තිබිණි.එයට හේතුව වූයේ තිරියාය පමණක් නොව මහලන්කුලම,මයිල වැව යනාදි ගම් බිම් වලින් ජනතාව පළවා හරිමින් ඒ කොටස ද කොටි ත්‍රස්තවාදීන් තම ග්‍රහණයට ගෙන තිබීමයි.කොටි ත්‍රස්තයන්ගෙන් ජනතාව ආරක්ෂා කරගනු පිණිස හා ඔවුන්ගේ බලය තවත් රට තුළට ව්‍යාප්තිය වැලැක්වීම පිණිස සංග්‍රාමිකව අවශ්‍ය පරිදි ඇතැම් ගම්මානවල ලොකු කඳවුරුද ,ඇතැම් ගම්මානයන්හි කුඩා කඳවුරුද වශයෙන් ඉතිරි වී තිබූ සෑම ගමකම පාහේ හමුදා කඳවුරක් බැගින් පිහිටුවා තිබුණි.ඒ හැරෙන්නට ගම්වැසියන්ගෙන් අතුරෙන් බඳවා ගන්නා ලද භටයන්ගෙන් සමන්විත ග්‍රාමාරක්ෂකයන්ගේ මුර කපොළු ද ගමෙහි තැනින් තැන පනවාතිබුණි. මෙහි කෙළවරම තිබූ මිනිසුන් වසන ගම්මානය වූයේ අප සිටි තැනින් කිලෝ මීටර 13 කට එපිටින් වූ කිවුලේකඩ නම් වූ ගම යි.මේ කියන දිනයේ පාන්දර 1 කට 2 කට පමණ උඩ ගොස් බිම වැටුණේ ගසක කොලයක් බිම වැටුණ විට ඇසෙන තරමේ තිබූ නිහැඬියාව බිඳදමමින් ඇසෙන්නට වූ මහා වෙඩි හා මෝටාර් පිපිරෙන ශබ්ද නිසාය. වෙඩි හුවමාරුවීම් අපට අමුත්තක් නොවූවද එහි ශෛලිය වෙනදාට වඩා බැරෑරුම් එකක් බව අපට වැටහුණි.අපගේ උපකල්පන සැබෑකරමින් පැයක් හමාරක් පමණ යන විට මුළු පරිසරයම ගුගුම් දෙමින් ආටි ගසන හඬ ඇසුණෙන් කවර හෝ අසල ගමකට කොටි පැමිණ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් පළා යන කොටි ඉලක්ක කර ප්‍රධාන කඳවුරේ සිට ඔවුනට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බවත් තේරුම් ගත හැකි විය. හිමින් සීරුවේ අසල තිබූ ග්‍රාමාරක්ෂක පොයින්ට් එකකට කිට්ටුවී එතැන සිටි දන්නා හඳුනන ග්‍රාමාරක්ෂක භටයන් ඇසූ විට දැනගන්නට ලැබුණේ කෙළවරම පිහිටියාවූ කිවුලේකඩවල ගමට කොටි පැන විසාල හානියක් කර ඇතිබවයි.එතැන් පටන් මමත්,කපිලත් නිදිවර්ජිතව නොඉවසිල්ලෙන් සිටියේ කොයි වේලේ එතැනට යම්දෝයි කියා කල්පනා කරමිනි.යන්තම් එළිය වැටෙන විටම ගම පුරා ඇවිද කෙසේ හෝ ෆුට් සයිකල් කටු දෙකක් සොයාගත් අපි දෙදෙනා කිවුලකඩවල බලා එක පිම්මේ පාගන්නට පටන් ගතිමු.මෙහිදී ගම්මාන කිහිපයක් පසුකර යෑමට සිදුවන අතර ඇතැම් තැන්වල මාර්ග බාධක ඒ වන විටත් විවෘත කර නොතිබු නිසා ඒ මඟහැර හොර පාරවල් සොයාගෙන අපි නොනැවතීම ගොස් කොටි පනින ලද ගම වෙත ළඟා වීමු.ඇත්ත වශයෙන්ම ගම වෙත තදබල ප්‍රහාරයක් එල්ල වී ඇත.ගම කෙළවරම තිබූ හමුදා කඳවුර වෙත ප්‍රහාරයක් එල්ල කරන අතරම ගමෙහි තැනින් තැන පිහිටුවා තිබූ ග්‍රාමාරක්ෂක පොයින්ට් වලටද පහරදෙමින් උන් ගමට පැන ඇත.පවුල් විස්සක් තිහක් පමණ විසු මේ කුඩා ගමක් වූ මෙහි පිහිටුවා තිබූ මෙහි හමුදා කඳවුරද කුඩා භටපිරිස් සංඛ්‍යාවකින් යුක්ත වූවක් විය.ඔවුන්ගේ කඳවුර හැටියටද භාවිතා කරනු ලද්දේ අතහැර දමන ලද පාසලක් වැනි කුඩා තනි ගොඩනැඟිල්ලක් හා සෙවිලි තහඩු වලින් සකසා ගත් තවත් ආවරණ කිහිපයක් පමණි.මෙහිදී එල්ලවු අනපේක්ෂිත දැඩි ප්‍රහාරය නිසා කඳවුරට බලවත්සේ හානි වී තිබූණි. අපි සුන්බුන්ව තිබූ හමුදා කඳවුර දැක බලාගනිමින් යළිත් නිවෙස් වලට රොක් වෙමින් සිටි ගම්වැසියන්ගෙන් ද තොරතුරු විමසීමු.මෙහිදී අප මිත්‍රයෙකුගේ පවුලේ අයගේ ජීවිත බේරී ඇත්තේ අපූර්ව ආකාරයටය.කොටි කටේ සිටින්නන් බැවින් මේ ගම්මානවල ජීවත් වීමට සිදුව ඇති ජනයා කොටි ත්‍රස්තයන් ගමට පැන කරන්නාවූ කුරිරු ඝාතනයන්ගෙන් රැකවරණය පිණිස නොයෙකුත් උපක්‍රම සකසා ගෙන තිබුණි.අප මිත්‍රයාගේ නිවසේ කාමරයක් තුළ පොළව යට රහස් බිම්ගෙයක් තනා තිබූ අතර කොටින් ගමට පැන පහරදෙන පළමු මොහොතේම අප මිත්‍රයා, වරකට එක් අයෙකුට රිංගා යා හැකි තරමේ විවරයකින් යුක්තව ඇතුළේ තුන්හතරදෙනෙකුට අපහසුවෙන් සිටිය හැකිවූ මෙම භූගත කුටියට පවුලේ අය රිංගවා එම විවරය ලෑලි කැබැල්ලකින් වසා දමා එය නොපෙනෙන ලෙසට ඒමතට විශාල හා බරැති වූ වී පුරවන ලද දැව පෙට්ටගම තල්ලු කර ඉන්පසුව ඔහු ද නිවසේ වහලයට ගොඩවී සිට කොටීන්ගේ සියළු ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිට ඇත.මේ ආකාරයට වාසස්ථාන තුළ භූගත රක්ෂාවරණ තනාගෙන සිටි තවත් කිහිපදෙනෙක් ගැන අප දැන සිටියෙමු.එයින් එක් තැනක් වශයෙන් මෑතක දී බදුල්ල හාලිඇල ඌව විද්‍යා පාසලේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් යන අතරතුරදී වැවක දියනාන්නට ගොස් එම සිසුන් සිව්දෙනෙකු මිය ගිය ගෝමරන්කඩවල,මැදවච්චිය ප්‍රදේශය හා සම්බන්ධ වෙයි.මෙම සිසුන් එදින රාත්‍රී නවාතැන් ගෙන සිටි පන්සලේ එකල ත්‍රස්ත කලබල සමයේ විසු නායක හිමියන් විසින් අපූර්ව උමං කුටිපෙළක් ඉදිකර තිබූණා මතකය.මෙය ගම්වැසියන් ඉදිකර තිබූ ගොරහැඩි ,අපහසුතා හා දුක් ගෙන දෙන බිම්ගෙවල් වැන්නක් මෙන් නොව ,පඩිපෙළකින් පහතට බැසිය හැකි,සයනයන් ද තිබූ මනා ලෙස සුණු පිරියම් කළාවූ සුගන්ධවත් කුටි ඇති,අතිරේක ආහාර පාන ගබවා ඇත්තාවූ,උක්කුටියෙන් , අපාසුවෙන් නොව මනාව සිටගෙන ගමන් කළ හැකියාවකින් යුතුවූ,උම්මග්ග ජාතක කථාවේ පරිදි මියුලු නුවර වේදේහ රජු වෙනුවෙන් මහෝෂධ පණ්ඩිතයන් වහන්සේ ඉදිකළ උමං පෙළ සිහිගන්වන්නක් විය.මට මතක හැටියට මෙම උමඟට පිවිසියෙකුට වැව අසලින් පිටට යාමේ හැකියාව ඇති රහස් දොරටුවක් ද තිබුණි.

නැවතත් මුල් කථාවට පිවිසියහොත් අප කිවුලේකඩ ගම්මානයට එල්ලවූ කොටි ප්‍රහාරයේදී කවර හේතුවක් නිසා හෝ සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය උන්ගේ මුඛ්‍ය අරමුණ නොවූ වග පෙනී ගියේය.සාමාන්‍යයෙන් සිංහල ගම්මාන වලට කඩා පනින කොටි ත්‍රස්තයින්ගේ ඉලක්කය වූයේ හැකි තරම් වැසියන් ඝාතනය කිරීමයි.මෙහිදී ඔවුන්ගේ කෲරභාවය මැනවින් පෙන්නුම් කරන ලද ලක්ෂණයක් වූයේ කෙතරම් ගිනි අවි උන් සතුව තිබුණද අසරණ වැසියන් මරා දමන ලද්දේ කැති,මන්නා පිහි යනාදි කැපෙන සුළු ආයුධයන්ගෙන් කපා කොටා දැමීමෙනි.මේ ඝාතනයන්හිදී මරා දැමෙන මනුෂ්‍යයන් බත් කටක් කමින් සිටින බව හෝ අත දරුවෙකුට කිරි පොවමින් සිටින බව හෝ වැසිකිලි,කැසිකිලි යමින් සිටින බවක් හෝ අදාළ නොවීය.එසේම කිරි බොන අත දරුවෙකු ද,අත පය වලංගු නැති නිසා ඇඳටම සීමාවී සිටින වයෝවෘද්ධ පුද්ගලයෙක් ද,එසේත් නැතිනම් ගැබිණි මාතාවක ද,ඇයගේ කුසේ සිටි නොමේරු කලලයක් යැයිද වෙනසක් නැතිව අති අමානුෂික ලෙස මරා දමන ලද්දෝය.නමුත් මෙම ගමට එල්ල කරන ලද ප්‍රහාරයේ දී මරා දමනු ලැබ සිටියේ සිවිල් වැසියන් දෙදෙනෙකු පමණි.එයින් එක් අයෙක් නම් හමුදා කඳවුර ඉදිරිපිටම තිබු සමූපකාර වෙළඳ සලෙහි රාත්‍රී මුරකරුවායි.අනෙක් පුද්ගලයාගේ පවුලේ උදවිය අප දැන සිටි අය බැවින් අපි එම නිවසට ගොඩවී තොරතුරු විමසීමු.මෙහි මියගිය පුද්ගලයාගේ පුත්‍රයෙකු වූ 7 ශ්‍රේණියේ හෝ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක් එදින සිදුවූ දෙය අප හට විස්තර කළේය.ගමට කොටි පැන්න බව දැනගන්නට ලැබුණද මොවුන්ට කිසිදු තැනකට පළායෑමට තරම් ඉඩ අවකාශයත් නොලැබු‍ණේ වෙඩි හුවමාරුව සිදුවන්නාවූ කඳවුරු භූමිය එම නිවසේ සිට මීටර කිහිපයක් නුදුරේ වීම නිසාය.එකම එක් කාමරයක් පමණක් තිබූ ඒ නිවසේ පියාට ආරක්ෂාවට කළ හැකිව එකම පියවර වූ දොර පියන් තදින් වසා ගෙදර සියල්ලෝම ඇඳක් යටට රිංගවීමයි,(මේ ගෙදර තිබුණේද එක් ඇඳකි). නිවෙස් තුළට කඩාපනින ලද කොටි මරුවන් ටික වේලාවක් ඇතුළත මෙම නිවසේ ද දොර කඩාදමා කොටි ත්‍රස්තයන් ඊට ඇතුළු වි ඇත.නිවස තුළ සෝදිසි කළ ‍උන්ගෙන් එකෙකු මෙම ඇඳ යටටද එබී බලා ඇත.සියල්ලන්ගේ අවසාන පැමිණ ඇතැයි සිතූ පියා වහා එළියට පැමිණ ඹහු අත වූ දිගැති ඇලුමිනියම් බඳැති ටෝච් එක මොළවා වැරෙන් පහරක් එම කොටි ත්‍රස්තයාගේ මුහුණට ගසන ලදී.මෙයින් කෝපයට පත් එම ත්‍රස්තයා විගසින් ඌ අත දරා සිටි RPG අවිය බිමින් තබා උරේ රඳවා සිටි සැහැල්ලු ගිනි අවියක් ගෙන එම පියාගේ පපුවට එල්ල කර වෙඩි තබා හදිසියේ කිසිවෙකු කැඳවනු ලැබූවෙන් නිවසින් බැහැරව ගොස් ඇත.බෙහෙවින් බියට පත්වූ කුඩා දරුවන් තම පියා ලේ විලක් මැද ඇද වැටී සිටියදී කිසිවක් කර කියා ගත නොහැකිව ආධාරක සේනාංක එහි පැමිණ ඔවුන් සොයාගන්නා තුරු ඇඳ යටට වී තම පියාට අත්වූ ඉරණම ගැන වචනයෙන් විස්තර කර නොහැකි තරමේ දැඩි ශෝකයෙන් තැවුණ ද අඬන්නට පවා නොහැකි බියකින් පසුවෙමින් සිට ඇත.අප එහි යන විටත් කුඩා කාමර කැබැල්ලක් වු එහි එකී අසරණ දරුවන්ගේ පියාගේ සිරුරින් ගලා ගිය උණු ලේ ධාරාව ගෙබිම මත දකින්නට තිබුණි.

අප එම ගමට ගොස් ටික වේලාවක් යන විට තවත් අතිරේක සේනාංක පැමිණ ප්‍රදේශය පිරික්සා කර බලා එහි ආරක්ෂාව තහවුරු කර ගම්බිම් හැර යන්නට සූදානම් ව සිටි ගම්වැසියන්ගේ සිත්හි බිය තුරන් කරන්නට කටයුතු යොදන්නට වූහ.මෙහිදී මගේත්,කපිලගේත් ඇස් උඩගොස්,තොල කට වියලී,හීන් දාඩිය දමා ,මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් වැන්නක් ද ඇතිවුනේ ඊට නොබෝ වේලාවකට උඩදී අප ඇවිද ගිය,අප නැවතී කතාබහ කරමින් සිටි ඇතැම් තැනකට අඟල් ගණනාවකට එහායින් කොටින් විසින් වළලා දමා ගොස් තිබූ ජොනී බට්ටන් රාශියක් හීන් සීරුවේ මහත් ප්‍රවේශමෙන් එකී හමුදා භටයන් විසින් සොයාගෙන ගොඩගන්නා අයුරු දුටු විටය. මෙහිදී කොටින් විසින් උන්ගේ දේශීය නිෂ්පාදයක් ලෙස හැඳින්විය හැකි මෙම පීඩන බෝම්බ අසුරා ගෙනෙන ලද තද කොළ පැහැති පසුබිමේ කළු තඩි දෙමළ අකුරෙන් “ජොනී” යැයි මුද්‍රිතව තිබූ හිස් කුඩා කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් සිහිවටන වශයෙන් මා සතුකර ගතිමි.එහෙත් පසුකළෙක මගේ එම අතීත ස්මරණයන්ට අකමැති අපගේ ගෙදර උදවිය මා ගෙදර නැති අවස්ථාවක ඒවා ගිනි තබා විනාශ කර තිබුණි.

Published in: on 2020 මැයි 13 at පෙ.ව. 2:37  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

හපන්කම්,මෝඩකම්,පුරසාරම්-1(සුනාමියේ කථාවක්)

සත්ව හා මානව චර්යා විද්‍යාඥ (zoologist & ethologist)ඩෙස්මන් මොරිස් පවසා ඇති ආකාරයට අනෙකුත් සතුන් හා සංසන්දනය කර බැලු විට මිනිසා දුර්වලතම සත්වයෙකු වෙයි. එනම් තම ප්‍රතිවාදී සත්වයන් හා ගත්විට මිනිසාට වේගයෙන් දිවිය හැකි ශක්තිමත් ගාත් නොමැත,ශක්තිමත් බාහු හෝ උල් නිය නැත, දැඩි හනුවක් හෝ දළ හෝ උල් දත් හෝ ඝනැති දිවක් හෝ නැත,තීක්ෂණ දෘෂ්ඨියක් හෝ ඉවක් නැත,සියුම් ශ්‍රවණ හැකියාවක් නැත,ගනකමැති කටුවක් හෝ ඝන හමක් හෝ නැති අතර කෙලින් සිට ගන්නට ගොසින් තිබූ රෝම ආවරණය ද නැතිවී ගොස් තැන් දෙක තුනකට ශේෂ වී ඇත(ඒවාත් වැඩක් නැතැයි කියා මනුෂ්‍ය ගැහැණු පිරිමි එම රෝම ද උගුල්ලා දමන්නට හා බූගා දමන්නට පටන්ගෙන ඇත.)අඩුම තරමේ අනෙකුත් සමහර සතුන්ට මෙන් වාලධියක් හෝ තිබුනේ නම් එයින් යම් ආරක්ෂාවක් ,ප්‍රයෝජනයක් ගන්නට තිබුණ නමුත් කුරිරු පරිණාමය එයද අතරමඟදී හලා දමන ලද හෙයින් මිනිහාට ඒකත් අහිමි වී ඇත.ඉදින් මනුෂ්‍යයා මේ තරම් දුෂ්කරතා මධ්‍යයේ මේතරම් දුරක් හෝ පැමිණ ඇත්තේ ස්වකීය සිතීමේ හැකියාව ඔස්සේ දියුණු කරගත් බුද්ධි ශක්තියේ පිහිටෙනි. ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දී ඇති පරිදි මිනිසාගේ සංස්කෘතිය ඇරඹුනේ සොබාදහමට එරෙහිව ක්‍රියාත්මක වන්නට පටන්ගත් තැන සිටය.

ඉතින් මෙබඳු ක්ෂුද්‍ර,බිඳෙන සුළු මනුෂ්‍යයාට තම ජීවිත කාලය තුළදී කොපමණ ව්‍යවසන ,විපත් ගණනාවකට මුහුණ පාන්නට සිදුවන්නේ ද?මගේ ජිවිත කාලය තුළ අත් දකින්නට සිදුවූ එබඳු මහත් ව්‍යවසනයක් ලෙසට එක් දිනක් තුළ ශ්‍රී ලංකාවාසී මිනිස් ජීවිත 30,000 ක් පමණ බිළිගත් 2004 වසරේදී අප මුහුණ දුන් සුනාමි ඛේදවාචකය නම් කළ හැකිය.

2004 දෙසැම්බර් 26 වන දා උදෑසන වෙරළේ සිට කිලෝ මීටර හතරක් ,පහක් රට ඇතුලේ තිබූ අප නිවසේ සිට මා දත කට මැදගෙන සිටියේ එදින පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව හා නවසීලන්ත අතර boxing day පැවැත්වෙන පළමු එක් දින ක්‍රිකට් තරඟය පිළිබඳ විස්තර දැන ගැනීමට ය.මුලින්ම මුහුදු රළ ගොඩබිමට පැමිණි ආරංචිය ලත් විට එය ගණනකට නොගත්තේ ඇතැම් කාලයන් හි ගාල්ල සමුද්‍ර මාවතට පවා වාහනයක් යා නොහැකි ආකාරයට මුහුදු රළ කඩා වදින හෙයින් මෙයද එවන් තත්වයක් යැයි සිතාය. නමුත් එන්න එන්නම ලැබුණු ආරංචි සුබදායක නොවූ අතර මුහුදු රළ අඩි විස්සක් තිහක් පමණ උසට රට තුළට කඩා වැදීම හේතුවෙන් කඩ සාප්පු,ගෙවල් දොරවල් සුන්බුන් වී ඇති අතර පාරවල් පවා යටවී ඇති බවත් ආරංචිය ලත් විට ඉහ මොළ රත් විය.යකඩෝ………! අපේ හිතමිතුරන් ,නෑදෑයන් ,අසල්වාසීන් කී දෙනෙක් රැකියාවට ,නොයෙකුත් වුවමනාවන්ට නගරයට යන්නට ඇත් ද? තවද නගරය තුළ වාසය කරන දන්නා හඳුනන අය,යාළු මිත්‍රයෝ කොපමණ ඇත්ද, ඔවුන්ට කුමක් වීද ? මෙහිදී මුහුණ දුන් දැඩි දුෂ්කරතාවය වූයේ වැඩි වේලා නොගොසින් සියළුම දුරකතන සම්බන්ධතාවයන් බිඳවැටීම හේතුවෙන් කිසිවෙක් හා සන්නිවේදනයක් පවත්වා ගැනීමට නොහැකි වීමයි.ඉතින් කෙසේ හෝ එහාට මෙහාට දුව පැන තවත් මිත්‍රයෙකු එකතු කරගෙන ගාළු නගරය දෙසට ගියෙමු.ඇත්තටම එහිදී දුටු හද කම්පා කළ දසුන් තවමත් මතකයේ ඇත.මිනිසුන් වාසය කළ සුන්දර නිවෙස් ,රාජ්‍ය හා පෞද්ගලික ආයතන,කඩ සාප්පු බොහෝ ගණනක් සුන්බුන් ව ඇත.විසාලා මහනුවර මෙන් මළ සිරුරු සිය ගණනක් තැන් තැන්වල රැඳී තිබුණි.බොහෝ දිනයන්හි සැඳෑවල් ගත කළ සුන්දර මුහුද වෙරළ මිහිපිට අපායක් බඳු ය.පෙර නිල්වන් පළිඟුමය ජලයෙන් හෙබියාවූ මුහුද කළුපාට කුණු වතුරෙන් පිරී තිබුණි. පාරවල් පවා එම කුණු වතුරෙන් පිරී තිබුණෙන් උස් තැනක මෝටර් සයිකලය නවතා නගරයේ අස්සක් මුල්ලක් නෑර විපරම් කරමින් මාතර දෙසින් දෙවට දක්වාත්,කොළඹ දෙසින් ගිංතොට දක්වාත් පයින් ඇවිදයමින් අප හිතමිකුරන්,දන්නා හඳුනන අයට කුමක් වීදැයි සොයා බැලුවෙමු.මේ අතර තවමත් විටින් විට මහ මුහුද භයංකර ගොඩබිමට කඩාවැදුනු අතර ඒ සෑම විටෙකම උස් තැනක් කරා හිස් ලූ ලූ අත දුවමින් ද, රළ බැස ගිය පසු නැවතත් මඟට බසිමින්ද අපි දිගටම නගරයේ රැඳී සිටියෙමු. මෙහිදී දැනගත් ආකාරයට ඇතමුන් මහත් ආයාසයක් දරා දිවි බේරාගෙන තිබුණද, තවත් අයෙකුට අත්ව තිබූ ශෝකාන්ත ඉරණම හද කම්පා කරන සුළු විය.කවුරුත් සිදුවු දෙය තේරුම් ගත නොහැකිව තුෂ්ණිම්භූතව සිටි අතර රාජ්‍ය යන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ඇණ හිටිව පැවතුණේය. කවුරුන් කොතනින් පටන්ගෙන කුමක් කළ යුත්තේද යන්න කාටවත් සිතාගත නොහැකිව තිබුණි.නමුත් මෙහිදී අප දුටු කරුණක් වූයේ එවකට ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු (එ.ජා.ප.)ලෙස කටයුතු කළ ගාල්ලේ චණ්ඩියෙකු ලෙස ප්‍රසිද්ධව සිටි දුෂ්්‍යන්ත සෙනෙවිරත්නගේ .මෙහෙයවීමෙන් ඔහුගේ පිරිවර කණ්ඩායම කැන්ටර් රථ,ලොරි,ට්‍රැක්ටර් යනාදිය මාර්ගයෙන් මහමඟ,ජලමාර්ගවල මෙන්ම සුන්බුන් අතරේ යනාදියේ අසරණ ආකාරයෙන් වැටී තිබූ මළසිරුරු එකතු කර රැගෙන යන ආකාරයයි.ඇත්ත වශයෙන්ම මෙම දහස් ගණනක් වූ මළ සිරුරු කොතනක රැස් කළයුතු දැයි කාටවත් සිතා ගත නොහැකිව සිටි අතර අවසානයේ ඒවා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යන ලදුව එහි පහත මාළයේ දිගු ශාලාවල එකින් එක අඩුක් කර තබනු ලැබීය.(පසුව නගර සභාවේ විපක්ෂ නායක මෙන්ම එ.ජා.ප. මහ ඇමති අපේක්ෂක ලෙස නම්කර තිබූ මෙම නාගරික මන්ත්‍රී දුෂ්්‍යන්ත සෙනෙවිරත්න වර්ෂ 2009 වසරේදී ඝාතනය කරනු ලද අතර එය ඝාතන වැලක ආරම්භය විය. පසුකලෙක ගාල්ල නගර මධ්‍යයේ මහ දවාලක දෙනෝ දහසක් සෙනඟ මැද සිදුවූ මේ හා සම්බන්ධ තවත් කුරිරු ඝාතනයක සුලමුල විසඳන ලදැයි හුවා දක්වා තවත් තරුණයන් බිළි ගනිමින් ව්‍යාජ අපරාධ විමර්ෂණයක් සිදුකර එවකට ගාල්ල පොලිස් අධීකාරී ලෙස කටයුතු කළ වාස් ගුණවර්ධන නම් පොලිස් නිලධාරියා අයථා කූට ප්‍රසිද්ධියක් ලබාගැනීම තවත් විපත් රාශියක් සිදු කිරීමට මඟපාදන ලදී.)

කෙසේ වුවද රාත්‍රී කාලය තුළදී පවා අපට ඉස්පාසුවක් නොවීය.කරාපිටිය රෝහලට ආසන්නයේ වාසය කිරීම හේතුවෙන්, ඥාතී හිතමිත්‍ර ආදීන් විසින් සුනාමියට හසුවී මියයන්නට ඇතැයි සැක කළ තම පවුලේ අයෙකුගේ දේහය එකී රෝහලේ තැන්පක් තර ඇති සිරුරු අතරින් සොයාගනු පිණිස කැටුව යන්නට එන්නැයි, අපට කළ ඉල්ලීම් ඉවත නොහළ විය.ඉතින් දිනකට තුන් හතර වතාවත් පමණ එකී මළ සිරුරු දහස් ගණනක් එකින් එක බලමින් ඇවිද යාම මහා බැරෑරුම් කාර්්‍යයක් විය.බොහෝ අවස්ථාවල අදාළ ඥාතියාගේ සිරුර එතනදී හමුනොවුනද මැදියම් රැයට ආසන්නව තිබුණද ඊළඟ ලොරියෙන් හෝ ට්‍රැක්ටරයෙන් රැගෙන එන සිරුරු අතරේ තිබෙන්නට ඉඩ ඇතැයි සිතා රෝහල් ගේට්ටුව අසල බිම වාඩිවී හිස දණහිස් අතර ඔබාගෙන ශෝකයෙන් පීඩිතව ඇතැමෙක් කල් ගෙවමින් සිටි අයුරු ද තවමත් මතකයේ රැඳී පවතී.කෙසේ වුවත් මේ අත්දැකීම් ඔස්සේ අපට නිරීක්ෂණය කළ හැකිවූ කරුණක් වන්නේ මෙම සුනාමි විපතට හසුවී දිවි අහිමි වූවන්ගෙන් බහුතරයක් කුඩා ළමුන් හා කාන්තාවන් වූ බවයි.ප්‍රතිශතයක් ලෙස ගතහොත් මෙම කණ්ඩායම 90% පමණ වන ඇතැයි සිතිය හැකි විය. පුදුමයකට මෙන් මෙම කුරිරු ව්‍යවසනයට හසුවූ වැඩිහිටියන්ගේ සිරුරු බිය උපදවන සුළු ආකාරයට දැඩි සේ විකෘති වී තිබුණද , කිසිම ශාරීරික හානියක් නොමැතිව හා නිල් පැහැති රවුම් තෙතැති නෙත් අයා සිටි කුඩා දරුවන්ගේ දේහයන් දුටුවිට මට නොයෙක් වර සිතුණේ මෙම දරුවන් මියගොස් නැත: සිහි විසංඥව පමණක් දෝ යන්නය. මෑතකදී මා නැරඹූ රූපවාහිනි සම්මුඛ සාකච්ජාමය වැඩසටහනක් මෙහිදී සිහිපත් වේ.එකී වැඩසටහනට එවර කැඳවා තිබුණේ මෙරට පාරම්පරික,පුරෝගාමී හා ප්‍රවීන අවමංගල්‍ය සේවා ආයතනයක් වන A.F. Remonds හි අධිපති ෂැනන් රේමන්ඩ් මහතාය.මිනිසුන්ගේ මියයාම් හා මනුෂ්‍ය ශරීරයේ නිසරු භාවය පිළිබඳ මනා අවබෝධයක් ගෙන දෙන වෘත්තීය කටයුතු සම්බන්ධ මනා පළපුරුද්දක් ඇත්තෙකු වුවද ඒ මහතා එක් පැණයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ළමා මරණයක් පිළිබඳ කටයුතු තවමත් තමාට බලවත් සංවේගයක් හා කම්පනයක් ඇති කරන්නක් බවයි.

නැවතත් එදින සිදුවීම් විස්තර කරන්නේ නම් මත්පැන් ටිකක් පානය කිරීමේ තදබල වුවමනාවක් ඇතිවී තිබුණද කිසිදු තැනකින් එය මිළඳී ගන්නට නොතිබිණ.නගරබද තිබූ සෑම වයින් ස්ටෝර්ස් එකක්ම පාහේ සුනාමියට හසුවී විනාශවී තිබූ අතර ඉතිරි ඒවා වසා දමා තිබුණි.කෙසේ වුවද අවසානයේ අප මිතුරු වයින් ස්ටෝර්ස් හිමියෙකු සුනාමියට හසුව විනාශයට පත්ව තිබූ තම වෙළඳසැලෙන් බෝතල් දෙක තුනක් බේරාගෙන තිබූ අතර එයින් ගල් අරක්කු බෝතල් භාගයක් පමණ අප දෙදෙනා සමඟ පානය කිරීමට එකඟ වූයෙන් අපට එය ඉමහත් අස්වැසිල්පක් විය.එමෙන්ම අප සමාජයේ යහපත් මිනිසුන් කාගේවත් අණකිරීමක් නිසා හෝ ප්‍රසිද්ධිය ලබාගැනීමට හෝ නොව පරාර්ථචර්යාවෙන්ම ක්‍රියා කරමින් සිටිනා බව තේරුම් ගියේ මේ කටයුතු අතර ගමේ කොළු නඩය සමඟ වසා දමා තිබූ කඩපිළක් යට තප්පලම් දමාගෙන කතාබහක යෙදී සිටින අතර අප නාඳුනන එක් පවුලක් විසින් තමන් උයා පිහා සකස් කරන ලද ආහාර පාර්සල් තම කාර් රථයේ දමාගෙන කෑමක් නොමැති අසරණ පවුල් සොයා ‍බෙදාදෙන්නට යන අතර අපගෙන් එකී උදවු අවශ්‍ය අය හා ඔවුන් සිටින තැන් අසා දැනගෙන අපටද මහත් කරුණාවෙන් කෑම පාර්සල් කිහිපයක් පිරිනැමූ නිසාවෙනි.ඇත්ත වශයෙන්ම දවස පුරා අහරක් ගැන නොසිතා සිටි අපට කුසගින්න වඩාත් තදින් දැනී තිබූ අතර තෙලට සකස් කරන ලද කොළ වර්ගයක්, පරිප්පු හා මිරිසට උයන ලද සෝයා මීට් ඇතුළුව තම හැකි පමණින් පිළියෙල කර තිබූ එම බත්පත මෙතෙක් ගත් රසැති ආහාර වේලක් ලෙස මතකයේ ඇත.

තවද සුනාමියෙන් පසුව දවස් තුන හතරක් ගත වූවද කොළඹ සිට දුම්රියේ පැමිණි තම ඥාතියා පිළිබඳ කිසිදු තොරතුරක් නැති නිසා ඒ ගැන කුමක් හෝ උදවුවක් කරන ලෙස ඇතැමෙක් ඉල්ලා සිටි අවස්ථාවක කොළු නඩය හා කැටුව ගොස් හික්කඩුව පැරෑලිය අවට සෑම තැනම සෝදිසි කර බැරිම තැන සිරුරේ කොටසක් හෝ සොයාගනු අටියෙන් ග්ලවුස් හා මුකවාඩම් යනාදියෙන් සන්නද්ධව ඉටි බෑග් යනාදිය රැගෙන පැරෑලියේදී සුනාමියට දුම්රිය බිළිවූ ප්‍රදේශය පුරා හාරා අවුස්සා බැලුූ සැටිත්,මව හෝ පියා ,ඇතැම් තැනෙක ඒ දෙදෙනාම සුනාමියට බිළිව තනිවූ කුඩා දරුවන් සනහනු පිණිස මහමෝදර හා දෙවට පැල්පත් ආශ්‍රිත පරිසරයේ ගී ගයා රංගනයේ යෙදුන සැටිද,ගෙදර වැඩිපුර තිබූ ඇඳුමක් කැඩුමක් හා මොනවා හෝ උයා පිහා ගෙන බත්මුල් ඔතාගෙන ගොස් අනාථ කදවුරු වලට කොටුවී සිටි මිනිසුන් බලන්නට ගිය සැටිද,ඒ මිනිසුන්ගේ ගෙවල් දොරවල් නැවත සෑදීමේදී ශ්‍රමයෙන් දායක වී වෙහෙසුනු සැටිද මෙම සුනාමි ව්‍යවසනයට අදාළ තවත් සිදුවීම් පෙළක් ලෙස මතකයට නැඟේ.

Published in: on 2020 අප්‍රේල් 29 at ප.ව. 6:03  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

“අසඩක්”-නව වසරේ අළුත් වැඩක් !

“නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ” නැතහොත් “Ignorantia juris non excusat” යන්න අප පාලනය වන නීතියේ මූලධර්මයකි .එබැවින් එකී නීතිමය තත්වයන් සහ ඒවායේ යාවත්කාලීන වීම් පොදු මහජනතාව දැනගත යුතුව ඇත.

ඒ අරමුණින් නීතිමය කරුණු සරලව මහජනතාවට කියා පෑම හා විශේෂයෙන් නීතිය ප්‍රයෝගිකව යෙදවීමේදී ඔවුන්ට මුහුණ පෑමට සිදුවිය හැකි ගැටළු සාකච්ඡා කිරීම උදෙසා facebook පිටුවක් “අසඩක්” නමින් ආරම්භ කළෙමි. එයට අමතරව තමන්ගේ ගැටළු email ආධාරයෙන් ද එයට යොමු කළ හැකි අතර ඒවාට පිළිතුරු සැපයීමටද අපේක්ෂා කරමි.

මෙය නොමිළයේ කරන ප්‍රජා සත්කාරයක් බවද දැනුම් දෙමි.

පහත දැක්වෙන්නේ “අසඩක්’ හි පළකරන ලද පළමු පෝස්ටුවයි !

උසාවියටත් අකුරු වරදින්න පුළුවන්
උසාවියක රාජකාරි කරන්නේත් ඔබ අප දන්නා කරන සාමන්‍ය පෘථග්ජන පුද්ගලයන් නිසාවෙන් ඔවුන් අතිනුත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්.මේ මම ඉතා මෑතක දිනයක එක්තරා මහෙස්ත්‍රාත් අධිකරණයක දී දුටු සිදුවීමක්.
ඔබ දන්නා පරිදි 1951 අංක 14 දරණ මෝටර් රථ වාහන පනතට 2019 වර්ෂයේදී ගෙන ආ 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන (සංශෝධන)පනත මඟින් මහාමාර්ගයේදී රියදුරන් විසින් සිදුකරන වැරදි කිහිපයක් සමිබන්ධව පනවා තිබූ දණ්ඩනයන් හා දඩ මුදල් සාමාන්යයෙන් ඇඟට දැනෙන ආකාරයට වැඩිකිරීමට ව්‍යවස්ථාදායකය කටයුතු කර තිබුණා.
ඒ නව සංශෝධනය ක්‍රියාත්මක වන්නේ 2019 වර්ෂයේ ජුනි 30 වන දින සිටයි.නමුත් ඊට පෙර දිනයක රියදුරුවරයෙක් කළ රථ වාහන වැරැද්දක් සම්බන්ධව චෝදනා පත්‍රය කියවා බලා නඩුව අඬගැසීමේදී පොලීසිය විසින් එකී නඩුව පැවරූ දිනය තෝල්ක මුදලි විසින් වරදවා කියවීමෙන් වරද සිදුකළ දිනය ලෙස ගරු විනිසුරුතුමන්ට ප්‍රකාශ කිරිම නිසා නව විශාල දඩ මුදල චුදිතයන්ට නියම වන අවස්ථා දෙකක් මෙහිදී දකින්නට හැකිවුණා.
මා පෙර පැවසු පරිදි අධිකරණයක වුව සේවය කරන්නේ සාමාන්‍ය මිනිසුන් නිසාත්,නාගරික මහේස්ත්‍රාත් අධිකරණයක ගොඩ ගැසෙන නඩු වෙිගවත්ව ගලා යා යුතු නිසාත් මෙවැනි සිදුවීම් සිදු නොවිය හැක්කේ නොවේ. නමුත් මෙහිදී තම නඩුව පිළිබඳ මනා විමසිල්ලෙන් සිටි නීතිඥ මහතුන් විසින් මෙම අතපසුවීම දැක වහා අධිකරණය වෙත නිවැරදි තත්වය සැලකිරීමෙන් පසුව නැවතත් පැරණි පනත යටතේ අඩු දඩ මුදලක් ලෙසට සංශෝධනය කරනු ලැබුවා.
තවත් අතකින් බැලූවිට මෙය යම් අයෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමකදි නීතිඥ සහාය ලබාගැනීමේ වැදගත් වන බවට හැඟවීමක්.මක්නිසාද යත්
“තමා වරදකරුද, නිවැරදිකරු ද” යනුවෙන් උසාවියේදී ඇසූවිට
“වරදකරු” යැයි කියන්න නීතිඥයෙක් කුමට දැයි ඇතැමුන් අසන නිසාවෙනි.
හැබැයි මෙි සියළු තත්වයන් ගැන හොඳ අවබෝධයක් තිබෙන පුද්ගලයෙකුට වුනත් තමන්ගේ නඩුව තමන්ටම කියාගන්න බැරි කමකුත් නැහැ.

Published in: on 2020 ජනවාරි 24 at පෙ.ව. 1:25  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

කොටකෙතන පළමු ද්විත්ව ඝාතනය

ර්ෂ 2008 ජූලි මස 21 වන දින ඔිපාතවත්ත උඩකොටස අංක 9 දරණ ලැයිමේ හුදකලා‍වේ ජීවත්වූ යම් මානසික විකල් තත්වයක පසුවූ සෙල්ලයියා මාරියම්මා නම් වූ 56 හැවිරිදි කාන්තාව දූෂණය කර පසුව ගෙල සිරකර මරා දැමීමෙන් ආරම්භ ව වර්ෂ 2015 සැප්තැම්බර් මස 28 වන දින එම ඔිපාතවත්ත ප්‍රදේශයේ දීම නාදන් පාපූ නම් වූ 48 හැවිරිදි කාන්තාව මහ දවාලේ දී කපා කොටා මරාදැමීම දක්වා ඝාතන 18 ක් කරා දික් වූ කොටකෙතන ඝාතන රැල්ලේ 9 හා 10 යන ඝාතනයන් ලෙස සැලකෙන කොටකෙතන පන්සල පාරේ පදිංචිව සිටි නයනා නිල්මිණි නම් 52 හැවිරිදි මව හා කාවින්ද්‍යා චතුරානී නම් 19 හැවිරිදි දියණිය වර්ෂ 2011 ජනවාරි 31 වන දිනදී තම නිවස තුළ දී කපා කොටා මරා දැමීම සුවිශේෂී වෙයි. එයට හේතුවන එක් කාරණයක් නම් එකී ඝාතන රැල්ලේ සිදුවූ පළමු ද්විත්ව කාන්තා ඝාතනය එය වන අතර ඉන්පසුව මාස 7 ක් ඇතුළත එක දිගට සිදුවූ ඝාතන සිද්ධි 3 ක්ම ද්විත්ව කාන්තා ඝාතනයන් වීමයි.

සම්පූර්ණයෙන්ම පර්වේෂණ සාක්ෂි මත පදනම්ව ඔප්පු කිරීමට සිදුව තිබූ නයනා නිල්මිණි මහත්මියගේ හා කාවින්ද්‍යා චතුරානී මෙනවියගේ මරණය පිළිබඳ පවරනු ලැබූ නඩුවේ තීන්දුව මෙම මස 15 වන දින (2019 ඔක්තෝම්බර් 15 ) ප්‍රකාශයට පත්කරනු ලැබීය. සිංහල පුවත්පත් වල පළවූ වාර්තා හේතුවෙන් තම සේවාදායකයන් වන විත්තිකරුවන්ට එරෙහිව පොදු ජනතාව අතර වෛරී සහගත හැඟීමක් ඇතිවී තිබීම හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව කථාකරන ජූරි සභාවක් ඉදිරියේ මෙම නඩුව විභාග කරන ලෙසට විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි බැවින් විශේෂ ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබූ අතර මහාධිකරණ විනිසුරු කිහිප පොළක් ම වරින් වර සවන්දෙනු ලැබ වසර 7 ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම නඩුවේ චුදිත වූ ලොකුගම හේවගේ දර්ශන නොහොත් රාජු නැමැත්තාට එල්ල වූ මිනීමැරුම් චෝදනා සාධාරණ සැකයකින් තොරව සාක්ෂි සහිතව ඔප්පු කර ඇතැයි තීන්දු කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරචිචි මහතා විසින් විත්තිකරුට මරණීය දණ්ඩනය පැනවූ පුවත පිළිබඳ මා මුලින්ම දැනුවත් වූයේ මීට පෙර කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා වූද,දැන් රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස සේවය කරන්නාවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඔීලුගල මහතා විසින් මුහුණු පොතේ විගස පුවතක් ලෙස තබනු ලැබූ සටහනක් මඟිනි. ඇත්ත වශයෙන්ම පොලිස් නිලධාරියෙකු ලෙස විශිෂ්ට සේවා සටහනක් ඇති රොහාන් ඔීලුගල මහතා මෙම අධිකරණ තීන්දුව නිසා මහත් අමන්දානන්දයට පත්වන්නට ඇත.මා දන්නා ආකාරයට මෙම කොටකෙතන ඝාතන රැල්ල ශ්‍රී ලංකාවට ඉන් පෙර නොවූ විරූ අත්දැකීමක් වන serial killer නැතහොත් දාම ඝාතකයෙකු ගේ ක්‍රියාවක් බවට අපරාධ විමර්ෂණයන් ඔස්සේ මුල්වරට හෙළිකරගත් පොලිස් නිලධාරියා රොහාන් ඔිලුගලයි.

එසේම මා මුලින් සඳහන් කළ ආකාරයට නයනා නිල්මිණි හා කාවින්ද්‍යා චතුරානී යන ද්විත්ව ඝාතනය සුවිශේෂී වන තවත් කාරණයක් වන්නේ නොවිසඳුනු අපරාධ ගොඩගැසීම තුළ ඒවාට මුවාවී තම පෞද්ගලික කෝන්තර පිරිමසාගැනීමට දරුණු චෛතසික ආවේගයන් පිරි පුද්ගලයන් අවස්ථාව උදාකරගත් ඝාතනයක් ලෙසට මෙය හැඳින්විය හැකි බැවිනි.

කෙසේ වුවද මෙම මහාධිකරණ පුර්ණ නඩු තීන්දු ප්‍රකාශය(පිටු 221 කින් සමන්විත) කියවීමට තවම මට අවස්ථාවක් නොලද හෙයින් අපරාධ නඩු ඉතිහාසය තුළ අධ්‍යනය කළ යුතු තවත් නඩුවක් වන මෙම නඩුව පිළිබඳ විස්තරාත්මක ලිවීමක් කිරීමට තවත් කල් අවශ්‍ය වේ.

Published in: on 2019 ඔක්තෝබර් 22 at පෙ.ව. 8:47  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

රෝයල් පාක් මිනීමැරුම හා ජනාධිපති සමාව

විත්තිකරු මහාධිකරණ නඩුව පවතින විටදී ……
විත්තිකරු අභියාචනාකරණ නඩුව පවතින විටදී……..
ශ්‍යාමන්ත සහ ඔහුගේ මව (කුඩා ඡායාරූපයේ මියගිය ඉවොන්)
කැරොලයින් සහ මව

‍‍රෝයල් පාක් මිනීමැරුම් නඩුව ලෙස ප්‍රසිද්ධියට පත් වූ ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් නම් වූ 19 හැවිරිදි වියේ පසුවූ තරුණිය වර්ෂ 2005 ජූලි මස 01 වන දින ඇය වාසය කළාවූ කොළඹ රාජගිරියේ පිහිටි රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ 19වන තට්ටුවේ දී පියගැට පෙළෙහි තදින් ඇන ඇයගේ හිස පොඩිකර මාරාන්තික තුවාල සිදුකරමින්ද ඇය හැඳ සිටි ඇදෙන සුළු රෙද්දකින් නිමවූ දිගු කලිසම මගින් ඇයගේ ගෙල සිරකර ක්ෂණික මරණයක් ඇතිකළා වු ඝාතන සිදුවීම සම්බන්ධ නඩු විභාගය මෙරට මහත් ආන්දෝනයකට තුඩුදුන් අතර එය පුළුල්ව නීති ක්ෂේත්‍රය අරඹයා මෙන්ම, අපරාධ නඩු විමර්ෂණය පිළිබඳව ද නව මානයන් විවෘත කළ නඩුවක් වූ බැවින් ඇතැම් ජනමාධ්‍ය වලින් එය ප්‍රසිද්ධ කරනු ලදුවේ නීති පොත අළුත් කළ නඩුවක් ලෙසිනි.‍‍

ඉවොන් ජොන්සන්ගේ මළ සිරුර වර්ෂ 2005 ජූලි මස 01 වන දින පෙරවරු 9.30 ට පමණ මුලින්ම දැක තිබුණේ උදය කාලයේ දී රෝයල් පාක් නිවාස සංකීර්ණයේ නිවාසයන් කිහිපයක සුළු සුළු මෙහෙවර කර ජීවිකාව උපයාගන්නාවු කම්කරු කාන්තාවක් විසිනි.ඇය එදින තම එක් ස්වාමිදුවක් කියන ලද පණිවිඩයක් තවත් නිවෙසක වෙසෙන ස්වාමිදුවකට කියනු පිණිස මහල් සංකීර්ණයේ පියගැට පෙළ ඔස්සේ ගමන් කරද්දී අඩ අඳුරේ ඇය දැක ඇත්තේ බෝනික්කෙකු පියගැට පෙළෙහි වැටී තිබෙනු ඇති බවයි. නමුත් එකී කාන්තාව ඒ වෙතට සමීපව බලද්දී එය ලේ විලක නැහැවී සිටි අඩ නිරුවත් කාන්තා මළ සිරුරක් බව වටහා ගනිද්දී බලවත් භීතියට පත්ව කෑ ගසා පඩිපෙළෙහි පෙරලී වැටී වැටී දිව ගොස් නිවාස සංකීර්ණයේ කලමනාකරුට දන්වන ලදුව දෙදෙනාම නැවතත් පැමිණ මියගිය තැනැත්තිය හඳුනාගන්නා ලදී.‍‍‍‍

මේ සිදුවීම වැලිකඩ පොලීසියට දන්වන ලදුව වහාම පොලීසිය පැමිණ මූලික විමර්ෂණ කටයුතු අරඹන ලද අතර සිද්ධිය වූ ස්ථානය සුරක්ෂිත කරමින් මෘත දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි තුමා වෙතට යොමු කරන ලදී.එවකට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන ලද M.A.අබේසිංහ මහතා මියගිය තැනැත්තියගේ සිරුරේ තුවාල 48 තිබූ බවත්,ඉන් 6 ක් මාරාන්තික තුවාල බවත් නිරික්ෂණය කරන ලදී.කෙසේ වෙතත් ඇය දුෂණයට ලක්ව නොතිබූ බවත් ,ඇය එදින ඇයගේ මාස් ශුද්ධිය වීම හේතුකොටගෙන ශරීරය තුළ පළදින සනීපාරක්ෂක උපක්‍රමයක් (tampon)පැළඳ සිටි බවත් සොයාගන්නා ලදී.‍‍

කොළඹ ඉහළ ධනවත් පැළැන්තිය තුළ සිදුවූ මෙම මිනීමැරුම මහත් ආන්දෝලනයකට තුඩු දුන් හෙයින් එහි වැඩිදුර විමර්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද අතර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකයෙකුව සිටි වර්තමානයේ එහි ප්‍රධානි ශානි අබේසේකර මහතාට පරීක්ෂණ කටයුතු මෙහෙයවීම භාරවිය.‍මෙම මිනීමැරුම පිළිබඳ ඍජු සාක්ෂි කිසිවක් නොතිබූ අතර,රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පැවති cctv කැමරා ද මාස කිහිපයක් තිස්සේ අක්‍රියව පැවතී තිබුණි.එසේම එකී කැමරා සකසා තිබුණේද නිවාස සංකීර්ණයේ ලොබි පෙදෙස (lobby area) ආවරණය සඳහා පමණි.

මියගිය තැනැත්තිය ඊට දින කිහිපයකට පෙර නිවාස සංකීර්ණයේ සේවය කරන්නාවූ ආරක්ෂක නිළධාරියෙකු හා බහින් බස් වී ඔහුට කම්මුල් පහරක් එල්ල කිරීම නිසා එයට පලිගැනීමක් පිණිස ඇය මෙලෙස සාහසික මරා දමා ඇතැයි රාවයක් පැතිර ගියෙන්, එය පිළිබඳ සොයාබැලීමේදී එවැනි පහරදීමේ සිදුවීමක් පිළිබඳව පවතින කතාව අසත්‍ය පුවතක් යැයි ජොන්සන් පවුලේ අනෙක් එකම දරුවා වූ මියගිය ඉවොන්ගේ නැඟණිය වන කැරොලයින් සාක්ෂි දෙමින් පවසා තිබුණි.‍‍පෙර කී පරිදි මෙම මිනීමැරුමට අදාළ ඍජු සාක්ෂි කිසිවක් නොමැති වූ අතර මරණය ස්ථානය අවට විසිරී තිබී සොයාගත් සියළුම බඩු භාණ්ඩයන් මියගිය තරුණියට අයත් ඒවා ලෙස හඳුනාගන්නා ලදී.‍‍‍‍‍‍

කෙසේ වුවද මියගිය තරුණියගේ සිරුර තිබූ පියගැට පෙළෙහි ලෝහයෙන් නිමවු අත්වැලෙහි සටහන් වි තිබූ ලේ වැකුණු ඇඟිලි සටහනක් වෙත අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ විමර්ෂණය යොමුවිය.ඒ අතර ඉවොන්ගේ මරණයට ආසන්න කාලසීමාව තුළ සිදුවූ ක්‍රියාදාමය කෙරෙහිද පරීක්ෂණයක් දියත් විය.

ඒ අනුව සොයා බැලීමේදි මියගිය තරුණිය ඇමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිට වර්ෂ 2005 ජුනි මස 26 වන මෙරටට පැමිණ සිටියාය.ජූලි මස 30 වන දින ඇයගේ නැඟණියගේ පෙම්වතා වන කොල්ලුපිටියේ පදිංචිව සිටි දොන් ශ්‍යාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන 19 හැවිරිදි තරුණයාට එදින රාත්‍රි සමාජ ශාලාවක් මඟින් සංවිධානය කර තිබූ සාදයක් සඳහා ඇරයුම් ලැබී තිබූ අතර ඔහු තමාගේ අමුත්තෙකු ලෙස සහභාගී වීමට කැරොලයින්ට ද ආරාධනා කළේය.යලිත් විදෙස් ගතවීමට පෙර තම සොහොයුරියටද විනෝද වීමට අවස්ථාවක් දෙනු වස් ඉවෝන් ද එයට කැටුව ඒමට කැරොලයින් තම පෙම්වතාගෙන් අසා සිටි අතර ඔහු ඊට එකඟ විය.එදින රාත්‍රි 8.30 ට පමණ සහෝදරියන් දෙදෙනා තම පියාට අයත් මෝටර් රථයකින්(suzuki vitara)කොල්ලුපිටියට ගොස් ශ්‍යාමන්ත නංවා ගත් අතර රථය පදවන ලද්දේ ඉවෝන් විසිනි.මෙහිදී ශ්‍යාමන්ත තම කාමරයේ යතුර ඔහු දෙතොල් වියලීම වැලැක්වීමට භාවිතා කරන ආලේපනය (Gent’s lip balm )බහා තිබෙන ප්ලාස්ටික් උරයකට දමාගත් අතර එය අතේ රැගෙන යාමට ඔහු අකැමති වූ බැවින් ඉවෝන් රැගෙන ගිය අත්බෑගය තුළ තබාගැනීමට ඇය කටයුතු කළාය.‍තරුණියන්ගේ පියා වූ රොජර් ජොන්සන් මහතා කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ අතර ශ්‍යාමන්තගේ පවුල් පසුබිමද ඊට දෙවෙනි වූයේ නැත. ශ්‍යාමන්තගේ පියා සහ මව දික්කසාදව සිටි අතර මව නැවත විවාහ වී සිටියේ පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා වූද, එවකට ජාත්‍යන්තර සම්බාධක පනවා තිබූ පිළිකුල්සහගත වර්ණභේදවාදී සුදු ජාතික දකුණු අප්‍රිකාවට විශාල මුදල් කුට්ටියක් සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර,විශිෂ්ඨ දඟ පන්දුයවන්නන් වුූ අජිත් ද සිල්වා හා ලලිත් කළුපෙරුම මෙන්ම අති දක්ෂ කඩුලු රකින්නෙකුව සිටි මහේෂ් ගුණතිලක ආදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රාශියක් රැගෙන තරග සංචාරයක් සංවිධානය කරමින් එම කණ්ඩායමේ නායකත්වය දැරූ ටෝනි ඔිපාත සමඟය.‍

මෙලෙස නික්ම ගිය ඉවොන් ,කැරොලයින් හා ශ්‍යාමන්ත යන තිදෙන එදින රාත්‍රිය විවිධ රාත්‍රි සමාජ ශාලාවලට යමින් බකාඩි(Bacardi) ,ටිකිලා(Tequila),කොරෝනා(corona)යන නාමයන් සහිත විවිධ මත්පැන් බොමින් ගතකර ඇත.අවසානයේදී යලිත් ඔවුන් සාදය පැවැත්වුණු ග්ලෝබ් සමාජශාලාව වෙත ගිය අතර එහිදී කැරොලයින් හා එයට ටික කලකට පෙර සබඳතාවයක් පැවැත්වූ තරුණයෙකු සමඟ කථා බස් කරනු දැකීමෙන් කෝපයට පත්වූ ශ්‍යාමන්ත හා කැරොලයින් අතර බහින් බස් වීමක් ඇතිවූ අතර එකී රණ්ඩුව ඉවොන්ගේ මහත් සංතාපයට හේතුවිය.ඇය මෙවැනි සුළු කරුණු නිසා ගැටුම් ඇතිකර ගැනීම ගැන තම නැඟණිය මෙන්ම ශ්‍යාමන්තටද දොස් පැවරුවාය.පසුව කැරොලයින් ඇයට ගෙදර යාමට අවශ්‍ය බව පැවසු අතර ඉවොන් තවත් වේලාවක් සාදයන්හි රැඳී සිටින බව පැවසූ හෙයින් ශ්‍යාමන්ත හා කැරොලයින් කුළී මෝටර් රථයක් ගෙන්වාගෙන පෙරවරු 2.00ට රෝයල් පාක් නිවාස සංකීර්ණයට පිවිසියහ. නිවාස සංකීර්ණයේ 23 වන මහලේ පිහිටි තම නිවසට පැමිණි කැරොලයින් දෙමාපියන්ගේ කමරයට ගොස් තමන් පැමිණි වග දන්වා සිටි අතර ඔවුන් ඉවොන් ගැන විමසා සිටියදී ඇය ද පැමිණි බවට ඔවුන්ට බොරුවක් පවසා සිටියාය.පසුව ඇය ශ්‍යාමන්ත කැටුව තම කාමරයට ගියාය. එම කාමරයේ සිටින අතර ශ්‍යාමන්ත ටැක්සියක් කැඳවීම සඳහා දුරකථන ඇමතුමක් ලබාදුන් අතර,කැරොලයින් විසින් ඉවොන් හා රැඳී සිටි මිතුරියට කථා කර තම අක්කා ගැන තොරතුරු විමසා සිටියාය. අවසාන වශයෙන් කැරොලයින්ට “මම ඔබට හැමදාමත් ආදරෙයි”(“I love you forever”) යනු‍වෙන් පවසා ශ්‍යාමන්ත පෙරවරු 2.30ට පමණ ඇයගේ කාමරයෙන් නික්ම ගියේය.තම මිතුරියක හා රාත්‍රි සාදයේ රැඳී සිටි ඉවොන් පෙරවරු 2.50 ට ඇයගේ රථයෙන් නිවාස සංකීර්ණයට පැමිණි බවට සාක්ෂි තිබුණි.නමුත් නිවසට නොපැමිණි ඉවොන්ගේ මළ සිරුර 19 වන තට්ටුවේ පියගැට පෙළේ තිබියදී පසුව හමුවිය.

ශ්‍යාමන්තගේ කැඳවීම අනුව කුලී රථයක් ගෙන රිල්වාන් නමැති ශ්‍යාමන්තගේ මිත්‍රයෙකු පෙරවරු 3.25 ට නිවාස සංකීර්ණයට පැමිණි අතර පෙරවරු 3.30 ට ශ්‍යාමන්ත කැටුව නික්ම යන ලදී.එසේම සාදයට යද්දී සුදු දිගු කලිසමකින් හා නිල් පැහැති කමීසයකින් සැරසී සිටි ශ්‍යාමන්ත ටැක්සියට ගොඩවන විට හැඳ සිටියේ බොක්සර් කොට කලිසමක් හා කමීසයක් පමණක් වනඅතර දිගු කලිසම දෙකට තුනට නවා අතෙහි රඳවා ගෙන තිබුණි.පසුව පොලිස් විමර්ෂණයේදි සාක්ෂි දුන් ශ්‍යාමන්තගේ නිවසේ සේවිකාවක පවසා සිටියේ තම ස්වාමි දුව( ශ්‍යාමන්තගේ මව)ඇඳුම් වගයක් ගිනි තබනු තමා දුටු බවත් සාමාන්‍යයෙන් එවැනි කුණු පිළිස්සීමක් තමා ලවා කරවනු මිස මීට පෙර තම ස්වාමි දුව එවැනි දෙයක් කරනු ඇය දැක නැති බවයි.‍‍

කෙසේ වෙතත් මීට පෙර සඳහන් කළ ආකාරයට මෙම අපරාධ විමර්ෂණය සඳහා කිසිදු ඍජු සාක්ෂියක් (direct evidence)නොතැබූ බැවින් අපරාධකරු සොයාගැනීම සඳහා සම්පූර්ණයෙන්ම පර්වේශනීය සාක්ෂි (circumstantial evidence)මත රඳා පවතින බව අපරාධ පර්යේක්ෂකයන්ට පෙනී ගියේය.

ඇඟිලි සටහන් විද්‍යාඥයින්ට අනුව මෙලොව ජනගහනය තුළ සමාන ඇඟිලි සටහන් ඇති දෙදෙනෙකු සිටිය නොහැක.සර්ව සම නිවුන් දරුවන්ගේ DNA රටාව පවා සමාන විය හැකි වුවද එවැන්නන්ගේ වුවද ඇඟිලි සලකුණු කිසිසේත්ම සමාන නොවේ.එය එතරම් අසමාන(unique) වන අතර ස්ථිර ද (එනම් උපතේ සිට මරණය දක්වා වෙනස් නොවන සුළු) වේ.‍මෙම ඇඟිලි සටහන් සාක්ෂි වල ඇති ප්‍රභලතාවය පෙන්වා දෙන හා එය මෙරට අධිකරණය මනාව අදාළ කරගත් ලාංකික නඩුවක් වශයෙන් 1932 අප්‍රේල් මස 23 වන දින ඩෝල්ටන් විනිසුරු තුමා තීරණය කරන ලද King v. Logus(69 NLR 34)නඩු තීන්දුව හැඳින්විය හැකිය.එකී නඩු තීරණට අනුව යම් විත්තිකරුවෙකු තම ඇඟිලි සටහන අපරාධ ස්ථානයක සටහන් වූයේ කෙසේ දැයි සැකයකින් තොරව සාධාරණ හේතු සහිතව අධිකරණයට ඔප්පු කිරීමට අපොහොසත් වුව හොත් ඔහු එම වරද කළ තැනැත්තා හෝ වරද කළ පිරිසෙන් කෙනෙකු බවට නිගමනය කළ හැකි අතර,එම සාක්ෂිය පමණක් පදනම් කරගෙන දඬුවම් නියම කළ හැකිය.ඉවොන්ගේ මරා දමා තිබූ ස්ථානය අසල පියගැට අත්පෙළෙහි තිබු ලේ වැකුණු අත්ල සටහන කෙරෙහි අපරාධ පර්යේෂක නිලධාරීන්ගේ සුවිශේෂී අවධානය යොමු වූයේ එබැවිනි.

වහා එම අත්ල සටහනෙහි පිටපත් ලබාගත් අපරාධ පර්යේෂක නිලධාරීන් එය ඉවොන්ගේ මරණයෙන් පසුව දක්නට ලැබුණු සැකකටයුතු හැසිරීම නිසා ඒවන විට අත්අඩංගුවට ගෙන තිබු ශ්‍යාමන්තගේ ඇඟිලි සටහන් හා සසඳා බැලීමට ඇඟිලි සටහන් විමර්ෂකයන් වෙත යවනු ලදුව ඔවුන් අපරාධ පර්යේෂණ නිලධාරීන් වෙත වාර්තා කරනු ලදුවේ එම අපරාධ ස්ථානයේ තිබී හමුවූ ඇඟිලි සටහන් හා සැකකාර ශ්‍යාමන්තගේ ඇඟිලි සටහන් හා මනාව සැසඳෙන බවයි.මෙහිදී CID නිළධාරීන්ට විසඳා ගත යුතු තවත් ගැටළුවක් විය.එනම් එකී අත්ල සටහන් මත තැවරී තිබූ ලේ කාගේද යන්නය.අපරාධ පර්යේෂණ නිලධාරීන්ට ඒ සඳහා සහාය වූයේ එවකට ශ්‍රී ලංකාවට නවමු ජීව විද්‍යාත්මක විශ්ලේෂණ ශිල්ප ක්‍රමයක් වූ DNA තාක්ෂණයයි.එකී DNA පරීක්ෂණ සඳහා තාක්ෂණික ආයතනයක් පිහිටුවන ලද්දේ වර්ෂ 2002 වසරේදීයි.ඒ ආචාර්ය මායා ගුණසේකර මැතිණියගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ ජින්ටෙක් ආයතනයයි.පසුව එතුමිය අපරාධ ස්ථානයට පැමිණ අත්ල සටහන් වල තැවරී තිබූ රුධිරයේ සාම්පල DNA පරීක්ෂාව සඳහා ලබාගන්නා ලදී.මෙම අපරාධ පරීක්ෂණය වෙනුවෙන් එම විද්‍යාඥවරියගේ කැපවීම මනාව පෙනී යන නිදසුනක් වන්නේ මෙම නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වූ 2006 වසර වන විට ඇය දැඩි ලෙස ගිලන්ව සිටි අතර එතුමිය අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේ හතර දෙනෙකු ඔසවා ගෙන පැමිණි ගිලන් ඇඳක් මත සිටය.එසේම සාක්ෂි ලබාදී දින කිහිපයකට පසුව එතුමිය අභාවප්‍රාප්ත වූවාය. මෙම නඩුවට අදාළ DNA විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් එම විද්‍යාඥවරිය කියා සිටියේ ශ්‍යාමන්තගේ අත්ලේ තැවරී තිබුණේ ඉවෝන්ගේ රුධිරය බවයි. ස්විඩන් ජාතික පියෙකුට හා ශ්‍රී ලාංකික මවකට උපන් තවත් සර්ව සම නිවුන් සහෝදරියක හෝ සහෝදරයෙකු හෝ නොසිටි ඉවොන්ගේ DNA රටාව හා වෙනත් අයෙකුගේ DNA රටාව ගැලපීමට ඇති සම්භාවිතාව මෙලොව ජනගහනය මෙන් තුන්ගුණයකටත් වඩා වැඩි විය හැකි බව ද ඇය කියා සිටියාය.

මේ ආකාරයට ගොනු කළ නඩුවේ ශ්‍යාමන්ත වෙනුවෙන් පෙනී සිටින ලද ජනාධිපති නීතිඥයින් ඇතුළු නීතිඥ මණ්ඩලයට කළ යුතුව තිබුණේ ඉවොන්ගේ රුධිරය වැකුණු අත්ල සටහන ශ්‍යාමන්තගේ නොවිය හැකි බවට සාධාරණ සැකයක් ඇති බව අධිකරණයට ඒත්තු ගැන්වීමයි.‍

මෙලෙස අපරාධ විමර්ෂණය නව මානයන් ඔස්සේ සිදුවන අතර අධිකරණ ක්‍රියාවලිය ද නව මානයන් ඔස්සේ ක්‍රියාත්මක වීම සිදුවෙනු දැකිය හැකි විය.ඒ අනුව අපරාධ නඩුවක කාර්ය පටිපාටිය සඳහන් වන්නාවූ මෙරට අපරාධ නඩු විධාන සංග්‍රහයේ (අ.න.වි.ස./CCP) 142 හා 145 වගන්ති වලට අනුව අධිකරණ සංවිධාන පනතේ(1978 අංක 02) 2වන උපලේඛණයේ සඳහන් වැරදි අතුරෙන් 2ක් වන මිනීමැරීම හා මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ වරදක් වන විට චුදිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ මහේස්ත්‍රාත්වරයා විසින් ලඝු නොවන පරීක්ෂණයක් (non summary) පැවැත්විය යුතුය.එකී ලඝු නොවන පරීක්ෂණයේදී ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණක් නඩුව මහාධිකරණයට යොමුකරන අතර, ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් විත්තිකරු නිදහස් කිරීම සිදුවේ.නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහය කෙරෙහි සංශෝධනයක් ගෙන එන ලද 2005 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට අනුව 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 2වන උපලේඛණයේ දක්වා ඇති වරදක් සිදුකිරීමට අදාළව,බරපතළ අවස්ථානුගත කරුණු හෝ මහජන නොසන්සුන්තාවයක් පැන නඟින අවස්ථානුගත කරුණු ඇති අවස්ථාවක NS එකක් නොපවත්වා කෙලින්ම අධිචෝදනා පත්‍ර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට හැකියාව ලැබේ. ඒ අනුව එම විධිවිධානය මෙරට නඩු කෘත්‍යයක් සඳහා අදාළ කරගත් ප්‍රථම අවස්ථාව වශයෙන් මෙම රෝයල් පාක් මිනිමැරුමට අදාල නඩුව අධිකරණ ඉතිහාසයේ සඳහන් වේ.‍

මේ අනුව කොළඹ මහාධිකරණයේදී විනිසුරු අයි.එම්.අබේරත්න මහතා වසරක පමණ කාලයක් තිස්සේ නඩුවාර 55 ක් පමණ කැඳවමින් විභාග කළ මේ නඩුව පැමිණිල්ලේ මෙන්ම විත්තියේ තර්ක විතර්ක වලින් පිරීගිය ඉතා උණුසුම් ආකාරයකින් පැවැත්වුණු එකක් විය.වරෙක පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥතුමන් අසා සිට ඇත්තේ මෙම නඩුවේ සඳහන් ලේ වැකුණු ඇඟිලි සටහන සහිත අත්වැලේ කොටස කපා ගෙන විත් අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්ද යනුවෙනි.මෙම ප්‍රශ්ණයට එවකට රහස් පොලිස් පරීක්ෂකයෙකුව සිටි ශානි අබේසේකර මහතා දුන් පිළිතුරෙන් උරණ වූ ජනාධිපති නීතිඥතුමා එවැනි පිළිතුරක් ලබාදීම අධිකරණයට කරන ලද අපහාසයකැයි ගරු අධිකරණයට පැමිණිලි කරන ලදී.මේ හැරෙන්නට අධිකරණය ඉදිරියේ සාක්ෂි නොදෙන ලෙසට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුට තර්ජන හා බලපෑම් කලැයි යන චෝදනා මත ශ්‍යාමන්තගේ මව වූ සැන්ඩ්‍රා ජෙනිෆර් මේරි ජයමහ මහත්මිය හා සුළු පියා වූ ටෝනි ඕපාත යන අය ද අධිකරණයට පමුණුවනු ලදී.

වර්ෂ 2006 ජූලි මස 28 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු තුමන් විසින් විත්තිකාර ශ්‍යාමන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සඳහා (culpable homicide) වැරදිකරු කරමින් බරපතල වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කරමින් ලබාදුන් තීන්දුව පැමිණිල්ලේ මෙන්ම විත්ති පාර්ශවයේ අතෘප්තියට හේතුවිය.

මෙම නඩුව සාක්ෂි  කැඳවීමකින් තොරවම ඉවත දැමිය යුතු යැයි ඉල්ලා සිටි විත්ති පාර්ශවයේ නීතිඥයින් විසින් මෙන්ම එකී මහාධිකරණ තීන්දුවෙන් අතෘප්තියට පත් වූ පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිපති ‍වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා (වර්තමානයේ අග්‍රවිනිශ්චකාර ධූරය දරන) විසින් ද තීන්දුවට එරෙහිව අභියාචන දෙකක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.පැමිණිල්ල මෙහිදී තම අභියාචනය මඟින් අයැද සිටියේ විත්තිකරු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට නොව මිනීමැරීම යන වරදට වැරදිකරු කරමින් ද.නී.සං. 297 වගන්තිය යටතේ මරණීය දණ්ඩනය පමුණුවනු ලෙසත්ය.එබැවින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ  331 වගන්තිය යටතේ මහාධිකරණය මඟින් දුන් දණ්ඩනයකට වඩා වැඩි දණ්ඩනයක් පමුණුවන ලෙසට මෙරට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එවැනි ආකාරයේ නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවට විත්ති අභියාචක (accused appellant) වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විරෝධතා ඉදිරිපත් කළ ද ,අප හා සමාන නීති සම්ප්‍රදායක් පවතින ඉන්දියාවේ දී ,එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලද නඩු තීන්දු ද සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා විසින් ගෙන එන ලද අභියාචනයද පිළිගෙන  C.A. 303 / 2006  හා C.A.L.A. 321/ 06 යන එකී අභියාචන  දෙකම එකවිට සලකා බලමින් නඩු විභාගය  අරඹන ලදී.

ඩබ්ලිව්.එල් .රංජිත් පෙරේරා විනිසුරු තුමන් හා නලීන් පෙරේරා විනිසුරු තුමන් (පසුව අගවිනිසුරු ධුරය හොබවන ලද)යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු මෙම නඩුව මෙරට අධිකරණ ඉතිහාසයේ සංධිස්ථානයක් සටහන් කරන්නක් විය.එසේම පොදුවේ ගත් කළ මෙරට සාක්ෂි නීතිය විශේෂයෙන් විශේෂඥයින්ගේ මත,විත්තිකරු විත්ති කුඩුවේ සිට දෙනු ලබන සාක්ෂි(dock statement),මෙන්ම සාපරාධි වගකීම බැහැර කෙරෙන ව්‍යතිරේක අවස්ථාවක් වන මත්වීම යන විත්ති වාචකය දැක්වෙන ද.නී.ස. 78 හා 79  වගන්ති පිළිබඳ පුළුල් විමසුමකට ලක් කෙරෙන  අතර මෙරට හා විදේශිය නඩු තීරණ 35 කට වඩා උපුටා දක්වමින් ද ලියැවී ඇති මෙම නඩු තීන්දුව නීතිඥයින්,නීති ශිෂ්‍යයින් මෙන්ම නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකු වුවද කියවා බැලිය යුතුව ඇති මනා දැනුම් සම්භාරයක් පිරි ලියවිල්ලක් ලෙස දැක්විය හැකිය. විත්ති අභියාචකගේ අභියාවනය ඉවත දමන අතර පැමිණිල්ලේ අභියාචනයට ඉඩදෙමින් අභියාචනාධිකරණය 2012 ජූලි මස 11 වන දින තම තීන්දුව ප්‍රකාශ කරනු ලද්දේ මෙරට අභියාචනාධිකරණයක්  විසින් පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දුන් ප්‍රථම අවස්ථාව බවට සනිටුහන් කරමිනි.

පසුව මෙම අභියාචනාධිකරණ තීන්දුව ගැන ද අතෘප්තියට පත් විත්ති පාර්ශවය මෙම  අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙසට ඉල්ලා මෙරට උපරිමාධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන සලීම් මර්ෂුෆ්,කේ.ශ්‍රී පවන් හා සත්‍යා හෙට්ටිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර 2013 ඔක්තෝම්බර් 22 වන දින තම තීරණය ලබාදුනි.ඒ අනුව විත්ති අභියාචකගේ අභියාචනය ඉවත දමමින් අපරාධ නඩු විභාග සංග්‍රහයේ 285(1) වගන්තිය ප්‍රකාර ජනාධිපතිවරයා නියම කරන ලද දිනයක දී හා ස්ථානයක දී විත්තිකරුගේ  ප්‍රාණය නිරුද්ධ වන තුරු ගෙල එල්ලා තැබිය යුතුය යන  අභියාචනාධිකරණයෙන් පැනවූ දණ්ඩණය තහවුරු කරනු ලැබීය.

                        ඉදින් එසේ අහවර වූ මෙම සිදුවීම නැවත ගොඩගෙන යළිත් සාකච්ඡාවට බඳුන්වන්නේ ඇයි? එයට අප පෙළඹවූ හේතු වූයේ ගරු ජනාධිපති තුමා සෝෂල් මීඩියා නැතහොත් සමාජ ජාලා යන නමින් හඳුන්වන අන්තර්ජාල පුවත් අඩවි තුළ පළකර තිබූ ප්‍රවෘත්තියක් දැකීමෙනි.එයින් එකක් වූ http://www.helabima.lk යන IP ලිපිනය යටතේ ප්‍රකාශ වන “හෙළබිම”යන පුවත් අඩවියේ සඳහන් වී තිබුණේ මෙබන්දකි, “රණවිරුවන්ට නැති ජනපති සමාව කෝටිපති මීනීමරුවෙකුට”

(http://www.helabima.lk/read.php?as=16776).

එසේම sinhala.lankahitgossip.com යන ගොසිප් පුවත් අඩවියේ එම පුවතම පළකර තිබුණේ “පෝරකයට නියමවූ ‘රෝයල් පාක්‌’ විත්තිකරුට ජනපති සමාවෙන් ජීවිතාන්ත සිර දඬුවම්” (http://sinhala.lankahitgossip.com/2016/05/26/sharman-jude-relesed-from-death-panelty-on-vesak-royal-park-murder/) යන ආකාරයටය.එසේම එය අසත්‍යයකැයි ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් එම පුවත් ප්‍රතික්ෂේප වී නොමැති බවද ,අදටත් එම පුවත් එම අඩවි වල නිරුපද්‍රිතව පවතින බවද  අපගේ මෙම ලියවිල්ලට හේතු විය.

(විශේෂ ස්තුතිය -නෛතික කාර්යයන් උදෙසා මනාසේ ඉවහල් වන්නාවූ වෝහාරික විද්‍යාව වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ වැඩමුළු සංවිධානය කරන්නාවූ කාලිංග ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ සංගමයට )

Published in: on 2019 ජූලි 6 at පෙ.ව. 10:54  Comments (1)  

ගුරුවරයෙකුගේ නික්ම යාම (පද්‍ය)

Published in: on 2019 ජූනි 2 at පෙ.ව. 6:03  ප්‍රතිචාරයක් ලබාදෙන්න